මම ඒ දේට ප්‍රේක්ෂකයන්ට මොනවත් කියන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩිම කතාබහකට ලක්ව සිටින චරිතයක් සමඟින් සඳැල්ලෙන් කතා බහක් කරන්න හිතුවා. නිවේදකයෙක් විදියට මීට වසර ගණනකට පෙර රසික හදවත් තුළ ලැඟුම් ගනිමින් මේ වනවිට රංගන ශිල්පියෙක්ව ආදරණීය ප්‍රතිචාර ලබන ඔහු නමින් හේෂාන් මනුල.

හේෂාන් ගැන මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහක් වෙනවා නේද ?

ඔව්. ඇත්තටම මේ දවස්වල නම් ගොඩක් දෙනෙක් කතා කරන්නෙ මම අලුතින්ම එකතු වුණු ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණය ගැන. එහි ප්‍රධාන චරිතය වුණු සිහිනගෙ චරිතයට දායකත්වය සපයපු දෙව්නක පෝරගේ රංගන ශිල්පියා ඒ චරිතයෙන් ඉවත් වුණා. ඒ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙන්නට නියමිත නිසා ඉතින් ඒ වෙනුවෙන් ඒ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ මට. මේ ලැබුණු අවස්ථාව ඇත්තටම ලොකු අභියෝගයක්. කොහොම නමුත් මගේ පැත්තෙන් චරිතයට සාධාරණයක් කරන්න තමයි ලොකුම බලාපොරොත්තුව.

ඉතින් මේ අභියෝගය ගැන කියමු ?

‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණය මාස 9ක් පුරාවටම විකාශය වෙලා තියෙනවානෙ. මීට පෙර සිහිනගෙ චරිතය වෙනුවෙන් රංගනයේ යෙදුණු දෙව්නක මල්ලි ඒ චරිතය ඉතා සාර්ථකව කළා. ඒ රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් ඔහු වටා එකතු වෙලා හිටියා. ඔහුට සහ ඒ රංගනයට ප්‍රේක්ෂකයන් ආදරය කළා. ඉතින් එවැනි ප්‍රතිචාරයක් ලබා තිබුණු ඒ චරිතයට අලුතින්ම වෙනත් රංගන ශිල්පියෙක් සම්බන්ධ වෙනවා කියන්නේ ලොකුම අභියෝගයක්නෙ. මොකද මේ චරිතය චරිත ලක්ෂණ, චරිත ස්වභාවය එකයි. අපේ මුහුණවල් දෙක විතරනෙ වෙනස් වෙන්නෙ.  ඉතින් මේ චරිතය භාරගද්දිත් මම එන ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානමින් තමයි ඒ වෙනුවෙන් සම්බන්ධ වුණේ.

ලැබෙන ප්‍රතිචාර යහපත් වුවත් අයහපත් වුවත් ප්‍රශ්නයක් නැහැ. කියන තැන හිටියා කියන්නේ?

මම කොහොමත් දැනගෙන හිටියා ප්‍රේක්ෂකයා එකවරම මට යහපත් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ කියන දේ. මොකද දෙව්නකගෙන් සිහිනව බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා හිටපු නිසා. ඒක සාධාරණයි. ඒ තමයි ප්‍රේක්ෂක හැඟීම. මම ඒ දේට ප්‍රේක්ෂකයන්ට මොනවත් කියන්නෙ නැහැ. කොහොමත් මම රංගනයෙ යෙදුණු පළමු සතියේ දී ගොඩක් දෙනෙක්ගෙ ප්‍රතිචාර වුණේ දෙව්නක මල්ලි මේ චරිතයට ඕනෑ කියන දේ. නමුත් ටිකින් ටික ඒ දේවල් වෙනස් වෙලා මට යහපත් ප්‍රතිචාර දක්වන පිරිසක් මේ වෙද්දි එකතුවෙලා ඉන්නවා.

ඒ වගේම ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේ නාට්‍යයේ අනෙක් ප්‍රධාන චරිතය විශාලට රංගනයෙන් දායකත්වය සපයන ඒ සහෝදරයා සහ මම ඇත්තටම අයියයි මල්ලියි වගේ කියලා. අපි දෙන්නගේ මුහුණුවර බැල්ම හැමදේම එකවගේ කියලා. මේ චරිතයට කතා කරලා පළවෙනි දවසේ තිර පරීක්ෂණයකට ගියාමත් මගෙ සහ විශාල්ගෙ ඡායාරූපයක් ගත්තා. ඒ මොහොතේ නාට්‍ය කණ්ඩායමේ අයත් කිව්වේ අපි දෙන්නා එක වගේ කියලා.

ඉතින් ගොඩක් දෙනෙක්. මාව මේ චරිතයට ගැළපෙනවා කියලා තමයි දැන් නම් කියන්නේ මේ නාට්‍ය විකාශය ආරම්භක මුල් සතියේ 75%  වගේ අයහපත්  ප්‍රතිචාර තිබුණෙ.  ඉතින් මේ වෙද්දී 75% යහපත් ප්‍රතිචාර තමයි තියෙන්නේ. ඒ ප්‍රතිචාර තුළින් මම හිතනවා මම මේ චරිතයට සාධාරණයක් කරනවා කියලා.

දෙව්නකගෙන් හේෂාන්ට කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබුණෙ?

දෙව්නක බෙහොම සුහදව මට සුභපැතුම් එකතු කළා. ඒ වගේම මම සම්බන්ධ වුණු පළමු කොටස විකාශය වුණ වේලාවෙදිත් සුභ පැතුවා. ඔහු එක්ක මීට පෙර මම වෙළඳ දැන්වීමකට සම්බන්ධ  වෙලා තියෙනවා. ඒ හරහා අපි මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ නාට්‍යයේ චරිතය භාර ගනිද්දී මම ඔහුට කතා කළා. ඔහුගෙනුත් අවසරය ලබාගෙන තමයි චරිතය භාර ගත්තෙ. දෙව්නක මට හදවතින්ම සුභ පැතුම් එකතු කළා.

සිහින කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. මේ රංගනය භාරගද්දී මොකද හිතුණේ?

මම මේ නාට්‍ය මුල සිටම නරඹපු කෙනෙක්. ලස්සන කතාවක් කියන දේ දැනුණා සහ හැගුණා. ඇත්තටම මේ කතාව බලද්දී එක් මොහොතක මට හිතුණු දෙයක් තමයි මටත් මේ නාට්‍යයේ රඟපාන්න තිබුණා නම් හොඳයි කියන දේ. ඒක ප්‍රාර්ථනාවක් නෙමෙයි. මේ නාට්‍ය විකාශය වෙද්දී එහි රංගනයේ යෙදෙන රංගන ශිල්පීන් දකිද්දී හිතින් හිතපු දෙයක්. ඉතින් ඒ හිතුවා වගේම මේ නාට්‍ය විකාශය වෙලා මාස 9කට පස්සේ මට එහි චරිතයක් වෙනුවෙන් කතා කරනවා. මම බලාපොරොත්තු වුණා වගෙම චරිතයක් කරන්න. ඇත්තටම ඒ අවස්ථාව මටම පුදුමයි. මේ සිතිවිල්ල ගැන මම මීට පෙර කාටත් කියලත් නැහැ. පළමු වතාවට තමයි මේ ගැන කියන්නේ.

ඒ කියන්නේ හෙෂාන්ගේ යටි හිතේ තිබුණු සිතිවිල්ලක් මල්ඵල ගැන්වුණා.

ඔව්. මේ ගැන විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනෑ මගේ ජීවිතේ මම මොනවා හරි දෙයක් ගැන හිතුවොත් කැමති දෙයක් කරන්න හිතුවොත් ඒ දේ පහුවෙලා හෝ මට ලැබෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. කොහොමත් මගේ සිතිවිලි සඵල වෙනවා.

හෙෂාන් රංගන ශිල්පියෙක්  වෙන්නද හීන දැක්කෙ?

මම කලාවට ලොකු කැමැත්තක් තිබුණා. පාසල් කාලෙදි මම ගොඩක් දක්ෂ වුණේ චිත්‍ර අඳින්න. චිත්‍ර ශිල්පියෙක් විදියට මම ඉස්කෝලෙ කොළඹ වෙස්ලි විද්‍යාලයේ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. චිත්‍රවලින් දෙස් විදෙස් තරඟාවලි සහතික පත්‍ර සම්මාන ලබාගෙන තියෙනවා. ඒ වගේම ක්‍රීඩාවටත් යොමුවෙලා හිටියා. ඒ ක්‍රිකට් බාස්කට් බෝල්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා නමුත් ඒ කාලේ රංගනයට නර්තනයට යොමුවෙලා ඉඳලා නැහැ. පාසල් ජීවිතය හමාර කළාට පසුව තමයි නිරූපණ ශිල්පයට යොමුවෙලා ඒ හරහා රංගනයට ආවේ.

දැන් වෘත්තිය වශයෙන් රංගනයටද සම්බන්ධ වෙලා ඉන්නේ?

මම නිරූපණ ශිල්පියෙක් විදියට ඒ ක්ෂේත්‍රයේ අවුරුදු 13ක් තිස්සේ නිරතවෙලා ඉන්නවා. ඒ තුළ විවිධ විලාසිතා හැඩ ගැන්වීම්වල නිරත වෙනවා. ඊට අමතරව රංගනයේත් යෙදෙනවා. ඒ දේත් එක්ක මගේම කියලා ව්‍යාපාරයකුත් කරගෙන යනවා. මම මීට පෙර සඳහන් කළා වගේ මට චිත්‍ර  ශිල්පයට ලොකු හැකියාවක් තියෙනවා. ඒ හැකියාව යොදාගෙන මම ඇඳුම් නිර්මාණ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒවා මම විසින්ම තමයි නිර්මාණය කරන්නේ.

මම  කොහොමත් ලස්සනට අඳින්න පළඳින්න කැමති කෙනෙක්. හොඳට ගලපන්න, හොඳ ඇහැක් තියෙනවා මට. ඉතින් මගේම ව්‍යාපාරය තුළ ටී ෂර්ට් කැප් සහ මුල් ඇඳුම් තමයි මම නිර්මාණය කරන්නෙ. warning by HM තමයි මගේ ව්‍යාපාරය. ඒ තුළිනුත් හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මගේ ව්‍යාපාරය ඇතුළේ විශේෂත්වයකුත් තියෙනවා. ඒ ඇඳුම් අදිද්දී ඒවා හරි විදියට අඳින්නෙ පළදින්නෙ කොහොම ද කියල අපේ සේවාදායකයන්ට කියලා දෙනවා. විශේෂයෙන් මුල් ඇඳුම් ඇඳීම පිළිබඳව. මුල් ඇඳුම් මහන ආකාරයේ සිට අඳින අකාරය දක්වාම. ඉතින් මේ දේවල් එක්ක කලාවටත් හැකි පමණින් සම්බන්ධ වෙලා හොඳ නිර්මාණ එක්ක එකතුවෙලා ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්

යතුරු පැදි සැපයීම: Dilan Motors බොරලැස්ගමුව

ඇඳුම් නිර්මාණ – Warning By HM