මම ටිකක් දඟකාර කෙලිලොල් චරිතයක්. තීරණ ගද්දී වුණත් දැඩි තීරණවලට යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචිතිරයේ මේ දිනවල වැඩි ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන තියෙන රංගන ශිල්පිනියක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. මෙවර සඳැල්ල කවරයත් හැඩ කරමින් අපේ කතාබහට ඇය සම්බන්ධ වුණේ මෙලෙසින්,

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ලක්වෙලා ඉන්නවා නේද?

ඔව් ඇත්තටම මීට සති කිහිපයකට පෙර මම සම්බන්ධ වුණු අලුත්ම ටෙලි නිර්මාණයක විකාශය ආරම්භ කළා. ඒ ස්වර්ණවාහිනියෙ රාත්‍රී 7.30 විකාශය වන ‘ඇස්’ ටෙලි නිර්මාණය. එහි මම රංගනයෙන් දායකවෙන්නෙ ‘සංවරී’ කියන චරිතය. පාසල් ශිෂ්‍යාවකගෙ චරිත රංගනයක්. සංවරී කියන්නෙ ටිකක් අහිංසක නමුත් දඟකාර චරිතයක්. ඉතින් මේ වෙද්දි අලුත්ම නිර්මාණය වෙනුවෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සුපුරුදු විදියට ‘සංගීතේ’ ටෙලි නිර්මාණයත් විකාශය වෙනවා. එහි ‘අසිනි’  චරිතයටත් තවමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල පුංචි තිරයේ කතාබහට ලක්වෙන්නෙ මේ චරිත රංගනයන් දෙක තමයි.

ඇස්’ වලින් කතා කරන මේ ‘සංවරී’ ගැන ටිකක් කියමුද?

‘සංවරී’ කියලා නම තිබුණට ඇය ටිකක් කෙලිළොල් දඟකාර ගැහැණු ළමයෙක්. මේ චරිතය කරන්න මට අවස්ථාව ලැබෙන්නෙ මෙහි අධ්‍යක්ෂවරයා වන සමීර හසුන් අයියා හරහා. ඔහු එක්ක මම මීට පෙර මගේ පළමු ටෙලි නිර්මාණය වන ‘අහස් මාලිගා’ සමගින් සම්බන්ධ වෙලා තියෙනවා වැඩ කරන්න. ඉතින් ඒ හඳුනා ගැනීමත් එක්ක තමයි මට මේ නිර්මාණය වෙනුවෙන් අවස්ථාව ලැබෙන්නෙ. ඔහු මේ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ මේ නිර්මාණය ගැන මුලින්ම මට කතා කරලා කිව්වෙත් මටම ගැළපෙන නිර්මාණයක් තියෙනවා කියලා. මොකද මම රූගත කිරීම් කරද්දී කැමරාව ඉදිරිපිටදී නිතරම ඇස් පිල්ලම් ගැහෙනවා. ඒ දේ අධ්‍යක්ෂවරයා මගේ කළින් නිර්මාණයේදී දැක්කා.

ඒ නිසාම තමයි ඔහු මට මුලින්ම කිව්වේ මගේ ඇස් දෙකටම ගැළපෙන නිර්මාණයක් කරන්නෙ කියලා. ඉතින් මේ කතාවයි මගේ චරිතයයි ගැන කිව්වම මම ගොඩක් කැමැත්තෙන් තමයි නිර්මාණය භාරගත්තෙ. ඉතින් මේ වෙද්දි මේ වැඩ කටයුත්ත කරගෙන යන්න අධ්‍යක්ෂවරයාගෙන් ඇතුළු ‘ඇස්’ කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.

මේ නිර්මාණ දෙකේම ගීත්මා පාසල් ශිෂ්‍යාවක් විදියටනෙ රංගනයෙ යෙදෙන්නෙ. කොහොමද ඒ අත්දැකීම?

ඒ අත්දැකීම ඇත්තටම මාරම සුන්දරයි. නැවතත් අපේ ජීවිතේ ලස්සනම කාලය වන පාසල් කාලෙට යනවා. ඒ හැඟීම වචනවලින් කියන්න බැරි තරම්. මම මේ වෙද්දි පාසලෙන් ඉවත්වෙලා අවුරුදු ගණනක් ගතවෙලා තියෙනවා. නමුත් මේ නිර්මාණ හරහාත් ආයෙත් පාසල් යන්න වෙලා තියෙන නිසා ඒ කාලෙ කරපු දඟ වැඩ, යාළුවොත් එක්ක කල්ලි ගැහෙන ඒවා ඒ ගතකරපු සුන්දර අතීතය මතකෙට එනවා. ඇත්තටම මෙවැනි චරිත දෙකක් එක්ක එකතුවෙන්න ලැබීමම ලොකු භාග්‍යයක්.

ගීත්මාට ලැබෙන්නෙම ප්‍රේක්ෂකයන්ට ප්‍රියත්වයක් ගෙන දෙන චරිත රංගනයන් නේද?

ඇත්තටම ‘සංගීතේ’ නිර්මාණයෙන් පස්සෙ මට ආරාධනා ගොඩාක්ම ලැබුණෙ පාසල් කාලෙ චරිත රංගනයන් වලට. නමුත් මම එක චරිතයකට කොටුවීමක් වෙන්න ඒ තරම් කැමැති නැහැ. චරිත භාරගද්දිත් ටිකක් වෙනස්වෙන්න බලනවා. නමුත් ප්‍රේක්ෂකයෝ කැමැති පාසල් චරිතවලට වගේ තමයි. ඒවට ප්‍රතිචාර වැඩියි. මොකද ඔවුනුත් මේ චරිත තුළින් නැවත ඔවුන්ගේ ඒ අතීතයට එහෙම යනවනෙ.

නමුත් රංගන ශිල්පිනියක් විදියට මම වෙනසකට යන්න කැමැතියි. මීට පෙර මම නීල පබළු නාට්‍යයේ නපුරු චරිත රංගනයක් කළා. ඒත් මගේ පෞද්ගලික කාරණා කිහිපයක් නිසා ඒ තුළින් ඉවත් වුණා. ඒ ඇරුණාම මම දායක වුණු වෙනස්ම චරිත රංගනයන් කිහිපයක් ඉදිරියේදී දකින්න ලැබෙයි. ඒ නිර්මාණ දෙකක් තුළ නපුරු දරදඬු ගති ලක්ෂණ එහෙම තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ ඒකාකාරී බවින් මිදුණු ඒ චරිත රංගනයන් තුළින් මගේ රංගන ජීවිතයේ වෙනසක් සිදුවෙයි.

ඇත්තටම ගීත්මා අහිංසකද? නපුරුද?

මම ටිකක් දඟකාර කෙලිලොල් චරිතයක්. තීරණ ගද්දී වුණත් දැඩි තීරණවලට යනවා. ජීවිතේ කිසිම තැනකදී බොළඳ වෙන්නෙ නැහැ. ටිකක් තදයි.

රංගන ක්ෂේත්‍රයට පිවිසීමද ගීත්මාගෙ එකම බලාපොරොත්තුව වුණේ?

ඇත්තටම නැහැ. මේ අහඹු සිදුවීමක්. පාසල් කාලෙදි මම අධ්‍යාපනයට තමයි වැඩිම නැඹුරුව තිබුණෙ. ඒ හරහා පාසලේ කැපිල පෙනුණු චරිතයක් වුණා.

ඒ කාලෙ සාහිත්‍ය අංශයට, ගණිත අංශයට ගොඩක් දක්ෂයි. මම උසස් පෙළ හැදෑරුවෙත් ගණිත අංශයෙන්. මගේ බලාපොරොත්තුව වුණේ ඉංජිනේරුවරියක් වෙන්න. මම පුංචි කාලෙදී නම් කලා කටයුතුවලට පුංචි නැඹුරුවක් තිබුණා. නමුත් මගේ මුල් පාසලේ නාට්‍ය හා රංගකලාව තිබුණෙ නැති නිසා ඒ අංශයට නැඹුරුවෙන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. චිත්‍ර, නැටුම්, සංගීතය පාසලේ තිබුණෙ. මම හැදෑරුවෙ චිත්‍ර විෂය. නමුත් 9, 10, 11 ශ්‍රේණිවලදී අපි ඒ පාසලේ නාට්‍ය කණ්ඩායමක් හදාගෙන තිබුණා ඒ තුළින් පාසලේ විවිධ උත්සවවල වේදිකාවෙ අපේම නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඇරෙන්න විෂයක් විදියට හදාරලා නැහැ රංගනය. O/L වලින් පස්සේ A/L කරන්න මම ගියේ හොරණ ශ්‍රීපාලියට. එහිදි ගණිත අංශයෙන් උසස් පෙළ හදාරපු නිසා කලාවට සම්බන්ධවෙන්න ඉඩක් තිබුණෙ නැහැ. ගෙදරිනුත් උපරිම සහයෝගය ලැබුණෙ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න. නමුත් පාසල් කාලෙ අවසන් වෙනවත් එක්කම මම අවුරුදු කුමාරිය තරඟයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධවීමත් එක්ක අධ්‍යාපන කටයුතු යම්තාක් දුරකට අතඇරුණා.

ඇත්තටම මම මේ තරඟයට සම්බන්ධ වුණේ පොඩි වෙනසකට වගේ. මේ තුළින්  බලාපොරොත්තු වුණේ තරඟයට ඉදිරිපත් වීම විතරයි. නමුත් විශ්වාස කරන්නත් බැරි විදියට මට ජයග්‍රහණයක් ලැබුණා. ඒ ජයග්‍රහණය හිතුවෙවත් නැති විදියට මගේ ජීවිතේට වටිනාකමක් දුන්නා. ඒ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අවස්ථාව මේ තරඟයෙන් පසුව ලැබීමත් එක්ක. මුල් කාලයේදී කලාවට සම්බන්ධ වෙනවාට ගෙදරින් විරෝධයක් තිබුණත් දැන් මේ ගමනට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම මම දැන් මේ අංශයට ගොඩාක් කැමැතියි සහ ආදරෙයි. දැන් කලාව මගේ වෘත්තියවෙලා.

කලා අංශයට සම්බන්ධ වීමත් එක්ක පෙර තිබූ බලාපොරොත්තු අත ඇරියද ඒ කියන්නෙ?

කලා ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක පෙර තිබුණු හීන මඟ ඇරුණා. මොකද ගණිත අංශයෙන් ඉදිරියටම යන්න කැපවීමක් කරන්න ඕනෑ. ඒ දේ මට කරන්න ලැබුණෙ නැහැ. ඒ නිසා මම කලා අංශයට සම්බන්ධවෙලා අධ්‍යාපනය හැදෑරුවා. එතැනින් පසුව නීති අංශයෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තු වුණේ. නමුත් ඒ දේත් තරමක් අසීරු වුණා. කාලය යොදවන්න අසීරු වීමත් එක්ක.

ඒ දේත් පැත්තක තියලා කලාවට තමයි මුල්තැන දුන්නෙ. නමුත් මම අධ්‍යාපන කටයුතු අතඇරලා නැහැ. තවමත් ඒ දේවල් කරගෙන යනවා. මේ වෙද්දි මනෝ විද්‍යාව පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්නවා. ඒ තුළින් උපාධිය දක්වා යාම තමයි අරමුණ වෙන්නෙ කලාවත් කරගෙනම.

ජීවිතේ කැපකිරීම් ගොඩාක් කරගෙන අවසානෙ නතර වුණේ කලාව තුළනෙ. ඉතින් මේ ආපු මඟ ගැන මොකද හිතෙන්නේ?

මම මෙතෙක් ගත්තු තීන්දු තීරණ ගැන කිසිම පසුතැවීමක් නම් නැහැ. මොකද මට මේ ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන ගොඩාක් සතුටුයි. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ලොකු පිනක් වාසනාවක් විදියට මම දකින්නෙ. රංගන ශිල්පිනියක් විදියට අද ලබන ප්‍රතිචාර ඒ ආදරය ආශිර්වාද වෙනකිසිම තැනකින් ගන්න බැහැ. මම මුලින් හිතුවෙ නැහැ මට මේ තරම් ප්‍රතිචාර තියෙයිද? ප්‍රේක්ෂකයො මාව පිළිගනීද කියලවත්. නමුත් අද වෙද්දි මේ ලැබෙන දේවල් ගැන මම ගොඩාක් තෘප්තිමත්. මගේ සැඟවිලා තිබුණු යම් කුසලතාවක් එළියට ඇවිල්ලා ගොඩාක් වාසනාවන්ත වුණා කියලා හිතෙනවා මෙතරම් ආදරයක් ලබන්න.

ගීත්මාගේ වෘත්තිය දැන් කලාව කිව්වනෙ. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් රටේ තියෙන තත්ත්වයත් එක්ක රට අතඇරලා යනවා. ගීත්මාට එහෙම අදහසක් නැද්ද?

ඇත්තටම නැහැ. මම අද වෙද්දි මේ පුංචි රට ශ්‍රී ලංකාව ඇතුළෙ යම් විදියකට කලා ක්ෂේත්‍රයෙන් නමක් හදාගෙන තියෙනවා. යම් ආදායමක් මේ තුළින් ලබනවා. මම ඇවිදින්න යන්න වගේ කැමැතියි වෙනත් රටවලට. නමුත් පදිංචිය හැමදාමත් ශ්‍රී ලංකාවෙම තමයි. කවදාවත් රට අතඇරලා යන්නේ නැහැ.

ඒ තරමට රටට ආදරෙයි.

මේ රට මගේ රට – මා ඉපදුණු රට

හැදුණු වැඩුණු රට – මගේම මවුරට තමයි

ශ්‍රී ලංකාව හැමදාමත්

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්