මම තාත්තා වුණේ ජීවිතේ ප්‍රමාද වෙලා කිව්වොත් හරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පිය පුතු බැදීම කෙරෙහි ඇති ගැඹුර සමීපබව යනු වචන වලට පෙරළිය හැකි දෙයක් නොවන්නේය. එතරම්ම ඒ බැදීම විසල්ය. 
‘‘පියාණෙනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ... 
ඔබේම පුතු වේවා.. ඔබේම පුතු වේවා..’’

යන ප්‍රකාශනයෙන්ම ඒ ගැඹුර මොන තරම් ආත්මීය වූ බැදීමක් ද යන්න අපට වටහා ගත හැකිය. පිය ගුණය සහ බැඳීම ගැන හදවතට දැනෙන – හැඟෙන මේ ගීයට ඔහු වඩාත් ඇලුම් කරන්නේ පියකු ලෙසය. ඔහුගේ ලෝකයට පුතු ආ දවසේ ඔහුට දැනුණ – හැඟුණ දේ වචන වලට ගලපා ගත හැකි දෙයක් නොවුණි. ඒ හැරත් ඒ පිය උරුමය ඔහුට වින්දනය කිරීමට ලැබුණේ විවාහයෙන් වසර ගණනාවකට පසුව වීම නිසා .අන් පියවරුනට දැනෙන හැඟෙන සෙනෙහසට වඩා සිය ගුණයකින් ඒ සෙනෙහස ඔහු දැනුණ බව නම් නොරහසකි. මේ ඒ තාත්තාගේ සෙනෙහසේ කතාවය. මේ තාත්තා ගැන අමුතුවෙන් ඔබට හඳුන්වාදිය යුතු නොවන්නේ චරිතාංග රංගනයට වඩාත් දක්ෂයකු වන ඔහුට ගැන ඔබ හොඳින් දන්නා බැවිනි. තාත්තයි- පුතයි සඳැල්ල විශේෂාංගය අද තාත්තෙකු ලෙස ඔහු හර-බර කරන්නේ කෙසේද යැයි අපි බලමු. 

බුද්ධික මේ දිනවල වැඩ කටයුතු ගැන මුලින්ම සඳහනක් කළොත්?

ජයන්ත චන්ද්‍රසිරිගෙ දේවිය කුසුමාසන ෆිල්ම් එකේ වැඩවලට පසුගිය දිනවල සහභාගී වුණා. දිව්‍යාදරී ටෙලි ඩ්‍රාමා එකේ අවසන් අදියරේ රූගත කිරීම් වලටත් සහභාගී වුණා. තව අලුතින් සිනමා නිරිමාණ දෙකකට ඇරයුම් ලැබිලා තියෙන්නෙ. ඒ ඔක්කෝටම අමතරව මගේ අර්ථ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරගෙන යනවා.  එයින් කෙරෙන්නෙ  ගෘහ භාණ්ඩ නිර්මාණ කටයුතු. කඩා බිඳ දමන ගොඩනැගිලි  සහ නිවෙස් වලින් ඉවත දමන ලී සහ ලීවලින් කරන ලද භාණ්ඩ මිලදී ගෙන එම අමුද්‍රව්‍ය යොදාගෙන අනර්ඝ තත්ත්වයේ ගෘහ භාණ්ඩ ඩිසයින් කරලා නිෂ්පාදනය කරනවා. අර්ථ විසින් නිෂ්පාදනය කරන එම ගෘහභාණ්ඩ නිෂ්පාදනය කිරීමට ලොකු කාලයක් ගත වෙනවා. ඒවා පරිසර හිතකාමී නිෂ්පාදන මෙන්ම සීයයට සීයක්ම ස්වහාවික සහ එක් වර්ගයකින් එකක් විදියට නිෂ්පාදනය වීම තවත් විශේෂත්වයක්. ඒ නිසා ලොකු ඉල්ලුමක් තියෙන්නෙ.

තාත්තා යන හැඟීම නොඑසේ නම් තාත්තා වීම ඔබට දැනෙන්නෙ කොහොමද? 

මම තාත්තා වුණේ ජීවිතේ ප්‍රමාද වෙලා කිව්වොත් හරි.  ඒ නිසා තාත්තා කෙනෙකු වීමේ ආශ්චර්යය, උද්දාමය, ආඩම්බරය, ආසාව, තෘප්තිය යන ඒ හැම දෙයක්ම මට දැණුන විදිය වැඩියි. හැබැයි හතළිහට විතර ආසන්න වෙද්දි ඒ ආඩම්බරය  ලැබුණාම ඒක මට දැනුණෙ යළි මම නැවුම් වූවාක් මෙන් වූ හැගීමක්. ජීවිතයම අලුත් වුවාක් මෙන් වු හැඟීමක්.

දැන් පුතාගේ වයස? නම?

අවුරුදු නවයයි.තේජාන් ජයරත්න

පුතා ඔබගේ ලෝකයට ආ පසු ජීවිතේ ඔබගේ වෙනස් වූ තැන් මොනව ද? වෙනස් කරගත් තැන් මොනව ද?

වෙනස් කරගත යුතුය කියලා කියන්නට තරම් අකටයුතු හෝ අනවශ්‍ය දේ මගේ ජීවිතයේ තිබුණෙ නැහැ. ඒ නිසා වෙනස් කර ගත යුතු කියලා දෙයක් මට නැහැ. නමුත් දරුවා කියන ඒ ප්‍රාණය එක්ක අපට වගකීමක් තියෙනවනෙ. දරුවන් හැදීම සහ වැඩීම කියන්නෙ මම දකින විදිහට දෙවිදියක්. දරුවො වඩන හැටි මම දැකලා තියෙනවා, ඒ සමහර වැඩිච්ච දරුවන් ගෙන් සමාජයට වන අකටයුතුකම් මම දැකලා තියෙනවා. වඩපු දරුවො වඩලා විතරයි. අතිශය දක්ෂ ගුරුවරු වගේම පියවරු මව්වරු මම දැකලා තියෙනවා, නමුත් තමුන්ගෙ දරුවන්ව ඒ අය හදලා නැහැ. වඩලා විතරයි තියෙන්නෙ. එහෙම අය මම හරියට දැකලා තියෙනවා. ඒ නිසා මට ඕනෑ දරුවකු වඩන්න නෙවෙයි, දරුවකු හදන්නයි. දරුවා සා-පෙළ ඒ නමයක් - දහයක් ගත යුතුමයි කියන තැන මම නැහැ. උසස් පෙළ A විතරක් ගත යුතුය කියන තැන මම නැහැ. දරුවා දක්ෂ මොනවට ද ? එම අංශයෙන් උපරිම ඵල නෙළා ගන්න ඔහුට අවශ්‍ය පරිසරය සකසා දිය යුතුයි. මූලිකම දේ එයා හොඳ මිනිහෙක් කරවීමයි. හොද මිනිහෙක් නැතුව වෘත්තිකයෙක් විතරක් බිහි කරලා ඇති වැඩක් නැහැ. මගේ ජීවිතයේදී මම එය ප්‍රායෝගික කළ කෙනෙක්. නිතරම සමාජයේදි මම ඒ විදියයි. ඒ ගුණාංගය දරුවාට එනවාට මම ආසයි. ඒ හැර එයාගේ වෘත්තිය මට අදාළ නැහැ. මොන දේ කළත් හොඳ මිනිහෙක් යමෙකුගේ ජීවිතයේ සිටිනවා නම් ඒක තමයි හොඳම දේ. ඒ හොඳ මිනිහා බිහි කිරීම සදහා වන වට පිටාව තමයි මම හදන්නෙ.

ඒ කියන්නේ පුතාට තනියම නැගී සිටින්නට ඔහුගේ කුඩා කාලයේ සිටම පුරුදු කළ යුතුද ?

අනිවාර්යයෙන්ම අපි එහෙම කළ යුතුයි. අපි හිතමු එයා දුවගෙන යද්දී වැටුණාම තුවාල වූ දණහිසට කෙළ ටිකක් ගාගෙන ආයෙත් දුවන්නයි ඕනෑ. එහෙම නැතුව අම්මේ තාත්තේ කියාගෙන අඬාගෙන තරගය අත් හැර දාන පුතෙක් හදන්න මට අවශ්‍ය නැහැ.

ඔබ ඇත්තටම මොන විදිහෙ පියෙක් ද? මොන ස්වභාවයේ පියෙක් ද?

මම බොරුවට තාත්තා කෙනෙක් නෙවෙයි. හුණුවටයේ කතාවේ වැදූ අම්මා සහ හැදූ අම්මා ඒ කියන්නෙ දෙදෙනෙක්. අන්න ඒ වගේ වැදූ මව වගේ පියෙක් නෙවෙයි. ගුණ යහපත්කම එක්ක දරුවාගේ යහපත හා සතුට පමණයි මම හිතන්නෙ. ඔහුගේ යහපත වෙනුවෙන් ඔහුව අත් හැරීම කළ යුතු වේ නම් ඒ අත් හැරීම තාවකාලිකව මම කරනවා. මට එතකොට ටිකක් රිදෙයි. ඒත් එය ඉවසා දරාගෙන මට ඉන්න සිද්ධ වෙනවා. එයාගේ අනාගත යහපත වෙනුවෙන්. 

දරුවාගේ වැඩ සියල්ල බිරිදට පවරා තමන් පාඩුවේ සිටින තාත්තලා සාමාජයේ සිටිනවා. ඔබ ඒ දරුවාගේ වැඩ වලදී මොන වගේ සහයෝගයක් ද බිරිඳට ලබා දෙන්නෙ?

සාම්ප්‍රදායික ගෙදරක විදිය තමයි මගේ ගෙදර තියෙන්නෙත්. ළමයාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියල්ල ගැන සොයා බලන්න  මම බිරිඳට පවරලා නැහැ. ඇය ස්ව කැමැත්තෙන්ම ඒ වැඩ කටයුතු භාරගෙන කරනවා. ඒවාට මම මැදිහත් වන්නෙ නැත්තෙ එහෙම වුණොත් ඝට්ටනනෙ වෙන්නෙ. ඒවා වැරදි විදිහට නොවන්න ඇය වග බලා ගනීවි.

අම්මලා ගෙදර මූලික වෙලා වැඩ කරන්න කැමතියි. දරුවා වෙනුවෙන් ඇය බලන්නෙත් යහපතනෙ. කොහොම වුණත් ඇය කරන ඒ වැඩ වලදී අනවශ්‍ය මැදිහත්වීම්වලට මම යන්නෙ නැහැ. 

දරුවන්ට දඩුවම් දිම හරිම සාම්ප්‍රදායිකයි කියලයි සමහර අය හිතන්නෙ,  ඔබ කොහොම ද ඒ ගැන හිතන්නෙ? ඒක වැරදි දෙයක් ද?

එයා කළ දෙයකට දවසක් මම පාරක් ගැහුවා. පොඩි කෝට්ටකින්. එතකොට එයා ඇඬුවා. මම එය ඉවසා දරාගෙන හිටියා. පසුව හැන්දෑවෙ එයාව එක්කගෙන එළියට ගිහින් අයිස් ක්‍රීම් එකක් අරන් දීලා පුතා මම ඔයාට පහරක් ගැහුවා ඔයාට රිදුණද? කියලා එයාගෙන් ඇහුවා. දැන් රිදෙන්නෙ නැහැ කියලා පුතා කිව්වා. පුතේ ඔයාට වඩා මටයි රිදුණෙ කියලා  මම එයාට කිව්වා.. ඒක මතක් වෙන වාරයක් පාසා මට රිදේවි කියලා මම කිව්වා. හැබැයි ඔයා ඒ දඬුවම ලැබිය යුතුයි නේ ද කියලා ඇහුවාම ඔව් කියලා පුතා කිව්වා. ඒ කියන්නෙ එයා ඒ මොහොතේම වරද වටහාගෙන. එච්චරම තමයි, එයාට දඬුවම් කරන්න තරම් දෙයක් මා ඉදිරියේ ඉන්පසු වුණෙත් නැහැ. පුළුවන් සෑම වෙලාවකම මම එයාව එක්කගෙන  ගිහින් සෙල්ලම් කරලා එනවා. ඒ වගේම එයාට සෙල්ලම් බඩුවක් ඕනැ නම් ඔයා කැමති එකේ  ගණන කියන්න කියලා මම එයාට කියනවා, හැබැයි මට පුළුවන් නම් විතරයි මම ඔයාට ඒක අරන් දෙන්නෙ කියලා, එතකොට එයා දන්නවා මම ඒක අරන් දෙන්න ලැහැස්තියි.  හැබැයි තාත්තට පුළුවන්නම් විතරයි යන වග. ඒ වගේම කොහේ ගියත් මම එයාට කෑම ඉතිරි කරන්න දෙන්නෙ නැහැ. කන්න නැති බොහෝ දෙනෙක් ඉන්න වග මම එයාට පහදා දෙනවා. එයා ඒ නිසා පුළුවන් ප්‍රමාණය විතරයි බෙදා ගන්නෙ. ඇඳුමක් නැති සෙල්ලම් බඩු නැති ඕනෑ තරම් ළමයින් ඉන්නවා ඒ නිසා ඔයාගේ දේ පරිස්සම් කරන්න වගේම හැකි නම් ඒ වගේ අයට උදවු කරන්න කියලත් කියාදෙනවා. අන්න ඒ විදිහට තමයි මම එයාව හදන්නෙ.

අපේ රටේ තාත්තලා ගෙන් වෙන අඩුපාඩු හැටියට ඔබ දකින්නෙ?

තාත්තලාට වඩා අම්මලා කරන වරද තමයි තමුන්ට ඉටු කර ගන්න බැරි වූ සිහින දරුවන් ලවා ඉටුකර ගැනීම වෙනුවෙන් සීමාව ඉක්මවා පෙළැඹ වීම, අම්මලා එහෙම කරන්නෙ දරුවන් එයාලට ළඟ වැඩි නිසා වෙන්න ඇති. ඒත් මම නම් හිතන්නෙ එහෙම විය යුතු නැහැ. තාත්තලාට අම්මලාට කළ නොහැකි වූ දේ දරුවන් ලවා කර ගන්නට යාමෙන් දරුවන්  අපහසුතාවට ගත් කරවන්න එපා. දරුවන්ට දරුවන්ගේ ලෝකය විඳින්න දෙන්න...

බුද්ධික ඔබ කැමතිම පිය ගුණ ගීතය පියාණෙනි මා නැවත උපන්නොත් කියලා කිව්වනෙ, ඔබ පුතා වෙනුවෙන් කව් ගී ලියා නැද්ද?

මගේ පපුවට දැනුණ ගීයක් ලියැවුණා. එය ගීයක් ලෙස නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නෙ. එය අනාගතයේදී සිදුවේවි.  
උගතෙක් වෙයි නුඹ වචනෙන් දෙකක් නැතී..
මිනිසා සොයා ගන්නි පුත ඒ උගතට දෙවැනි නැතී..  
 මිනිසකු වී නුඹ ඒ ලෝකය දිනන දින....
 එතැන වේවි මගේ ජීවිතේ උසම තැන...

 

සඳුන් ගමගේ