මම කවදාහරි හිතුවා මගේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනා කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන පිටියේ දස්කම් දැක්වූ තවත් කායවර්ධන ශුරයෙක් තමයි මධුෂංක ජයවර්ධන කියන්නේ. පසුගිය වසර කිහිපයේදීම සුවිශේෂි ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ලබාදීමට සමත් වූ මධුෂංක මෙවර අප සමග කතා කළා.

කොහොමද ඔබ මේ ක්‍රීඩාවට අවතිර්ණ වුණේ?

කායවර්ධන ව්‍යායාම් කරන්න මම පටන් ගත්තේ 2013 වසරේ අගෝස්තු මාසයේදී. හැබැයි වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයෙක් විදිහට නෙමෙයි. සාමාන්‍යයෙන් තරුණ අපි කැමතියිනේ ඇඟ ටිකක් හදාගන්න. අන්න ඒ අදහසින් තමයි මම කායවර්ධන ව්‍යායාම් කරන්න පටන් ගත්තේ. හැබැයි පස්සේ ආස හිතුණා මේක වෘත්තිය මට්ටමින් ඉදිරියට කරගෙන යන්න.

කෙටි කාලයක් තුළදී ඔබ වෘත්තිය ක්‍රීඩකයෙක් විදිහට ජයග්‍රහණත් ලබාගත්තා?

කායවර්ධන ව්‍යායාම් කරන්න අරගෙන දැන් වසර දහයක් විතර වෙනවා. වෘත්තිය මට්ටමින් මේක ක්‍රීඩකයෙක් විදිහට කරන්න පටන් ගත්තේ 2019 වසරේ. ඒ ඩුබායිවලට ඇවිල්ලා. එතකොට මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙලා දැන් වසර හතරක් විතර වෙනවා. මේක කරන්න පටන්ගත්තු මුල් කාලයේ මට ජයග්‍රහණ ලබාගන්න බැරිවුණා. මේ වසරේදී තමයි මට මේ ක්‍රීඩාවෙන් පදක්කම් තුනක් එකදිගට දිනාගන්න පුළුවන් වුණේ.

මේ ආපු ගමන ගොඩක් දුෂ්කර එකක්ද?

2019 වසරේ ඩුබායි ඇවිල්ලා මම මාස තුනක් විතර හිටියා රැකියාවක් නැතුව. ඒ මාස තුනේ මෙහේ පාරවල්වල වැඩ කළා. විසා එක ඉවර වෙලා ආයේ කුවෙට් ගිහිල්ලා විසා එක තවත් මාස තුනකට දික් කරගෙන ආවා. මගේ වැඩ කළේ ඩිරාම් 750ට. ඒ ගාන එතකොට ලංකාවේ මුදලින් රුපියල් විසිදාහක් තිස්දාහක් විතර ඇති. ජිවත් වෙන්න මදි කොටින්ම කියනවා නම් ඒ මුදල. නමුත්, මම අධෛර්මත් වුණේ නැහැ. කොහොම හරි මම මගේ ජිවිතේ ජයගත්තා.

මේක සල්ලි ගොඩක් වැය වෙන ක්‍රීඩාවක්?

ඔව් අනිවාර්යයෙන්ම. කායවර්ධන ක්‍රීඩාව කියන්නේ සල්ලි ගොඩක් වැය වෙන ක්‍රීඩාවක්. කෑම, වීටමින් වගේ දේවල් ගත්තොත් ගොඩක් වියදම් වෙනවා ඒ දේවල්වලට. නමුත්, තමන්ගේ රට නියෝජනය කරලා ජයග්‍රහණ ලබාගනිද්දි ලැබෙන තෘප්තිය සතුට නිම කරන්න බැහැ. දැන් මම රැකියාව කරන්නෙත් කායවර්ධන ක්‍රීඩාව සම්බන්ධව. ඒ හින්දා ලොකු නිදහසක් ලැබෙනවා මට මගේ ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න.

මේ ක්‍රීඩාව ඔබ තෝරගත්තේ ඇයි?

එකම දේ රට වෙනුවෙන් යමක් කරන්න හිතුවා. ඊට පස්සේ තමයි මම මේ ක්‍රීඩාව තෝරගත්තේ. මොන ප්‍රශ්න තිබුණත් මගේ රටට තියෙන ආදරය ගෞරවය මගේ නැති වෙන්නේ නැහැ. ඉතින් දැන් මමත් රටේ නම ගෙනියන්න දායක වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි මට.

මේ ගමනට උදව් කළ පිරිසකුත් ඇති?

ඔව්, විශේෂයෙන්ම අම්මායි තාත්තායි දෙන්නා. අම්මා තමයි ගොඩක් උදව් කළේ. කෑම විටමින් වගේම ව්‍යායාම් කරන්න මුදලින් පවා උදව් කළේ මගේ අම්මා. මට මතකයි මගේ අම්මා ඒක වෙලාවකදී මට සල්ලි දෙන්න කරේ තිබුණ මාලේ පවා උගස් කළා. මගේ පළමු ගුරුතුමා අචිර සඳුන් එයා දැන් ජිවතුන් අතර නැහැ. එයත් මට ගොඩක් උදව් කළා. හර්ෂ ඩී. වගේම දැන් පුහුණුකරු දිලුප ඩයස් මතක් කරන්න ඕනා. දිලුප නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඔහු මට නොමිලේ පුහුණු කළා.

බුද්ධික සේනාධීර