මම කිසිදෙයක් හිතේ හංඟගෙන ඉන්නෙ නෑ - අනුරාධා උදයංගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලයටද...? ඇයි ඒ.?

පුංචි කාලෙට යන්න ලැබුණොත් මම යන්නේ අවුරුදු  දාසයක් දහඅටත් වගේ අතර කාලෙටයි. ඇත්තටම ඒ කාලේ ගොඩක් සුන්දරයි. මම මීගමුව රුක්මණී දේවි කේන්ද්‍රයේ සුනිල් තල්ගහගොඩ ගුරු මහත්මයා යටතේ නර්තනය හදාරලා ඒ මහත්මයාගේම පන්තියේ ගුරුවරියක් හැටියට සේවය කළා. එතකොට එතුමාගේ නැටුම් කණ්ඩායමට මම උපරිම දායකත්වයක් දැක්වූවා. ඉතින් හරිම සුන්දර කාලයක්. යාළුවොත් එක්ක මුළු දවස පුරාම පුහුණුවීම් කරනවා. එතකොට දුර පළාත්වල අපි නර්තන ප්‍රසංගවලට ගියා.

නොහිතපු මොහොතක කලා ක්ෂේත්‍රය ඔයාව ප්‍රතික්ෂේප කරනවා එහෙම වුණොත්...?

කලා ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි ඕනෑම අවස්ථාවක ජීවිතය විසින් ප්‍රතික්ෂේප කළොත් අපි ඒකට මුහුණ දෙන්න දැනගන්න ඕන. මොකද ඇත්තටම මේ කලා ක්ෂේත්‍රයට යොමුවීමක් මගේ ජීවිතේ අහම්බෙන් සිදු වෙච්ච දෙයක්. මම කලා ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් නර්තන ශිල්පිනියක් වීමේ හීනයක් තමයි මගේ කුඩා කාලේ තිබුණේ. මගේ දැනට සක්‍රීය දායකත්වයක් තියෙන්නෙ රංගනය පැත්තෙන්. ඉතින් එහෙම වුණොත් කරන්න දෙයක් නැහැ. ප්‍රේක්ෂකයො නිසයි අපි අද මෙතන ඉන්නේ. මම කලා ක්ෂේත්‍ර තුළ මගේ ගමන අවුරුදු විසිතුනක්. නමුත් යම් අවස්ථාවක මට ඒ පිළිගැනීම ගෞරවය ලැබෙන්නෙ නෑ කියලා දැනගත්තොත් අනිවාර්  යෙන්ම මම එදාට ක්ෂේත්‍රයෙන් සමුගනී. මොකද අනිවාර් යෙන්ම  නිසි තැන ලැබෙන්නේ නෑ කියලා දැනි දැනී එතැන ඉන්න පෞද්ගලිකව මම කොහොමත් කැමති නෑ.

නොකරපු වරදකට අනුරාධාට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත්? 

නොකරපු දෙයක් මම ඇත්තටම බාරගන්න පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද මගේ පුරුද්දක් තියෙනවා යම් යම්කිසි අවස්ථාවක මගේ අතින් යම් වරදක් වුණා කියලා දැනගත්තොත් ඒ කෙනා වයසින් වැඩිමල් කෙනෙක්ද බාල කෙනෙක්ද කියන එක මට අදාළ නෑ. මගේ අතින් වරදක් වුණා කියන එක මට දැනුණොත් මම මගේ වරද බාරගෙන අනිවාර් යෙන්ම සමාව ඉල්ලනවා. ඔහු හෝ ඇය එක්ක කතාබහ කරලා විසඳා ගන්නවා. මම සාමාන්‍යයෙන් හිතේ තියාගෙන ඉන්නේ නෑ. මම ඕනෑ දෙයක් එළිපිට අහලා ප්‍රශ්න විසඳා ගන්න උත්සාහ කරන කෙනෙක්... නමුත් ඉතින් මම නොකරපු දේකට මට යම් කිසි දෙයකට දඬුවමක් ලැබුණොත් ඒක දෛවයට බාර දෙනවා. කාලයට බාර දෙනවා. මම ඕනවට වැඩිය ඒක පස්සේ එල්ලිලා යන්න යන්නේ නෑ.

දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. එහෙම වුණොත්....? 

අම්මෝ... ඒකට නම් ලේසියෙන්ම දෙන්න තියෙන උත්තරේ තමයි කවදාවත් ජීවිතේටවත් නෑ කියලයි. පෞද්ගලිකව මම යම්කිසි පුද්ගල චරිතවලට දේශපාලන චරිතවලට ගෞරවයක් තියෙනවා. නමුත්  කවමදාකවත් මම  දේශපාලනය  නොකරන බවට හොඳින්ම විශ්වාසයයි.

හිතපු නැති මොහොතක කෝටි ගණනක විශාල ලොතරැයියක් ඇදෙනවා. එහෙම වුණොත්...?

ඒකනම් හිතාගන්න බැරි වෙයි. කල්පනාකාරීව හිතලා මගේ ජීවිතයට තිබුණු අඩුපාඩු සපුරා ගන්නවා. මගේ ආදරණීය දෙමාපියන් දෙන්නාගේ සුව පහසුකම් වෙනුවෙනුත් මගේ අනාගතය වෙනුවෙනුත් යම් මුදලක් ඉතිරි කරනවා. දෙමාපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් යම් සහන වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

ජීවිතේ වෙච්ච සමහර සිදුවීමක් අමතක කරන්න අනුරාධාට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නේ..?

ඇත්තටම මගේ ජීවිතය ආපස්සට හැරී බලද්දී නම් පසුතැවීම් හරිම අඩුයි. ඒ නිසා එහෙම සහමුලින්ම අමතක කරන්න තරම් දෙයක් නැති තරම්.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්නේ?

රංගන  ශිල්පිනියකට අමතරව   දැනටමත්  මම  රෑපලාවණ්‍ය ශිල්පිනියක  ලෙස  කටයුතු කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රායෝගික දැනුම ලබාගන්න උත්සාහ කරනවා.

ඉතා හොද නිර්මාණයක, ඉතා හොද අධ්‍යක්ෂකවරයකුගේ ඉතා හොඳ චරිතයකට අනුරාධාට ආරාධනා ලැබෙනවා. හැබැයි අඩු (බජට්) එකක්. එහෙම වුණොත්...?

ඔය අදහස  මම පෞද්ගලිකවම  දරන  අදහසක්. ඇත්තටම  මගේ පෞද්ගලික මතය නම් රංගන ශිල්පියා හෝ ශිල්පිනියකගේ නියම වටිනාකම කවමදාකවත් මුදල් මගින් ගණනය කළ නොහැකියි. නමුත් හොඳ තිර පිටපතක්, හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ, හොඳ නිර්මාණයකට දායකත්වය සපයන්න හැකිනම් අනිවාර්යයෙන්ම මුදල් කියන දේ අමතක කරන්න පුළුවන්.

ඉතා ඉහළ වැටුපකට ඉතා හොඳ රටකට ඉතතා හොඳ රුකියාවකට පිටරටකට යන්න අනුරාධාට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්..?

මීට අවුරුදු  ගණනාවකට කලින් ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවා නම් මම එක හෙළාම කියන උත්තරේ &නැහැ* කියන එක. මොකද යම් අවස්ථාවල දිගු කාලයකට නැතත් අවුරුදු කිහිපයකට හරි ගිහිල්ලා වෙන රටකට නවතින්න පුළුවන් අවස්ථා ඕන තරම් ලැබුණා. පවුලේ එකම දරුවා නිසා මම අම්මා තාත්තා දාලා වෙන රටකට පදිංචියට යන්න මම කොහොමත් කැමැත්තක් තිබුණේ නෑ. නමුත් දැන් රටේ පවතින තත්ත්වය අනුව නම් මේ ප්‍රශ්නයට උත්තරේ දෙපාරක් හිතන්න ඕනේ.

දිශානි