මම තාත්තා කෙනෙකුගේ චරිතයක් කළා කියලා වයසට යන්නෙ නැහැනෙ
පුංචි තිරයේ අහිංසක පෙම්වතෙක් ලෙස බොහෝ කලක් ජනප්‍රියව සිටි රංගන ශිල්පියෙක් තමයි උදිත් අබේරත්න. නමුත් පසුගිය කාලය තුළ ඔහු නිර්මාණ තුළින් දක්නට ලැබුණේ නැහැ. දැඩි නිහැඬියාවක් සමගින් උදිත් නැවතත් පුංචි තිරයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසාම ඔහුට ආදරය කරන ඔබ වෙනුවෙන් උදිත් ගැන කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් වෙනවා.
උදිත් කාලෙකට පස්සෙ පුංචි තිරයට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?
ඔව්. ඇත්තටම පොඩි විරාමයක් ගත්තා. අවුරුදු 4 කට පස්සෙ වගේ තමයි නැවත ටෙලි නිර්මාණයක් සමගින් සම්බන්ධ වෙන්නෙ. ඒ අතරෙ පොඩි පොඩි නිර්මාණ කළා. ඒ නොකර බැරිකමට සහ යාළුකමට කතා කරන වැඩවලට තමයි සම්බන්ධ වුණේ. ඒ අතර දීර්ඝ වැඩක් විදියට සම්බන්ධ වුණේ මේ දිනවල විකාශය වන හිත ළඟ හිනා වුණා නිර්මාණයට තමයි.
ඇයි ටික කාලෙකට හෝ එවැනි සමුදීමක් සිදුවුණේ. කලා ක්ෂේත්රය පිළිබඳව කලකිරීමක්වත් සිද්ධ වුණාද?
ඇත්තටම මම මගේ වෘත්තිය විදියට කලා ක්ෂේත්රයේ තමයි නිරතවෙලා හිටියේ. නමුත් එක තැනකදී හිතුණා පොඩ්ඩක් නිහඬව බලන් ඉන්න ඕනැ කියලා. මේ යන විදිය සහ වෙන්නෙ මොකක්ද කියන දේ මේ ක්ෂේත්රය ගැන කලකිරීමක් ඇති නොවුණාම නෙමෙයි. කලකිරීම් ඇතිවුණු අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. නමුත් මට ඕන වුණේ මේ යන විදිය පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඉතින් ඒ විරාමයක් ගත්තු කාලය තුළ පෞද්ගලික ජීවිතේ වැඩකටයුතු ටිකක් කරගත්තා.
උදිත්ව ප්රේක්ෂකයො දැකලා තිබුණේ පුංචි තිරයේ පෙම්වතා විදියටනේ. නමුත් මේ නිර්මාණය තුළ ඔබේ රංගනය ලොකු වෙනසක් නේද?
ඔව්. ඇත්තටම මේ නිර්මාණය තුළ මම රංගනයෙන් දායක වෙන්නේ තාත්තා’’ කෙනෙක්ගෙ චරිතෙකට. ඒක වෙනස්ම මුහුණුවරකින් එන චරිතයක්. මේ වෙනස්වීම කියන දේ මම හැමදාම බලාපොරොත්තු වුණා. මම හරි ආසාවෙන් හිටියා වෙනස් විදියෙ චරිත රංගනයක් කරන්න. ඇත්තටම ‘හිත ළඟ හිනැහුණා’ නාට්‍යයේ දේවක චරිතය මට ලොකු අභියෝගයක්. නමුත් මට මේ චරිතය වෙනුවෙන් ආරාධනා කළාම හරිම ආසාවෙන් භාරගත්තේ. ඒ වගේම මේ චරිතය තුළ මට කරන්න දේවල් ගොඩක් තියෙනවා. අභියෝගයක් වුණත් ඒ චරිතයට අනුගත වුණාම ඒක කරන්න ලේසි වුණා.
උදිත් තවම තරුණ වයසෙනෙ ඉන්නෙ ඉතින් තාත්තා කෙනෙකුගෙ රංගනය භාරගද්දී හිතුණේ නැද්ද අසාධාරණයක් වෙයි කියලා ඔබේ රංගන ජීවිතයට?
මේ කතාවේ තිර පිටපත ලැබිලා කියෙව්වට පස්සෙ ඇත්තටම මට එහෙම දෙයක් හිතුනෙ නැහැ. මේ චරිතය තුළ මට කරන්න තිබුණු දේ සහ ඒ දේට මගෙන් දායකත්වය ලබාදෙන්න තිබුණු කොටස වැඩියි. ඉතින් මම ගොඩක් කැමති වුණා මේ චරිතයට පණපොවන්න. ඒක ලොකු අවස්ථාවක් විදියට මට දැනුණේ. ඒ වගේම මේ සාම්ප්‍රදායික තාත්තා කෙනෙක් නෙමෙයි. ඒ තාත්තාට දරුවො ඉන්නවා තමයි. නමුත් ඒ දරුවන්ගෙ දේවල් සමගම ගොඩක් එහා ගිය කතාවක් මේ තුළ තියෙනවා. ‘දේවක’’ කියන චරිතය තමන්ගේ ජීවිතයේ පැටලුණු තැන් ලිහාගන්න ලොකු අර්බුදයක් කරනවා. ඒකයි මම කිව්වේ මේ තුළ කරන්න දෙයක් තිබුණ කියලා. ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනැ. ඒ දේට ආත්ම විශ්වාසය තියෙන්න ඕනෑ. මම තාත්තා කෙනෙකුගේ චරිතයක් කළා කියලා වයසට යන්නෙ නැහැනෙ. ඒක එක්තරා නිරූපණයක් විතරයි. ඒක දිගටම කරලා එක තැනකටම කොටුවෙනවා නම් ඒක වැරදියි. නමුත් විවිධාකාර විදියට වෙනස් චරිතවලට යන්න ඕනෑ. ඒ දේට මම කැමතියි. ඉතින් මම හොයන වෙනස මට ලැබෙන චරිතයක් තුළ තියෙනව නම් මම ඒ දේ භාරගෙන කරනවා. ඒ නිසා මේ රංගනය මට අසාධාරණයක් වෙයි කියලා හිතන්නෙ නැහැ.
ප්රේක්ෂකයො කොයි විදියට ද ඔබේ වෙනස භාරගෙන තියෙන්නේ?
අපි හැමෝටම ප්රේක්ෂකයො විවිධාකාර විදියට ඉන්නවා. සමස්ත කලා ශිල්පි ශිල්පිනියන්ටම ආදරේ කරන පිරිසක් ඉන්නවානෙ. ඉතින් මටත් රසික පිරිසක් ඉන්නවා. ඒ පිරිස මගේ නිර්මාණයක් එනකම් බලාගෙන හිටියා. සමහර වෙලාවට Fb හරහාත් ජංගම දුරකථනයටත් කෙටි පණිවිඩ පවා එවනවා ඉක්මනින් නාට්‍යයක් දෙන්න කියලා. ඉතින් මේ රංගනය වෙනුවෙන් ඒ රසික ප්‍රතිචාර ඉතා ඉහළින් ලැබෙනවා. ඒ අතර සමහර අය කියනවා ඇයි දැන්ම තාත්තාගේ චරිතය කරන්න භාර ගත්තෙ කියලා. ඒ හැමෝටමත් මම කිව්වේ ඉතින් මේ මගේ රංගන ජීවිතේ වෙනසක් ඇති කරපු චරිතයක් කියලා. ඉතින් මේ නිර්මාණය තුළින් මාව දකින්න ලැබුණම ගොඩක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර තමයි තිබුණේ. මාව ටික කාලයක් දකින්න නැති වුණත් ප්‍රේක්ෂක ආදරේ නම් අඩුවක් තිබුණේ නැහැ.
කොහොමද මේ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ?
මාව මේ චරිතය වෙනුවෙන් යෝජනා කරලා තිබුණෙ මෙහි තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා. මම ඔහුගේ නිර්මාණ රැසකට මීට පෙර සම්බන්ධ වෙලා තියෙනවා. මම කොහොමත් ඔහුගේ නිර්මාණවල වැඩ කරන්න කැමතියි. ඒ වගේම මෙහි අධ්යක්ෂවරයා ධනුෂ්ක රත්නායක එක්කත් වැඩ කරන්න ලොකු කැමැත්තක් තිබුණා. ඔහු නිර්මාණ අධ්යක්ෂවරයෙක් විදියට වෙනස් විදියේ දේවල් කරන කෙනෙක්. ඒ නිසාම මම මේ ආරාධනාව ලැබුණට පස්සෙ කැමැත්තෙන්ම චරිතය කරන්න භාරගත්තෙ. මෙහි සහය අධ්ය්යක්ෂවරයා ධනුෂ්ක පෙරේරා ඔහුවත් විශේෂයෙන් මතක් කරන්න ඕනා. ඒ වගේම මේ නාට්‍ය කණ්ඩායමත් ඉතා සුහදශීලීව වැඩ කරගෙන යනවා. අපේ පරම්පරාවෙන් පස්සේ ක්ෂේත්රයට එන අලුත් පරම්පරාවක් ඉන්නවා. ඉතින් අපේ මේ පරම්පරා අතර කිසිම හැලහැප්පීමක් නැහැ. හැමෝම ලස්සනට හරිම සහෝදරත්වයෙන් ඒ කටයුතු කරගෙන යන්නේ. ඒ ගැනත් කතා කරන්නම ඕන. මේ හැම සහයෝගයක් ශක්තියක් එක්කම මේ නාට්‍යය විකාශය වන සිරස නාළිකාවෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මේ නිර්මාණ දායකත්වය එක්ක ඉදිරි වැඩ කටයුතු කොයිවිදියටද සැළසුම් කරලා තියෙන්නේ.
තව නිර්මාණ දෙකකට මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඉදිරියට ඒවාට සම්බන්ධ වෙනවද? නැද්ද? කියලා තීරණය වෙයි. කොහොමත් කලාවෙන් ඉදිරියට යන්න තමයි සැළසුම් තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් මම ලබාගත්තු අත්දැකීම් එක්ක ඉදිරියට ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. නමුත් කිසිදේකට ඉක්මන් වෙන්නෙ නැහැ. හිමින් ගමනක් යන්න තමයි එකම බලාපොරොත්තුව.
ධනු විජේරත්න