මම ගොඩක් ආසයි පොටෝ අරගෙන එඩිට් කරන්න
කාලයක සිට නිවේදිකාවක් ලෙස ඔබ දකින ජූලියා සොනාල සමගින් මෙවර සාරවිට අප කතා බහ කළා. සිරස රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස නිතර දකින ඇය පසුගියදා නිමාව දුටු ටීන් වොයිස් රියලටි තරගාවලියේ නිවේදිකාව ලෙසද කටයුතු කරනු ලැබීය. එමෙන්ම සෑම ඉරිදා දිනකම සිරස රූපවාහිනියේ විකාශය වෙන තරු ඉරිදා ලයිව් වැඩසටහනද ජූලියා ඉදිරිපත් කරන්නීය.
ජුලියා විලාසිතාවලට කැමතිද?
විලාසිතාවලට ඉතින් අපි හැමෝම කැමතියිනේ. මාත් ඉතින් ගොඩක් කැමතියි විලාසිතා කරන්න. තැනට ගැළපෙන විදිහට ඒ තැනට අනුව මම විලාසිතා කරන්න ආසයි. නිතරම වගේ මම අලුත් විලාසිතා ගැන උනන්ඳු වෙනවා. ඒ වගේම දවසින් දවස වෙනස් වන විලාසිතා ගැන හැම වෙලාවේම අධ්‍යයනය කරමින් ඉන්නවා. මම ආසම දෙයක් තමයි අනිත් අයටත් උනන්ඳු වෙන්න පුළුවන් විදිහේ අලුත් විලාසිතා කරන්න. නිවේදිකාවකට අමතර මම නිරූපණ ශිල්පිනියක් විදිහටත් කාලයක ඉඳලා වැඩ කරනවා. ඉතින් විලාසිතා ගැන නිතරම උනන්ඳුවෙන එක මම හිතන්නේ මට ගොඩක්ම වැදගත් කියලා.
ජුලියාට වැඩියෙන්ම ගැළපෙන ඇඳුම මොකක්ද?
ඇත්තටම මම හිතාගෙන හිටියේ මට වැඩිපුරම ගැළපෙන්නේ කැෂුවල් වෙස්ටර්න් ටයිෆ් එකේ ඇඳුම් කියලා. හැබැයි මට මේ මැතකදී තේරුණ දෙයක් තමයි ගොඩ දෙනෙක් කැමතියි මම ඉන්දීයන් විදිහට අඳිනවට. මම ළඟදී කළා ඉන්දීයන් විදිහට ඇදපු පොටෝ ෂුට් එකක්. ඒකට ලැබුණ ප්‍රතිචාර ඉතාම ඉහළයි. ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබුණා ඔයාට ඉන්දීය ඇඳුම් ලස්සනටම ගැළපෙනවා කියලා. මම කැමකි වුණාට වැඩිපුර වෙස්ටර්න් විදිහට අඳින්න ගොඩක් අය කැමතියි මාව ඉන්දීයන් විදිහට ඇඳලා ඉන්නවා දකින්න. විශේෂයෙන්ම මගේ පවුලේ අය පවා.
ජුලියා කැමති ඔබට මොන වගේ ඇඟක් තියෙනවටද?
මම එහෙම කැමතිම විදිහේ බොඩි ටයිෆ් එකක් නැහැ. මොකද මම හැම තිස්සේම මගේ බොඩි එක ගැන හිතන්නේ මගේ හීනත් එක්ක. ඉස්සර මම ගොඩක් චබි. මම දැකපු ලොකුම හීනයක් තමයි ලංකාවේ තියෙන ලොකුම ෆැෂන් ෂෝ දෙකට නිරූපිකාවක් විදිහට සහභාගි වෙන එක. ඒ ෆැෂන් ෂෝ දෙක තමයි කොළම්බෝ ෆැෂන් වික් හා මර්සීඩිස් බෙන්ස් ෆැෂන් වික් කියන දෙක. එතකොට ඒ ෂෝ දෙකට යන්න ඒ කාලේ සාමාන්‍ය සිරුරක් තියෙන්න ඕනා නිරූපිකාවන්ට. හැබැයි දැන් නම් එහෙම දෙයක් නැහැ. ඉතින් මට ඒ ෆැෂන් ෂෝ දෙකට යන්න කෙට්ටු වෙන්න වුණා. චබි වෙලා හිටපු කාලේ මගේ ඇඟේ බර කිලෝ ග්‍රෑම් 68ක්. පස්සේ මම ඒක කිලෝ ග්‍රෑම් 48 දක්වා අඩු කරගත්තා. ඒ කැප කිරිම කළේ මගේ හිනේ වෙනුවෙන්. අදටත් ඉතින් මම මගේ ඇඟ ගැන හිතනවා. අදටත් ඉතින් මට මගේ මේ දැන් තියෙන ඇඟ ලස්සනයි.
විවේකිව ඉන්නකොට කරන්නේ මොනවද?
මම කැමතියි මගේ පෝන් එකෙන් පොටෝ ගන්න. මගේ පොටෝ නෙමෙයි මා වටේ තියෙන ස්භාවික දේවල්. උදාහරණයකට ගත්තොත් අහස, ගහ කොළ, සත්තු, ඇඳුම් පැළඳුම් වගේ දේවල්. ඉතින් පොටෝ අරගෙන ඒවා මම එඩිත් කරනවා. ඒක නිකම් මට භාවනාවක් වගේ. විවේකිව ඉන්න කොට ගොඩක් අය මෙහෙම දේවල් කරන්නේ නැහැ නේ. නමුත්, මම මේ වැඩේ ගොඩක් ආසාවෙන් කරන දෙයක්. මගේ යාළුවොත් මට කියනවා ගන්න පොටෝ ගොඩක් ලස්සනයි කියලා. දැන් මම හිතාගෙන ඉන්නවා හොඳ කැමරාවක් ගන්න. ඒ වගේම පොටෝග්රෑෆි ගැන පොඩ්ඩක් ඉගෙන ගන්නත්.
මේ දවස්වල නිතරම කියන හා අහන ගීතය මොකක්ද?
මම වැඩිපුරම අහන ගීත එකක් කියලා නැහැ. මගේ ප්ලේ ලිස්ට් එක දහ දෙනෙක් ඇහුවොත් ගොඩක් අය කියන්නේ ජුලියා ඔයා ඔය වගේ ගීත අහනවද අපිට හිතාගන්නත් බැහැ කියලා. මම හරියටම දන්නේ නැහැ ඒ අය ඇයි එහෙම කියන්නේ කියලා. මම ගොඩක් වෙලාවට අහන්නේ පැරණි ගායක, ගායිකාවන්ගේ ගීත. හැබැයි අද කාලේ ගීතවලටත් මගේ අකමැත්තක් නැහැ ඒවාත් අහනවා. නමුත්, අර පැරණි ගීතවල ලොකු විශේෂත්වයක් වෙනසක් මම දකිනවා. කැමතිම ගීතයක් කියලා එකක් මට නැහැ හැබැයි ටි.එම්. ජයරත්න, නන්දා මාලනි, වික්ටර් රත්නායක, ඉන්දාණි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන කියන ප්රවිණයින්ගේ ගීත මම අහන්න ගොඩක් කැමතියි.
ජුලියා ආසම ක්‍රීඩාව මොකක්ද?
ක්‍රිකට් තමා. මගේ තාත්තා හොඳ ක්‍රිකට් පිස්සෙක්. ක්‍රිකට් තරග තියෙන දවසට ඉතින් තාත්තා ටිවි එක ගාවින් හෙල්ලෙන්නේ නැහැ. තාත්තා බලන නිසා අපිටත් බැලෙනවා. නමුත්, දැන් නම් ගොඩක් උනන්ඳුවෙන් මමත් ක්‍රිකට් තරග බලනවා. පසුගිය කාලේ නම් එකදිගට තිබුණ ක්‍රිකට් තරග මම නැරඹුවා. ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ක ගත්තොත් මම ගොඩක් කැමතියි කුමාර් සංගක්කාරට. ඔහුගේ දක්ෂතාවයට වගේම මහත්මා ගතිගුණවලටත් මම ගොඩක් කැමතියි. එයා අඳින පළඳින විදිහ එයාගේ ලයිෆ් එක ගෙවන විදිහ හරි අපුරුයි.
බුද්ධික සේනාධීර