මම දිගටම ක්‍රීඩාවේ සහ නර්තනයේ සිටියා නම් ඒ පැත්තෙනුත් රටම දන්න චරිතයක් වෙන්න තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශනය කෙරෙන බේකරි ගෙදර, සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණවලින් මෙන්ම බෝම්බ එක්ක සෙල්ලම්, වර්ණයා ඇතුළු වේදිකා නාට්‍යවලින්ද හෂිනිකා කරල්ලියද්ද නමැති ජනප්‍රිය රංගන ශිල්පිනිය අපට මුණගැසෙන්නීය. කීප වතාවක්ම හොඳම නිළිය හා හොඳම සහය නිළිය ලෙස රාජ්‍ය හා යෞවන සම්මාන දිනා සිටින හෂිනිකා මේ වන විට මුළු රටම හඳුනන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙසටය. එහෙත් ඇගේ රංගන හැකියාවට අමතරව තවත් ඉසව් ගණනාවකට ඇය දක්‍ෂ බව ඇගේ භාවිතාව තුළින්ම ඇය ඔප්පු කර තිබේ. මේ දිගහැරෙන්නේ රංගනයෙන් ඔබ්බට ගිය ඇගේ අනෙකුත් දක්‍ෂතා පිළිබඳව ය. 

“මං රංගන ශිල්පිනියක් විදියට අද රටක්ම දැන ගත්තත් මං මුලින්ම ආස කරපු විෂය නැටුම්. ඉස්කෝලේ යන කාලේ ඉඳන් මම කලායතනවලට ගිහින් නැටුම් හැදෑරුවා. නැටුම්වල ප්‍රාරම්භ විභාගය පවා මම කරලා තියෙනවා. සමහර විට මං රංගන ශිල්පිනියක් නොවුනා නම් නැටුම්වලින් තව ඉස්සරහට යන්න තිබුණා. 92/ 93 කාල වකවානුවේ මං පාසලේදීත් නැටුම් හැදෑරුවා. ඒ කාලේ මං නර්තනයට පුදුම කැමැත්තක් දැක්වූවේ. ඔය කාලේදී මම තරුණසේවා සභාවේ වැඩවලටත් සම්බන්ධ වෙලා හිටියා. නැටුම්වලට අමතරව මං ඒ කාලේ ක්‍රීඩාවට තමයි යොමු වෙලා හිටියේ. සමහරවිට මං මෙහෙම කලාකාරිනියක් නොවුණා නම් මං ක්‍රීඩාවෙනුත් ඉදිරියට යන්න තිබුණා. අපේ තිබුණා එකමුතු කියලා ක්‍රීඩා සමාජයක්. අපි ඒකේ ක්‍රිකට් ගැහුවා. අපේ 06 දෙනෙකුගේ කණ්ඩායමක් තිබුණා. හැබැයි තරගවලට ගියාම අපි හැමදාම අනුශූරතාව තමයි ගන්නේ. ශූරතාව ලැබෙන්නේ අපේ ගමේ වෙන කණ්ඩායමකට. අදටත් මං ක්‍රිකට් තරග සෙල්ලම් කරන්න හරි කැමතියි. මීට කාලයකට කලින් නාඩගම්කාරයෝ හා පාරදිගේ නාට්‍ය කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයක් පැවතුණා. ඒකෙදී ශූරතාව දිනාගත්තේ නාඩගම්කාරයෝ අපේ කණ්ඩායම. අපි අපරාජිතව තමයි ඒ ජයග්‍රහණය ගත්තේ. එහිදී හොඳම ක්‍රීඩිකාව විදියටත් සමරු කුසලානයක් මට ලැබුණා. ඊට අමතරව මම ඉස්කෝලේ යන කාලේ නෙට්බෝල්, වොලිබෝල් ක්‍රීඩා කරලා තියෙනවා. මැරතන් තරගවලටත් සහභාගීවෙලා තියෙනවා.  අද ඉන්න ළමයි අපි වගේ නෙවේ. ඇඟ වෙහෙසලා එහෙම ක්‍රීඩාවකටවත් සම්බන්ධ වෙන්න කැමැති නැහැ. අපි නම් ඇළේ, දොළේ හොඳට දුවපැනලා තමයි හැදුණේ වැඩුණේ. අපේ අයියා සංවිධානය කරන ක්‍රිකට් ටූනමන්ට්වලට ගෙදර කොල්ලො තුන්දෙනා එක්ක මමත් තරග කළා. ක්‍රීඩාව කිවුවොත් වෙනම ජවයක් තමයි මට තියෙන්නේ. මම මේවාට අමතරව යගුළිය වගේ ක්‍රීඩාවටත් සහභාගී වුණා. 

මං නාට්‍ය කරන්න පෙලඹෙනකොට ගෙදරින් විරෝධතා එල්ල වුණත් ක්‍රීඩාවට යොමුවෙද්දී එහෙම ලොකු විරෝධතාවක් තිබුණේ නැහැ. දැනටත් මට ක්‍රීඩාවලින් ලොකු සහතික ප්‍රමාණයක් තිබෙනවා. ඔහොම ක්‍රීඩාවලට, නර්තනයට යොමුවෙලා ඉදිද්දී තමයි නාට්‍ය පැත්තටත් යොමුවීමට සිදුවුණේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම නාට්‍ය බලන්න හරිම ආසයි. ඒ කාලේත් මම පොඩි පොඩි නාට්‍ය කෑලි කළා. නිළියෝ ඉන්ටවිව්වලට ඇවිත් කතා කරන විදියට ඉස්සරහට ඇවිත් කතා කරනවා. මුලින්ම මම රඟපෑවේ මාකස් චන්ද්‍රදාස ගේ ‘‘අඹු සැමියෝ’’ කියලා වේදිකා නාට්‍යයක. එතනින් පස්සේ ගාමිණි හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමටත් මම සම්බන්ධ වෙලා වැඩ කළා. 

මුලින්ම මම කොළඹට ඇවිත් නාට්‍යයකට කියලා දායක වුණේ විජය කුමාරතුංග නාට්‍ය උළෙල වෙනුවෙන් කළ ‘‘මායා’’ නාට්‍යයට. එහිදී මගේ රංගනය වෙනුවෙන් කුසලතා සහතිකයක් ලැබුණා. 2000දී කබල් ජෝඩුව නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය ලෙස රාජ්‍ය සම්මානයත් මම ලැබුවා. 99දී ‘‘අරුන්දතී’’ වෙනුවෙන් හොඳම සහය නිළිය සම්මානය ලැබුවා. ඉන් පස්සේ තමයි නාලන් මෙන්ඩිස් මහත්තයාගේ ‘‘සත්පුර වැසියෝ’’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා පියවරින් පියවර කලා ලෝකයේ ගමනක් පැමිණියේ. සමහරවිට මම දිගටම ක්‍රීඩාවේ සහ නර්තනයේ සිටියා නම් ඒ පැත්තෙනුත් රටම දන්න චරිතයක් වෙන්න තිබුණා. 

අමිල චින්තක ගමගේ