මම කොහොමත් ජීවිතේ අලුත් දේවල් කරන්න ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට අලුතින්ම එකතුවුනු චරිත අතරින් නව පරපුරේ දක්ෂ ආකර්ශනීය කලාකාරිනියක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඒ ඩිලුෂි හන්සිකා නම් ඇය සමඟිනි.

සැලෙනා නුවන්’ එක්ක පුංචි තිරයට එන ඩිලුෂිට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර ගැන මුලින්ම කතා කරමු ?

ප්‍රතිචාර ඇත්තටම හොඳයි. ‘සැලෙනා නුවන්’ එක්ක මම ගුරුවරියකගේ චරිත රංගනයකින්නෙ පුංචි තිරයට එන්නෙ. ඇත්තටම මේ රංගනය මට අලුත්ම අත්දැකීමක්. මම මීට පෙර සම්බන්ධවෙලා තියෙන චරිත එක්ක බලද්දී. ඉතින් හරිම ආසාවෙන් කරන චරිතයක් මේ. මොකද මම ගුරු  වෘත්තියට ගොඩක් ආසයි. ඒ නිසා රඟපෑමකට හෝ ගුරුවරියක් වෙන්න ලැබීම ගැන සතුටුයි. ඒ චරිත රංගනය හරහා මම නැවතත් පාසල් යනවා වගේ තමයි දැනෙන්නෙ.

ඇයි ගුරුවරියක් වෙන්න එතරම් කැමති ?

ඒක ඇත්තටම වටිනා වෘත්තියක්. ඒ වගේම මම හරිම ආසයි පුංචි දරුවෝ එක්ක වැඩ කරන්න. මේ චරිත රංගනයේ දී මට වැඩිපුර වැඩ කරන්න තියෙන්නෙත් පුංචි ළමයි එක්ක. ඔවුන් එක්ක වැඩ කරද්දී හිතට දැනෙන්නෙ හරිම සතුටක්. අපිත් ඒ කාලෙට යනවා වගේ දැනෙන්නෙ. මගේ පාසල් කාලෙත් මම පුංචි අය ළඟින් ඉන්න අවස්ථාව ලැබුණා. මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් වෙලා හිටපු නිසා ඒ කාලෙ 1 වසර, 2 වසර පුංචි ළමයි අඬද්දී එහෙම ඕනෑ තරම් නළවලා තියෙනවා. ඒවා මට හරි පුරුදු දේවල්. ඉතින් ඒ කාලෙත් පුංචි අය මට හරිම ආදරෙයි.

මේ නිර්මාණයේ දායකවෙලා ඉන්න පුංචි දරුවොත් හරිම ආදරණීයයි. ඔවුන් හරි දක්ෂයි. වැඩ කරන්නත් ඇත්තටම හරි ලේසියි. සමහරුන්ට පුංචි දරුවෝ එක්ක වැඩ කරද්දී කේන්ති එහෙම යනවනෙ. ඒත් මට කවදාවත් ඒ දරුවෝ එක්ක එහෙම වෙන්නෙ නැහැ. හරිම ආසාවෙන් ඔවුන් එක්ක කාලය ගත කරගෙන මේ වැඩකටයුත්ත කරගෙන යන්නෙ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ. මෙහි රූගත කිරීම් සිදු කරන ස්ථානයත් හරිම ලස්සනයි. ගැමි සුන්දර වටපිටාවක් තමයි තියෙන්නේ. ඒ හැමදේම වෙනස් අත්දැකීමක්, ඉතින් මාව මේ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ කර ගත්තු අධ්‍යක්ෂවරයා ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහත්මයාවත් එහි තිර පිටපත් රචක නිදුක් මදුෂිකවත් ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මාව මේ වෙනුවෙන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධව.

මේ රංගන දායකත්වයට අමතරව ඩිලුෂි අලුත්ම වැඩ කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

ඔව්. මගේ ජීවිතේ ලැබුණු ලොකුම අවස්ථාවක් ඒ. මට මෙවර සිරස නාළිකාවෙ ‘coice Sri Lanka Digital Host’ තරගාවලියේ නිවේදනයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිවේදිකාවක් විදියට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නට ලැබීම ලොකු ජයග්‍රහණයක්. ඇත්තටම මෙවැනි අවස්ථාවන් හරි අඩුවෙන්නෙ ලැබෙන්නෙ කෙනෙකුට. ඉතින් මගේ යම් වාසනාවකට මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න ලැබුණා. ඔඩිෂන්වලට ගිහින් ඒ තුළින් තමයි මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ.

කොහොම ද ලැබෙන ප්‍රතිචාර ?

මේ තරඟාවලිය ගිය සතියේ තමයි ආරම්භ කළේ. ඉතින් මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. නිවේදනය කියන්නෙ ඇත්තටම මට අලුත් දෙයක් නෙමෙයි. මොකද මම මීට පෙර පාසලේ, දහම් පාසලේ නිවේදිකාවක් විදියට විවිධ විදියෙ වැඩසටහන් මෙහෙයවලා තියෙනවා. නමුත් ප්‍රසිද්ධ වේදිකාවක නිවේදනයෙන් සම්බන්ධ  වුණේ පළමු වතාවට.

ඉතින් මේ අවසථාව මගේ ජීවිතේට ලැබුණු ලොකුම වටිනාම අත්දැකීමක් කියන්න පුළුවන්. මම කොහොමත් ජීවිතේ අලුත් දේවල් කරන්න ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම් කෙනෙක්. ඉතින් අලුත් දේවල් කරන්න උත්සාහ කරගෙන යන කාලයක් තමයි මගේ ජීවිතේට උදාවෙලා තියෙන්නෙ.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධවීම ඩිලුෂිගෙ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වීමක් ද?

ඇත්තටම නැහැ. නමුත් මට පුංචි කාලෙ ඉඳන් කලාවට හැකියාවක් තිබුණා. විශේෂයෙන්ම නර්ථනයට. මම පාසල් ගියේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. එහි දී මම විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කළා. පාසලේ ප්‍රසිද්ධ චරිතයක්.

පාසලේදිත්, දහම් පාසලේදිත් කථික තරඟ, විවා ද ඒ හැමදේටම සම්බන්ධ වුණා. ඒවාට සම්බන්ධ වෙලා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා. ක්‍රීඩාවට හැර අනෙකුත් හැමදේටම වගේ පාසල තුළ සම්බන්ධ වෙලා තියෙනවා. පාසලේ ගුරුවරුන්ගෙන් මෙන්ම මගේ පාසලේ ආදරණීය සහෝදරියන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා මට ඒ කාලෙදී. ඉතින් මට උපතින් යම් කලා හැකියාව තිබුණා නම් ඒ හැම දේම ඔප මට්ටම් කරගෙන මේ දක්වා ගමනක් එන්න ලැබුණෙ පාසල සහ  දහම් පාසල නිසා තමයි. 

එතකොට මේ ක්ෂේත්‍රයට එන්න මඟ විවර වෙන්නෙ කොහොම ද?

මම 2021 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියට සම්බන්ධ වෙලා ඒ තුළින් තෙවන ස්ථානය දිනා ගන්න ලැබෙනවා. ඉන්පසුව තමයි මගේ තිබුණු කලා දක්ෂතාත් එක්ක රංගනයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. මගේ මුල්ම රංගන අත්දැකීම තමයි දෙරණ නාළිකාවෙ විකාශය වුණු ‘ධරණි’ ටෙලි නිර්මාණය. ඒ හරහා තමයි බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තෙ. එතැනින් පසුව තමයි රංගනය පැත්තෙන් පියවරෙන් පියවර ගමනක් ආවේ. ඒ ගමන මට ලොකු ශක්තියක් වුණා දෙරණ නාළිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා. ඔහුට විශේෂයෙන්  ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

ඒ කියන්නේ ඩිලුෂිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ අවුරුදු කුමරිය තරගය ?

ඔව්. මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිතපු කෙනෙක් නෙමෙයි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේ දී උපාධියක් කරනවා. ඉතින් මම මේ තරඟයට සම්බන්ධ නොවුණානම් විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු මොනයම් හරි රැකියාවක නිරත වෙයි. නමුත් කලාව පැත්තට මගේ යම් කැමැත්තක් තිබුණා. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදී එක්තරා නිරූපණ තරඟාවලියකට සම්බන්ධ වුණා. ඒ තරඟාවලියෙන් මට දෙවන ස්ථානය දිනා ගන්නත් හැකි වුණා. ඉන් පසුව මම නිරූපණ අංශයටත් ටිකින් ටික සම්බන්ධ වීමත් එක්ක තමයි මම දන්න හඳුනන නංගි කෙනෙක් මාව අවුරුදු කුමරිය තරඟාවලියට යොමු කළේ.  ඒ තරඟයට අයදුම් කළේ චේති කියලා මගේ හිතවත්ම නංගි කෙනෙක්. ඇයගෙ යොමු කිරීම මත තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අද රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් දිනාගෙන මේ විදියෙ ගමනක් ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ අහම්බයෙන් වගේ වුණු සිදුවීමක්.

අහම්බයෙන් වගේ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අද රංගන ශිල්පිනියක් විදියට ලබන ප්‍රතිචාර සහ ඒ ආදරය කොහොම ද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද කලාකාරියක් විදියට ලබන ප්‍රේක්ෂක ආදරය ඒ ප්‍රතිචාර වෙන කිසිම ක්ෂේත්‍රයකින් ලබා ගන්න බැහැනේ. කොහේ ගියත් එක්කෙනෙක් දෙන්නෙක් හෝ දැන හඳුනාගෙන කතාබහ කරලා ඒ දක්වන ආදරය ප්‍රතිචාර හරිම වටිනවා. ඉතින් ඒ දේවල් ලබන්න මගෙ පෙර වාසනාවක් තියෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම කවදාහරි වයසට ගියත් මගේ ජීවිතේට ලැබුණු මේ වටිනාකම් ගැන මට මතක් කරගෙන සතුටු වෙන්න පුළුවන් වෙයි. ජීවිතේ කවදා හෝ මගේ දරුවන්ට කියන්න දෙයක් තියෙයි. ඉතින් මේ තාක් ආපු ගමන් මඟ ගැන සහ රංගන ශිල්පිනියක් වීම ගැන මම ගොඩක් තෘප්තිමත්.

ධනු විජේරත්න