මම එහෙම ජරා විදිහට වේගෙන් වාහන පදින කෙනෙක් නම් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු 'රථගාය'  විශේෂාංගයට  මෙවර අපි  සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන  ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වන සචින් චතුරංග.

සචින් චතුරංග කියන්නේ රථගාය තියෙන කෙනෙක්ද? 

සැරටම රථගාය තියෙන කෙනෙක්. ඇත්තටම කිව්වොත් ගෑණු ළමයින්ට තියෙන ඇල්මට වඩා වැඩියි වාහනවලට තියෙන ඇල්ම. 

මුලින්ම වාහනයක් පැද්දේ කවද්ද?

මුලින්ම වාහනයක් පදිනකොට මම අට වසරේ හරි නවය වසරේ හරි වගේ ඇති. ගෙදරට හොරෙන් තමයි ගොඩාක් වෙලාවට පොඩි කාලේ වාහන පැද්දේ. ඉතින් සමහර ඒවා කියන්නත් බෑ මොකද ඒවා ගෙදරින් අදටත් දන්නේ නැහැ. කිව්වොත් මම ගෙදර ඉදලත් ඉවරයි. ඒ දවස්වල අපේ තාත්තාට තිබුණේ Ford Escort Two Door වාහනයක්. ඒක ස්පෝර්ට් කාර් එකක්. ඉතින් තාත්තාගෙන් මම හැමදාම වාහනය පදින්න ඉල්ලනවා ඒත් එයා දෙන්නේ නැහැ. දවසක් ගෙදරට හොරෙන් පානදුරේ යනවා කියලා කොළඹ ඇවිල්ල වාහනයත් හප්පගෙන තියෙනවා. ඒවා නම් මාට්ටු වෙලා තියෙනවා. 

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදාද?     

මුලින්ම මගේම කියලා වාහනයක් ගත්තේ අවුරුදු 21 දී. මම අවුරුදු 21 Birthday Party  එකක් ගන්න හිටියා. ඒකට ලොකු බජට් එකක් වෙන් කරලා තිබුණා.  මොකද පොඩි කාලේ ඉදලා මම එහෙම  Birthday Party අරගෙන නැහැ වගේම 21 පාර්ටි එක මිස් වුණාට පස්සේ මම තාම  Birthday Party  එකක් අරගෙන නැහැ. ඉතින් මේ  Birthday Party  ගන්න ඉද්දි කොරෝනා ආවා ඉතින් ඒක ගන්න බැරි වුණා. මම ඒ සල්ලි ටික තියාගෙන තව අතිනුත් සල්ලි ටිකක් දාලා Toyota KE 50 කියන අළු පාට වගේ කාර් එකක් ගත්තා. ඒක Full modify කරපු කාර් එකක්. ඒත් කාර් එක මට පදින්න වුණේ නැහැ. මොකද ඒක ගත්ත ගමන් මම හදන්න පටන් ගත්තා එහෙම හද හදා ඉන්නකොට මම ගත්තු ගාණටත් වැඩිය ලොකු offer එකක් ආවා. ඉතින් ඒ නිසා මම ඒක එහෙම්ම විකුණුවා. ඒක විකුණලා මාස 6ක් 7ක් ඇතුළත  NX Coupe කියන වාහනය ගත්තා. ඒ කාලේ මම දන්න විදිහට ඒ වාහන ලංකාවටම තිබුණේ 14ක් වගේ.  එතකොට ඒ වාහනය තමයි මම මුලින්ම පාවිච්චි කරන්න ගත්ත වාහනය වෙන්නේ.

පළවෙනි වාහනය අරං කොහෙද ගියේ?  කාවද දාගෙන ගියේ?

ඒ වාහනයේ ඇත්තටම යන්න තියෙන හතරවටේම ගියා. වාහනය අරගෙන මුලින්ම පල්ලියට තමයි ගියේ ඊට පස්සෙ පන්සලට ගියා. මොකද මගේ අම්මා බුද්ධාගමේ. මට ඒ කාළේ ඉදලා හැම දේකටම උදව් කරපු තාමත් මගෙත් එක්ක ඉන්න ප්‍රසන්න විජේවර්ධන කියලා අයියා කෙනෙක් ඉන්නවා. වාහනය අරන් පල්ලියට ගිහින් ඒ දේවල් කරලා මුලින්ම වාහනය පෙන්නන්න යන්නේ එයාට. මොන වාහනය ගත්තත්  මුලින්ම දාගෙන යන්නේ නම් ඉතින් අම්මලාව තමයි. මම දැන් තමයි තනියම ගිහින් වාහන ගන්නේ. ඒ කාලේ හැම වාහනයක්ම ගන්න ගියේ තාත්තත් එක්ක. 

දැන් තියෙන වාහනය මොකක්ද? ඒ වාහනය එක්ක තියෙන හොඳම මතකය මොකක්ද?

දැන් මට වාහන දෙකක් තියෙනවා.එකක් තමයි Subaru WRX අනිත් එක Honda Vezel එකක්.   Honda Vezel  එකේ නම් තාම එහෙම අමතක නොවන මතකයක් නැහැ. ඒත් Subaru WRX    එකේ නම් හොඳ මතකයක් තියෙනවා. ඒ මොකද කිව්වොත්  නත්තල් දවසේ රෑ කොළඹ ඉදන් මීගමු යන්න ගිහින් පාරෙදි හම්බුණු වාහනයක් එක්ක රේස් එකක් යන්න ගිහින් එන්ජින් එක ගිහින් තියෙන්නේ. ඒක තමයි දැනට තියෙන අමතක නොවෙන සිදුවීම. මම Driving වලට ආස කෙනෙක්. Long driveවලට ගොඩාක් කැමති‍යි. පාරෙ කවුරුත් නැති වෙලාවට එහෙම නැත්තං මට මොකක් හරි වැඩකට පරක්කු වෙලා තියෙන වෙලාවට ටිකක් වේගෙන් යනවා. ඒත් මම එහෙම ජරා විදිහට වේගෙන් වාහන පදින කෙනෙක් නම් නෙමෙයි.  

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියනවාද?               

වාහන හින්දා නම් ඕන තරම් පාරේ කටු කාලා තියෙනවා.  මගේ තියෙන ආසාව තමයි වාහන අරන් හදන එක. ඒ හින්දා මම ළඟ තිබුණා Mitsubishi ck 2  කියන වාහනය. ඒ වාහනය තරම් මගේ ජීවිතේ අමතක නොවෙන වෙන කිසිම වාහනයක් නැහැ. ඉතින් ඒ වාහනය පොඩ්ඩක් හිටපු ගමන් නවතිනවා වගේ Case තිබුණා. ඒ වාහනය තියෙද්දී සතියකට සැරයක් මම අනිවාර් යෙන්ම ගරාජ් එකට යනවාමයි. එක දවසක් මගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ඉවර වෙලා ගාල්ලේ shooting යන ගමන් තමයි හිටියේ. මම එදා ගියේ ඉතින් ලස්සන ඇදුමක් එහෙම ඇදගෙන ලෑස්ති වෙලා.  හරියටම ගම්සභා හන්දියේදී වාහනය නැවතුනා. එතන ඉදන් දෙල්කදට එනකන් වාහනය තනියම තල්ලු කරගෙන ආවා. මට එදා තල්ලුවක් දාලා උදව්වක් දෙන්නවත් කවුරුවත් ආවේ නැහැ. කොහොමහරි මට එදා shooting යන්න වුණේත් බස් එකේ.

⁠මේ වෙනකොට වාහන කීයක් විතර පාවිච්චි කරලා තියෙනවාද?

මට ඉතින් තාම වැඩි වයසක් නැහැ නේ. 21 ඉදන් මේ වෙනකන් වාහන 7ක් වගේ පාවිච්චි කරලා තියෙනවා. ඒ වාහන වලින් මම කැමතිම වාහන දෙකක් තියෙනවා. එකක් තමයි  CR-Z එක. ඒක තමයි ලංකාවේ  CR-Z වාහනවලින් රෙකෝඩ් තියපු එකම වාහනය. අනිත් එක තමයි  Defender එක. මොකද මම ඒක ගත්තේ අවුරුදු ගානක් එකතැන තිබ්බ වාහනයක්. ඒක අරන් ඇවිල්ලා ඇණෙන් ඇණෙන් ගෙනත් තමයි  වාහනය හැදුවේ. CR-Z ඒකනම් මගේ මෝඩකමට විකුණුවේ එත් Defender එක නම් විකුණුවේ මම Show එකක් කරලා ඒකෙන් Loss වුණා. ඉතින් ඒ සල්ලි ගෙවන්න තමයි මට ඒක විකුණන්න වුණේ.  ඉතින් ඒ වාහන දෙක තමයි මේ වෙනකන් පාවිච්චි කරපු වාහනවලින් ආසම වාහන දෙක.

අලුතෙන් වාහනයක් ගන්න හීන දකින කෙනෙකුට දෙන උපදෙස මොකක්ද?

මම ගැන හිතලා කිව්වොත් එහෙම මම සල්ලි ගොඩක් තියෙන පවුලක ළමයෙක් නෙමෙයි. මොකද මගේ තාත්තා හොඳ ජොබ් එකක් කරලා පස්සේ කාලෙක මගේයි අයියාගෙයි කලා කටයුතුවලට සම්බන්ධවුණු නිසා තත්තා රස්සාවෙන් අයින් වුණා. අම්මලා අපිව තනියම යවන්නේ නැහැ.  තාත්තා එක්ක තමයි යවන්නේ. ඉතින් කාලයක් අපි ඉගෙනීම නිසා වැඩවලින් අයින් වෙනවා. ඉතින් අපිව ගෙනියන්න ගේන්න ඕන නිසා තාත්තා ත්‍රීවීල් එකක් ගන්නවා. අපිට වැඩ නැති කාලේ තාත්තා ඒකෙන් හම්බකරන සල්ලිවලින් තමයි කාලයක් ජීවත් වුණේ. ඉතින් අපිට තිබුණු ප්‍රේම සම්බන්ධතාවලදිත් එයාලා කියලා තියෙනවා  ත්‍රීවීල්කාරයින්ගේ පුත්තුන්ට ළමයි දෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙමයි කියලා මම නම් කවදාවත් වැටුණේ නැහැ. මට ලොකු හීනයක් තිබුණා මම ඒ හීනය වෙනුවෙන් වැඩ කළා. ඉතින් වාහන ගන්න හීන දකින අයට කියන්න තියෙන්නේ තමන්ගේ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න අවංකව මුදල් හොයන්න කවදාවත් වරදින්නේ නැහැ. 

සචින් චතුරංගගේ Dream vehicle එක ගැනත් කියමු?  

මට දැනට Dream vehicle දෙකක් තියෙනවා එකක් තමයි BMW iX ඒකට කැමති ඒක ස්පෝර්ට් නිසා අනිත් එක තමයි Discovery 6 එකක්. මොකද ඒකේ තැනකට ගියාම පොඩි Decent ගතියක් තියෙනවා. 

ලිහිණි ලියනගේ