මම කහවත්තට ගිහින් මගේ මිත්‍ර විනිල් මැණික් එක්ක මැණික් වෙෙළඳාම කරන්න පටන් ගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අජිත් පී. ධර්මසූරිය අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රා පතිරාජ නිෂ්පාදනය කළ ‘වර්ණ’ සිනමා නිර්මාණය මේ දිනවල නැරඹිය හැකි චිත්‍රපටයකි. එහි ප්‍රධාන භූමිකා සතරෙන් එක් ප්‍රධාන චරිතයකට දායක වූ ප්‍රවීණ රංගවේදී ලක්ෂ්මන් මෙන්ඩිස් සමග පිළිසඳරකට එක්වීමට මේ කදිම අවස්ථාවකි. 1985 දී පමණ ‘ගඟු​ලෙන් එගොඩට’ රූපවාහිනී නිර්මාණය සමග රංගන විෂයට අවතීර්ණ වූ ලක්ෂ්මන් ​ෙමන්ඩිස් යනු චරිතාංග රංගනයට දක්ෂ වූ ප්‍රවීණයෙකි. ටෙලිනාට්‍ය නිර්මාණවලට අමතරව වේදිකාව සහ සිනමා රංගනයන් සමග අපට හමුවන ලක්ෂ්මන් මෙන්ඩිස් හෙවත් කඩුල්ලේ දන්ඩා නොහොත් හැමෝම ආදරයට ආමන්ත්‍රණය කරන ‘ලකී’ අයියාගෙන් ගෙවී ගිය වර්ණවත් ජීවිතයට සාපේක්ෂව මතකයේ රැඳී දේ ගැන වගේම වර්ණ චිත්‍රපටයේ චරිතය ගැනත් අපි අහමු.

කොහොම ද විස්තර එහෙම?

මේ දිනවල ‘වර්ණ’ ෆිල්ම් එක තිරගත වෙනවා. ‘රෝමියෝ ජුලියට්’ වේදිකා නාට්‍යයේ දර්ශන කීපයක් ඉදිරි සතිවල රඟ දැක්වෙනවා. ඒ වෙනුවෙන් ලැහැස්ති වෙනවා. ඒකත් හරි ලස්සන කතාවක්. ජයනාත් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන්නෙ. රෝමියෝ ජුලියට් සැබෑ කතාව සිංහලෙන් නිර්මාණය කර ඇති විදිය හරි අපූරුයි.

කොහොමද ගෙදර ජීවිතය?

මුලදී මම කළේ මැණික් වෙෙළඳාම් ව්‍යාපාරයක්. දැන් ඒ කටයුතු කරන්නේ මගේ පුතා. ඒ කාලයේ මම සේවය කළේ ඇඹිලිපිටියෙ කඩදාසි කම්හලේ. ඒකෙන් අස්කරපු වෙලාෙව මම කහවත්තට ගිහින් මගේ මිත්‍ර විනිල් මැණික් එක්ක මැණික් වෙෙළඳාම කරන්න පටන් ගත්තා. අපේ තාත්තාගෙ මාර්ගයෙන් ගියේ. පුතාට මම මැණික් විද්‍යාව ගැන දේශීය සහ විදේශීය වශයෙන් දැනුම ලබා දීලා තියෙන්නෙ. ඉතින් එයා ඒ වැඩේ කරගෙන යනවා. මට වඩා එයා දැන් මැණික් ව්‍යාපාර වැඩ කරනවා. දියණිය මනෝ විද්‍යා උපාධිය හදාරලා දැන් එහි ‘මාස්ටර්ස්’ එකට සූදානම් වෙනවා. මේ ඔක්කෝම අපට කරන්න ශක්තියක් වෙලා තිරය පිටුපස සිට අපට සහයෝගය දක්වන්නේ මගේ බිරිඳ. එයා මගේ පිටකොටුවේ කඩදාසි අලෙවි ව්‍යාපාර සාප්පුවේ කටයුතුවලටත් උදවු කරනවා. පවුලේ කටයුතු ඒ විදියයි.

ගෙදර තියෙන්නේ කොළඹ පොල්හේන්ගොඩ නේද?

ඔව්.

ඒ කාලයේ පොල්හේන්ගොඩ විජය, ධර්මසේන පතිරාජයන් ඇතුළු බොහෝ දෙනා හැන්දෑවේ හමු වූ තැනැක් තිබුණා නේද? ඔබටත් ඒ ගැන රස මතකයක් නේද තිබෙන්නේ?

ඒ අපූරු කලාකරුවන් රොද බැඳුණු තැනට යාමට මට එදා අවස්ථාව ලැබුණෙ අපේ ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන පී.බී. ඉලන්ගසිංහ සූරීන් නිසයි. මගේ ගමන් මග වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ එතුමා. එදා සිටි ඒ නවාතැන. නැත්නම් එතුමාගේ කාමරය. එදා කලාවට සම්බන්ධ විශිෂ්ට ශිල්පීන් මුණ ගැහුණ තැන. විජය, පතිරාජයන්, ලයනල් ප්‍රනාන්දු, අමරදේව සූරින්, වික්ටර් රත්නායකයන්, කේ.ඩී.කේ., මිල්ටන් මල්ලවාරච්චි, ඒ වගේ ප්‍රකට තරු වැලකගෙ නම් කියන්න  පුළුවනි. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණේ දවසක් අහම්බයකින්. සරුංගලයක් හදා ගන්න චන්දරේ කියන මිත්‍රයා ළඟට ගිය නිසයි. මේ චන්දරේ ඒ කාලයේ ඉඳලම පතිරාජයන්ගේ යාළුවෙක්. එයාගේ චරිතය තමයි විජය ‘අහස් ගව්වෙ’ චන්දරේ ලෙස ඉදිරිපත් කළේ. මේ චන්දරේ නිසා පතිරාජයන් එදා පී.බී. ඉලන්ගසිංහ සූරීන්ගේ නවාතැනේ දී මාව දැකලා පසු කලෙක එනම් 1985 පෙබරවාරියේ මුලදී මාව ගඟුලෙන් එගොඩට නාට්‍යයට ගත්තෙ. එතකොට මගේ වයස අවුරුදු 29 යි. ඒ වන විට ගුවන් විදුලි නාට්‍යවල රඟපාලා තිබුණා. පාසල් නාට්‍යවල මම රඟපෑවෙ වයස 13 දී විතර. එදා රෝයල් කොලේජ් එකේදී අපේ ගුරුතුමා වුණේ සමන් අතාවුදහෙට්ටිගෙ තාත්තා.එච්.ඒ.පියසේන සූරීන්.
මම හිටියෙත් පොල්හේන්ගොඩ නිසා පී.බී. මහතාගේ ඒ අපූරු නවාතැන මට දුරස්ථ වුණේ නැහැ. කොහොම වුණත් මේ අතරේ තාත්තා මාව ඉන්දියාවට යැව්වෙ මැණික් විද්‍යාව ගැන හදාරන්න. ඒ හදාරා ඇවිත් ප්‍රායෝගිකව ඒ කටයුතු කරන්න තමයි කහවත්තට ගියේ. ඒ කාලයේ දී හොඳට අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. ඉතින් සෑම සති අන්තයකදීම මගේ ආසාව වුණේ පොල්හේන්ගොඩ පී.බී. මහතාගේ කාමරයට ඇවිත් අර කී පිරිස සමග එකතු වෙන්න. අපි කාලා බීලා සිංදු කියලා හරියට සතුටු වුණා. ඒක හරිම සුන්දර කාලයක්. ගීත ගයද්දී මිල්ටන් මල්ලවාරච්චි කවදාවත් එයාගේ ගීත ගැයුවෙ නැහැ. හිංදි ගීත ගැයුවෙ. ඒවා අහන් ඉඳලා කට්ටියම ‘වාව්’ (WOW) කියලා තමයි කිව්වෙ. මිල්ටන් මල්ලවාරච්චිත් හරිම සුන්දර චරිතයක්. විජය ගීත ගැයුවෙ  නැහැ. හිටපු ගමන් එතැනට  චන්ද්‍රිකා මහත්මියත් ඇවිත් ගියා. ඒ වගේම ඒ අසල පදිංචිව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවා ඇවිත් ගිය තැනක්. නම් වශයෙන් කිව්වොත් ප්‍රකට තරු ගොන්නක්. පුදුමාකාර සුන්දර කාලයක්. මට හිටපු හොඳම හොඳ අතිජාත මිත්‍රයෙක් තමයි ධර්මසේන පතිරාජයන්. එයාෙගන් මගේ මනසට ලැබුණු දේ බොහෝමයි. අපි හොඳට පැහුණේ, ප්‍රබල වාමාංශික පවුල් පසුබිමකින්. ඒ අදහස් එක්ක ආ නිසයි. පතිරාජයන් මගේ තාත්තාට කතා කළේ ‘තාත්තා’ කියලයි. මට වඩා අවුරුදු 10 ක් වැඩිමල් වුණත් අපි කතා කරගත්තේ ‘මචං’ කියලයි. එයා සහභාගි වූ අවසන් රූපවාහිනී සාකච්ඡාවට පවා ගියේ මා එක්ක. එයාගෙ අන්තිම ෆිල්ම් එක ‘ස්වරූප’ වෙනුවෙන් ඒ වැඩ සටහන කළේ.

ඔබගේ ඔය රස මතක ගැන අපි තවත් දිනෙක කතා කරමු. දැන් අපි මේ ‘වර්ණ’ ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ඔබගේ කී වැනි ෆිල්ම් එකද?

මට මතක විදියට 25 වැනි ෆිල්ම් එක වෙන්න ඕනැ. කොහොමටත් පසුගිය කාලයේදී මම වැඩිපුර ෆිල්ම්ස්වල රඟපෑ ගතියක් තිබෙන්නෙ. ලක්ෂ්මන් ජයසේකරගේ ‘රෙඩි’ නමැති ෆිල්ම් එක එන්න තියෙනවා. ඊට පෙර වසර ගණනාවකට පෙර කළ මාලක දේවප්‍රියගෙ ‘බහුචිතවාදියා’ ෆිල්ම් එක තිරගත වෙන්න තියෙනවා. ඒ විදියට පෙන්වීමට නියමිත චිත්‍රපට 150 කට වඩා පෝලිමේ තියෙන බව ආරංචියි. චිත්‍රපට ශාලා එකිනෙක වැසෙද්දී, මේවා පෙන්වා ගන්නෙ කොහොමද කියන ප්‍රශ්න සහ මණ්ඩලවල ප්‍රශ්න හැමදාම පවතින දෙයක්. සිනමාව බේරා ගැනීම සඳහා වන කතිකාවතක් අවශ්‍යම කාලයක් මේ. කොහොම වුණත් ලැබූ පාඩු නොබලා නිර්මාණකරුවන් නිර්මාණකරණයේ යෙදෙනවා. අද වන විට ඉතාම සුළු පරිමාණයේ නිර්මාණයක් බවට අපේ රටේ සිනමාව පත් වෙලා.
‘වර්ණ’ ෆිල්ම් එක ගැන කතා කළොත් මෙහි අධ්‍යක්ෂක අජිත් පී. ධර්මසූරිය ඒ කාලයේ දී පතිරාජයන්ගේ ගුරුහරුකම් ලද කෙනෙක්. ඒ වගේම මහ නුවර පතිරාජ වගේම ධර්මරාජයෙ ආදි ශිෂ්‍යයෙක්. ඉතින් මම එයාගේ මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ විශ්ව කොඩිකාර, ජයනි සේනානායක සහ චමත්කා ලක්මිණි සමග. ඒ ළමයත් දක්ෂ නිළියක්. අපේ මිතුරකුගේ දියණියක්. මම කරන්නේ සැමියකුගේ චරිතයක්. රඟපෑමට වැඩිපුර රිද්මයක් ලබා දුන් චරිතයක්. ප්‍රභූ චරිතයක් කිව්වොත් හරි. වික්ටෝරියා ජලාශය අවට මේ ෆිල්ම් එක රූගත කළේ. මම හිතන විදියට මේ ෆිල්ම් එක නැරඹිය යුතුම එකක්. ප්‍රභූ පැළැන්තියේ ඉඩම් සහ දේපළ සම්බන්ධව ප්‍රකාශ වන බවයි මගේ හැඟීම. මම රඟපාන ඒ චරිතය තරමක් ආන්දෝලනාත්මකයි කියලා මට හිතෙනවා.

 

සඳුන් ගමගේ