මම චාමරට ගීත ලිව්වේ ඔහු ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චාමරට ගීත බොහෝ ප්‍රමාණයක් ලියූ පද රචක, රචිකාවියන් අතරේ සුවිශේෂි තැනක් ආරාධනා ඒකනායකට හිමිවේ. ඇය චාමරට ලියු බොහෝ ගීත ප්‍රමාණයක් ජනප්‍රිය වූ අතර, ඒවා අදටද රසිකයින්ගේ මතකයේ පවති.

මතකද ඔබ චාමරට ලියූ මුල්ම ගීතය?

චාමරට මම ලියපු පළමු ගීතය තමයි සිතින් විතරක් පෙම් කරන්නම්.. ගීතය. ඒ ගීතය සමග මම ගීත දහයක් විතර දැන් චාමරට ලියලා තියෙනවා.  මට ඒ සදහා අවස්ථාව ලැබෙන්නේ රන්සිළු කැසට් ආයතනයේ අධිපති රංජිත් ප්‍රේමලාල් මහතා හරහා. ගී පද රචකාවියක් විදිහට මම මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න මට පුළුවන් වෙන්නේ ඔය ලැබුණ අවස්ථාව හරහා කිව්වොත් හරි.

චාමරට ඔබ විසින් ලියූ ගීත මොනවද?

සිතින් විතරක් පෙම් කරන්නම්.. ගීතය හැරුණු කොට මතකයන් ඔබේ, කුමුදුලියේ, ලෙන්ගතුකම, සමාවෙලා, හිමි සදු අහිමිව, කවදාවත් ඔබ මාගෙන්, එක දවසක් මට, අත් හැරලා මා ආවත්, සිත හෙමිහිට හදාගන්න කියන ගීත චාමරට මම ලියලා තියෙනවා. මේ හැම ගීතයක්ම වගේ ගොඩක් ජනප්‍රිය වුණා.

චාමරත් සමග අදහස් බෙදාගෙනද ඔබ මේ ගීත ලිව්වේ?

නෑ. කවදාවත් මම චාමර එක්ක කතා කරලා ගීත ලියලා නෑ. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරුන් හෝ නිෂ්පාදකයින් සමග හෝ සාකච්ඡා කරලා ඒ කිසිම ගීතයක් නිර්මාණය කරලා නෑ. මගේ අදහස් පමණයි ඒ ගීතවල අන්තර්ගත වෙලා තියෙන්නේ.

ජනප්‍රිය ගායකයෙකුට ගීත ලියද්දි ඔබ විශේෂත්වයක් දක්වනවාද?

මම චාමරට ගීත ලිව්වේ ඔහු ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ. එතකොට චාමර මිනිස්සු අතර ලොකුවට කතා වුණ කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා විශේෂ සැළකිල්ලක් මට ඔහු ගැන තිබුණේ නැහැ. අනික් දේ තමයි මම ගීත ලිව්වාට චාමර ඒවා ගායනා කරයිද කියලා මගේ විශ්වාසයක් තිබුණෙත් නැහැ.

චාමර ඔබට මුණ ගැහුනු අවස්ථා තියෙනවද?

මම චාමර පළමු වතාවට දැක්කේ මීට අවුරුදු දහනමයකට විතර කලින්. මගේ මතකය හැටියට ඒ 2004 වසරේදී. ඊටපස්සෙ ඔහුව මට මුණ ගැහුණේ නැහැ. ඔහු පිළිබදව එහෙම ලොකු අදහසක් ගන්න තරම් අවස්ථාවක් මට ලැබිලා නැහැ.

බුද්ධික සේනාධීර