මම එහෙම රඟපෑම හොයා ගෙන ගිය කෙනෙක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රඟපෑමේදී, තමුන්ට අදාළ චරිතයට අනුව එහි හැඩ හුරුකම් හඳුනාගෙන රඟපෑමට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මේ නිවර්තනා දේවගේ ලෝකා නාට්‍යයේ දී ඇයට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කළ ශිල්පිනියකි.

වේදිකාවේ සහ ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවේ පළපුරුදු රංග ශිල්පියකු වන සම්පත් ජයවීර ලෝකා නාට්‍යයේ රඟපෑවේ සරසවි කතිකාචාර්යවරයකු ලෙසය. ඒ කතිකාචාර්යවරයාට පෙම්බැඳී ආදරයෙන් මුසපත්ව කටයුතු කළ චරිතයට දායක වූවේ මේ නිවර්තනා දේවගේය. කවුද මේ ශිල්පිනිය කියා බොහෝ දෙනා විමසන මොහොතක ඔන්න අපි ඇය සැඳැල්ලට කැඳවාගෙන ආවෙමු.

නිවර්තනා දේවගේ, වුණාට, දිග නමක් නේද තියෙන්නේ?

ඔව් මට වාසගම එක්ක දිග නමක් තියෙන්නේ. කෙටියෙන් භාවිත කරන්නේ නිවර්තනා දේවගේ කියලයි.

එතකොට නිවා කියන්නේ?

ෆීල්ඩ් එකේ යාළුවෝ ඔක්කොම වගේ මට කියන්නේ නිවා කියලයි.

නිවා කිව්වාම, නිවිච්ච චරිතයක්ද? නැත්නම් ගින්දර වගේ කෙනෙක්ද?

ඇත්තටම නම් මම නිවිච්චි චරිතයක් නෙවෙයි.. මට එහෙම නිවිලා ඉන්නත් බැහැ.

කවුද මේ නිවා?

නිවා කියන්නේ කැළණි සරසවියේ විශේෂවේ දී උපාධියක් වෙනුවෙන් හදාරණ කෙනෙක්. ජන සන්නිවේදන අංශයෙන් හදාරන්නේ. දැන් ඉන්නේ අවසන් වසරේ. ඒ නිසා ගොඩාක්ම කාර්ය බහුලයි. රංගනය හොයා ගෙන පන්නා ගෙන, ගිහින් කරන කෙනෙක් නෙවෙයි.

නිවාගේ ගම?

මීරිගම.

ඉගෙන ගත්තේ?

ගමේ ඉස්කෝලෙට ගියේ හයේ ඉඳලා. ඒ ලෙවල් වෙනකල් ගියේ බාඳුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට. එහි දී ඒ සාමාර්ථ තුනක් අරගෙන කැළණි සරසවියට තේරුණා. නර්තනය, නාට්‍ය සහ භූගෝල විද්‍යාව. ඩ්‍රාමා තෝරා ගත්තේ ඒ ලෙවල් කරන්න පටන් ගත්තාමයි. පොඩි කාලයේ ඉඳලම ප්‍රායෝගිකවත් කළේ උඩරට සහ සම්ප්‍රදායික නර්තන කලාව.

නර්තනයට ද වැඩි ආසා කරන්නේ ?

නර්තනය මගේ ප්‍රියතම විෂයයි. සමස්ත ලංකා තරග පවා නියෝජනය කළේ නර්තන අංශයෙන්. රංගනය මමවත් දැනගෙන හිටියේ නැති දෙයක්. කැම්පස් ඇවිල්ලත් පළවැනි අවුරුද්ද වෙනකල් නාට්‍ය විෂයයක් හැටියට කළත්, දෙවැනි අවුරුද්දේ ඉඳලා විශේෂවේ දී ගෞරව උපාධිය වෙනුවෙන්, ජනසන්නිවේදනය තෝරා ගත්තා.

දැන් අරමුණ මාධ්‍ය ක්ෂේත්‍රයට ඒමට ද?

මම ආසා ඇත්තටම කතිකාචාර්යවරියක වීමට. තව දුරටත් එතකොට මට ඉගෙන ගන්න පුළුවනි.

පවුලේ විස්තර කියමු?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, නංගියි, මමයි. ඊට අමතරව ආච්චි අම්මා ඉන්නවා. ඊටත් අමතරව අම්මගේ මල්ලි ඉන්නවා. මම අපේ තාත්තාටත් වඩා ආදරේ ඒ මාමාට.

හේතුව ?

තාත්තා කාලයක් විදේශගතව හිටියේ. ඉතින් මගේ ලෝකය වුණේ අම්මයි, ආච්චියි, මාමායි. තාත්තා දැන් නම් කරන්නේ බිස්නස්. තාත්තා පිටරට හිටියේ මම චුටි කාලයේ දී. එදා මාව වැඩිපුර බලා ගත්තේ මාමා. ඒ බැඳීම තවම මට එහෙමයි.

නිවා රඟපෑමට ආවේ ? ඒක ට හේතු වුණේ ? ඒ වෙනුවෙන් ලොකු කට්ටක් කෑව ද?

අපෝ නැහැ. මම එහෙම රඟපෑම හොයා ගෙන ගිය කෙනෙක් නෙවෙයි. උසස් පෙළ කරද්දී නාට්‍ය අංශයේ අජිත් නිශාන්ත සර්ගේ නාට්‍ය වලට සම්බන්ධ වුණා. ඒ විදියට ඒ සර් වැඩමුළුවක් කරද්දී එතැනම ඒ ලෙවල් ෆීල්ම් එක කළ රොහාන් පෙරේරා, අධ්‍යක්‍ෂතුමා ආවේ, ඒ ෆිල්ම් එකට අවශ්‍ය ළමුන් බඳවා ගැනීමේ පරීක්‍ෂණයක් කරන්න. එතැනදී තමයි ඒ ලෙවල් ෆිල්ම් එකට මාව තෝරා ගත්තේ. ඒ වෙනකොට මම ඒ ලෙවල් විභාගයට සූදානම් වෙමින් හිටියේ. ඒ නිසා අපේ අප්පච්චි කැමති වුණේ නැහැ. පස්සේ ඉස්කෝලෙට ලියුම් එවලා, ගෙදරට කෝල් කරලා අමාරුවෙන් තමයි අන්තිමට මම ඒ ලෙවල් ෆිල්ම් එකේ රඟපෑවේ. ඒ අනුව මගේ ගමන පටන් ගත්තේ සිනමාවන්. ඊට පස්සේ රොහාන් පෙරේරා මහතාගේ දෙවැනි චිත්‍රපටයෙත් රඟපෑවා. ඒත් තවම තිරගත වුණේ නැහැ. ඉන්පසුව තවත් ෆිල්ම් එකක රඟපෑවා. ඒ අධ්‍යක්‍ෂතුමාගේ සිසිවන වුවන ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. ඒකට පෙර තමයි ලෝකා විකාශය වුණේ.

ලෝකා නාට්‍යයට සම්බන්ධ වුණේ මට පළවැනියට ඩ්‍රාමා උගන්වපු අකිල සපුමල් මානවඩු සර් නිසයි. ලෝකා හරියට වේදිකා නාට්‍යයක් වගෙයිනේ. ඒ ස්වරූපය නිසා තමයි මම කැමති වුණේ.

එතකොට එදා ඒ ලෙවල් ෆිල්ම් එක නිසා ඒ ලෙවල් විභාගය ලියන්න බැරි වුණාද ?

ඇත්තෙන්ම ඔව්. ඒ ලෙවල් මිස් කරගෙන ඒ ලෙවල් ෆිල්ම් එකේ රඟපෑව. ඒ ලෙවල් ෆිල්ම් එකේ රූගත කිරිම් තිබුණේ ඒ ලෙවල් විභාගය තිබුණු කාලයේදිමයි. ඒ නිසා පළමු වතාවේ නෙවෙයි මම ඒ ලෙවල් ලියලා සරසවි වරම් ලබා ගත්තේ. වෙන කැම්පස් එකකට යන්න තරම් ලකුණු ගන්න තිබුණා. ඒත් මට ඕනැ වුණේ කැළණි සරසවියට යන්න. දෙවැනි සැරේ ඒ අරමුණ සඵල කර ගත්තා.

ඒ ලෙවල් චිත්‍රපටයේ එදා ජනප්‍රිය වුණේ බක බක කියලා නේද?

ඔව්, ඒකේ ප්‍රධාන චරිතය රඟපෑ ශිල්පිනියගේ හොඳම යාළුවා මම. මට කිව්වේ බක – බක කියලයි.

වේදිකාවෙන් රඟපානවා නේද?

ඔව්, කුවේර අඩවිය ඇතුළු නාට්‍ය කීපයක රඟපානවා. ටෙලි සහ ෆිල්ම් වලට යද්දී ටිකක් හොයලා බලලා තමයි චරිතය තෝරා ගත්තේ.

ලෝකා නාට්‍යයේ රෝමාන්තික වූ ප්‍රසාදිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?

ප්‍රසාදි කියන්නේ ආදරණීය චරිතයක්. හැබැයි එයා, ආදරය හොයන විදිය වෙනස්. සමාජය අනුමත කරන්නේ ප්‍රසාදිට ආදරය ඕනැ නැහැ කියලයි. ඒත් ඇය ඒ තැනට පත්වීමට හේතු වූ කාරණාව ගැන කතා වෙනවා අඩුයි. ලෝකා නාට්‍යයේ කාන්තා චරිත සියල්ල දිහා බැලුවොත්, ඒ ඔක්කොම ආදරය හොයන විදිය වෙනස්. ඒ අතරින් ප්‍රේක්‍ෂකයා ආදරේ කරන්නේ සුදු චරිතය කරන කෙනාටයි.

පැටියෝ බබා, එන්නකෝ මේ විදියට වඩාත් ආදරණීය ලීලාවෙන්, තොල් පෙති කරකවමින්, ප්‍රසාදි ආමන්ත්‍රණය කරන විදිය එක්ක තරුණයන් ප්‍රසාදිගේ චරිතය කළ නිවර්තනාට පිස්සු වැටිලා නේද? ඔබත් ඒ විදියට රොමැන්ටික් ද?

පිස්සු වැටිලද? නැද්ද? කියලා නම් මම දන්නේ නැහැ. ඒත් සැබැ ජීවිතයේ දී මාත් ආදරණීයයි.

සැබැ ජීවිතයේදීත් ඒ වගේ අත්දැකීම් තියෙන නිසා ද රොමැන්ටික්?

සැබැ ජීවිතයේදිත් ආදරණීය අත්දැකිම් ලබලා නැහැ කියන්න බැහැ. ලබලා තියෙනවා. ඒත් ප්‍රසාදි නම් එතැනින් එහාට ගිය චරිතයක්.

නිවා ආදරයේදි මොන විදියද?

තවම ඒ සම්බන්ධව කතා කරන්න මම කැමති නැහැ. කොහොම වුණත් ආදරයේදී වඩා ආදරණීය වේවි.

ම්පස් එකේ නිවාගේ කාඩ් එක ?

(Sound) කියලයි.

රැග් වෙලා තියෙනවනේ ? නැතිවෙන්න බැහැනේ ?

අපොයි, මම තමයි ඒ වසරේ වැඩියෙන්ම රැග් එකට අහුවුණේ. ඒත් මම ඒවාට මුහුණ දීලා ඒක අපහසුතාවක් කර ගත්තේ නැහැ. මම ඒවා වින්දනය කළා. සවුන්ඩ් කියල මට කාඩ් එක දැම්මෙත් ඒ වගේ දේ නිසයි.

ලෝකාගෙන් පස්සේ නිවා අපට හමුවන්නේ?

යු-ටියුබ් සීරිස් එකක් එන්න තියෙනවා. ඒක වෙනස් වැඩක්. ඊට අමතරව ආරියරත්න ඇතුගල සර්ගේ සිසිවන වුවන, ටෙලිඩ්‍රාමා එක එන්න තියෙනවා. රොහාන් පෙරේරා මහතාගේ ෆිල්ම් එකකුත් එන්න තියෙනවා.

සම්පත් ජයවීර’ එක්ක ලෝකා නාට්‍යයේ රඟපෑම කොහොමද දකින්නේ? මොනවද අත්දැකීම්?

ඇත්තටම ඒක හරි අපූරු අත්දැකීමක්. ජීවිතේ අපට බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවනේ. ඒ විදියට මට සම්පත් ජයවීර අයියාගෙන් බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. හරිම සහයෝගය දෙන ප්‍රවීනයෙක්. ප්‍රසාදිව ගොඩනගා ගන්න ලොකු සහයෝගයක් දුන්නේ. සාමාන්‍යයෙන් මම සැබැ ජීවිතයේ රතිඤ්ඤා වැලට බයයි. මේ නාට්‍යයේ රතිඤ්ඤා එකක් පත්තු කරන්න තිබුණා. ඒ බය නැති කරලා විදිය කියලා දුන්නෙත් එයා. ඒක හරිම රසවත් සිදුවීමක්.

සඳුන් ගමගේ