මම තනියම Travel කරලා නැහැ කොහෙවත්. හස්බන්ඩ් එක්ක තමයි Travel කරන්නේ
එදිනෙදා වැඩ කටයුතු සමඟ අපි ගෙවා දමන්නේ කාර්යබහුල ජිවිතයක්. මේ අයුරින් ගෙවෙන විඩාබර දවස් වලට ලැබෙන පුංචි විවේකයත්, නිදහසත් අපි සුන්දරව ගත කිරීමට කැමැත්තෙමු. මනස තුළ පවතින පැටළිලි සහගත විඩාබර අවස්ථාවන් සුන්දර මතකයන් කරගන්න අපි තෝරාගන්න සුන්දරම දෙයක් තමයි සංචාරය කිරීම. ලැබෙන විවේකය සුන්දර තැනක, සොඳුරු මිනිසුන් සමඟ කාලය ගත කරන්නට අපිට පුළුවන්. ඉතින් ඒ විදියටම විවේකය සඳහා සංචාරය කිරීම තෝරාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ ඒ සුන්දර මතක මෙවර සඳැල්ල අපිත් එක්ක බෙදාගන්න එකතු වූණා.
චතු සාමාන්‍යයෙන් Travel කරන කෙනෙක්ද ?
ඔව් මම Travel කරන්න ගොඩක් කැමති කෙනෙක්. හැමදාම ගත කරන ඒකාකාරී කාර්යබහුල ජිවිතයෙන් පොඩ්ඩක් මිදිලා නිදහසේ ඉන්න පුළුවන් Travel කරද්දී.
චතු වැඩිපුරම Travel කරන්නේ කා එක්කද ?
මම තනියම Travel කරලා නැහැ කොහෙවත්. හස්බන්ඩ් එක්ක තමයි Travel කරන්නේ. නමුත් අපි දෙන්නා ඇවිදින්න යද්දී යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් එකතු කරගන්නත් අමතක කරන්නේ නැහැ.
ලංකාවේ Travel කරන්න කැමති තැන් මොනවද ?
ගොඩක් වෙලාවට අපි නුවර එළිය, අැල්ල වගේ තැන් වල ඇවිදින්න යනවා. නමුත් විවිධ රටවල් වල ඇවිදින්න තමයි ගොඩක්ම කැමැත්ත තියෙන්නේ. ලංකාවේ ගත්තොත් නුවර එළියට ගොඩක් කැමතියි. මොකද නුවර එළියේ තියෙන දේශගුණය වගේම ලස්සන මල් ගස්, එළවලු වගේ දේවල් එක්ක සුන්දර පරිසරයක් තියනවා. ඒ තියෙන සුන්දරත්වය, නිදහස විදින්න නුවර එළියේ යන්න මම ගොඩක් කැමතියි.
චතූ මේ වෙද්දී Travel කරලා තියෙන රටවල් මොනවද ?
ඇත්තටම රටවල් ගොඩක සංචාරය කරලා නැහැ. නමුත් අවුරුදු දෙකක් විතර ඇතුළත රටවල් හතරක පහක වගේ සංචාරය කරලා තියෙනවා. ඒ ගියපු රටවලින් සුන්දරම රට සිංගප්පුරුව තමයි. මොකද ඒ රට ගොඩක් පොඩි වුණාට ඇවිදින්න, බලන්න යන්න විනෝද වෙන්න ගොඩක් තැන් තියෙනවා. ඒ නිසාම ආයෙමත් සිංගප්පුරු යන්න කැමැත්තෙන් ඉන්නවා.
ලංකාවේ වගේම පිටරට Travel කරද්දී චතුට රස විදින්න ලැබුණු රස කෑම මොනවද ?
පිටරට වල නම් එහෙම විශේෂයෙන් මතක නැහැ. මොකද එක එක රටවල එක එක කෑම කන්න ලැබෙනවනේ. ඒ නිසා රස කෑම වර්ග ගොඩක් කන්න අවස්ථාව ලැබෙනවා වගේම අපේ රසට හරියන්නේ නැති කෑමත් කන්න ලැබුණා. නමුත් කෑම නම් පිටරට වලදී හිතේ හැටියට කන්න බැරි වුණා. ලංකාවේ සංචාරය කරද්දී නම් කන්න ලැබුණු රසම කෑම තමයි අනුරාධපුර, පොළොන්නරුව පැත්තේ ගියාම ඒ අය වැව් මාළු උයලා, බැදලා වගේම පොල් සම්බෝල, මැල්ලුම් වගේ ගමේ රසට එළවලු ගොඩක් හදලා කන්න දුන්නා. මම සාමාන්‍යයෙන් වැව් මාළු කන්න කැමතියි. ඒ නිසා ඒ පැතිවල ගියොත් අනිවාර්යයෙන් ඒ විදියට කන්න ගන්න ගොඩක් කැමතියි.
මේ අවුරුද්දේ Travel කරන්න සැලසුමක් තියනවද ?
ඔව් බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහෙහරි කමක් නැහැ රටකට සංචාරය කරන්න යන්න. නමුත් කොයි රටටද කියලා තවම තීරණය කරලා නැහැ. ඒ වගේම ලංකාවෙත් පුළුවන් හැමවෙලේම කොහෙහරි සංචාරය කරන්න බලාගෙන ඉන්නවා.
චතූ කවදාහරි දවසක Travel කරන්න අසාවෙන් බලන් ඉන්න රට.
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ හොඳ රටකට යන්න කැමැත්තෙන් ඉන්නවා.
Travel කරද්දී තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ?
ඇත්තටම Travel කරද්දී ෆ්ලයිට් එකේ යන්න මම ගොඩක් කැමතියි. ෆ්ලයිට් එකේ අපේ රටට උඩින් යද්දී අපේ රට වගේම අනික් රටවල් පේන විදිය දකින්න තමයි මම කැමති. ඒක මට Travel කරද්දී තියෙන හරි සුන්දර මතකයක්.
චතූ මොකද හිතන්නේ Travel කරන එක ගැන ?
ඇත්තටම අපි හැමදාම වැඩ එක්ක කාර්යබහුල වෙලා කාලය ගත කරනවා. විවේකයක් හම්බුණත් සමහර අවස්ථාවල ගෙදර ඉන්නවා නැත්තන් කොහෙහරි එලියට යනවා. ඒ විදියට තමයි විවේකය ගෙවෙන්නේ. නමුත් ලැබෙන විවේක වෙලාවක වෙන රටකට ගිහින් හෝ ටිකක් දුරකට ගිහින් අපි ඉන්න කාර්යබහුල පරිසරයෙන් මිදිලා එලියට ආවම ඒක අපිට මනසට පුදුමාකාර සැහැල්ලුවක්. ඒ නිදහස වගේම සැහැල්ලුවට මම ගොඩක් කැමතියි. ඒ නිසාම Travel කරනවා කියන එක මනුස්සයෙක්ගේ ජිවිතේ අාසා කරන දේවල් අතර තියෙන්න ඕන.
අමා අලහකෝන්