මම ඉපදුණේම නළුවෙක් වෙන්න - කැළුම් ආර්යන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමාව අහසක් නම් මම ඔබ දකින්නේ ඒ අහස මත විසුල තාරුකාවන් අතර තවත් එක් තාරුකාවක් ලෙස නම් නොවේ. ඔබ තරුවක් ලෙස මම එදත් නොදුටුවෙමි. හෙටත් නොදකිමි. මන්ද යත් තරුවකට දැල්වෙන්නට සේම නිවී යාමටද හැකි වග දන්නා හෙයිනි; මම. ඔබ නොමැකෙන සලකුණු තවත් ඈත ඈත දවස්වලට ශේෂ කර නුදුරු දිනෙක ඒ අහසම එකළු කරමින් පුපුරා යන අපූර්ව ප්‍රතිභාවක නිහඬ අකුණක් ලෙස මම දකිමි. නිහඬ අකුණක්? ඔව් නිහඬ අකුණක්! ඔව් ආර්යන් ඔබ නිහඬ අකුණක්! සිනමාව, ගීතය ආදී නෙක ප්‍රපංචයන් සමඟ ඈඳුණු සෞන්දර්යාත්මක ප්‍රවේශයන් ගැඹුරෙහි සෞන්දර්යාත්මකව පැවතිය යුත්තේ ද සොඳුරු, ළතෙත්, මානවීය සාරාර්ථ මිස අනෙකක් නොවේ. එහෙත් අප්‍රමාණ කුහකත්වය, නිර්ලෝභී ඇගයීමකට ඇති අසීමිත ලෝභකම, වැඩවසම්වාදී ගෝත්‍රික මානසිකත්ව සහ තවකෙක් සොඳුරු අනන්‍ය ස්ව ගමනක් යනෙන හැටි දකින්නට රිසි නොවූ ඊර්ෂ්‍යාව, කුහකත්වය වාං දමන 'නොමැරෙන' මිනිසුන් අඩුවක් නැතුව වෙසෙන හෘද සාක්ෂියකින් වියුක්ත සමාජයක් අපි අබිමුව අපි හඳුනා ගනිමු. කලාකරුවන් මිස, කලාවේදීන් සිනමාකරුවන් මිස සිනමාවේදීන් අල්පමාත්‍රික වූ සත්‍ය තුළ, ඒ අන්ධකාර අහේතුව තුළ මේ තාක් පුපුරා යන්නට විවරණ නොලත් සැර අකුණක් ලෙස ආර්යන් මම ඔබ විනිශ්චය කරමි. කැළුම් ආර්යන් ඔබ මෙන්ම බොහෝ විට ඇවිද යන්නට අවැසි මාවත් වැර වෑයමින් තමන් විසින් එළිපෙහෙළි කරගත යුතු ප්‍රතිභාපූර්ණ නිර්මාණශීලී හුස්මක් ගන්නා තවත් තරුණ පරම්පරාවක් මේ මහ පොළොව තුළ විඳවමින් විඳීමේ මං සොයන වගද මට දැනෙයි. ජීවිතයේ දුෂ්කරම ඍතු මඟහරිමින්, දරාගනිමින්, පසු කරමින්, ගෙවා දමමින්, දළු කොළ මල් අතු අගිසි අගිසි ගාණේ පිබිදෙන නිමා නොවන වසන්තයක දොරගුළු හැරෙන තෙක් දුෂ්කරතා ඉවසිලිවන්තව විඳ දරාගනිමින් ඔබ මෙන්ම සිහින සිහිනයෙන් ඇහැරෙන තෙක් ගමන අත් නොහැරිය යුතු ප්‍රගතිශීලී හදවත් මේ මහ පොළොවෙහි සරණ වගද මම එලෙසින්ම දනිමි...

එවන් දිගු පූර්විකාවක් මා තැබුවේ සිනහව උදුරාගෙන කඳුළු පිරිනමන්නට සැදී පැහැදෙන අවර්ණවත් හදවත් සංඛ්‍යාත්මකව වැඩි සමාජයක කෙනෙහිලිකම් ඉවසා දරාගනිමින් කැළුම් ආර්යන් මෙන්ම තවත් එවන් තාරුණ්‍යයන් තම සිහින කිසි දිනක කිසිසේත් අත් නොහල යුතු යැයි යන නියතය මම විශ්වාස කරන හෙයිනි. නිසැකවම අයිතිය ඔබ වැනි පරපුරක් වෙත පැවරුණු දවසක් දිනක සපැමිණෙනු නියතය. එවන් හෙට දවසක් තනනු උදෙසා නිසැකවම අද දවස ඔබ ඔබේ කරගත යුතුය.චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තෝතැන්න නම් එවන් චමත්කාරයක පිනි ඉහිරුණු සුබ උදෑසනක්, සුබ දවසක්, අසිරිමත් වස්සානයක් නොපැමිණෙන්නට හේතුවක් නොතිබෙන්නට හේතුවක් නැත! ඉතින් අවැසි හැම සුබ පැතුමක්ම, අවැසි හැම ධෛර්යක්ම ඔබ අස තබමින්ම ආර්යන් ඉතින් අපි නිදහසේ ඔබ එක්ක කතා කරමු! එන්න... අපි කතා කරමු.. 

ලාංකික සිනමා තිරය මත නුදුරේම දිගහැරෙන Case No: 447 ඔබ කියන විදිහට ලාංකික සිනමාවට අලුත් වර්ණයක්, අලුත් සලකුණක් එක් කරන චිත්‍රපටයක්. කියන්න මට ඇයි ඔබ එහෙම කියන්නේ?

Case No: 447 ප්‍රස්තුතය විතරක් නෙවෙයි ඒ දර්ශන තල, රඟපෑම්, නළු නිළියන්ගේ සාරය අවශ්‍ය උපරිමයෙන් එකතු කරන්නට, නිර්මාණය එක්ක ලස්සනට මුහු කරන්නට දරන ප්‍රයත්නය හරි වෙනස් කියලා තේරෙනවා. මට හිතෙන්නෙ Case No: 447 කියන්නෙ ලංකාවේ මෙතෙක් හැදිච්ච නැති විදිහේ වෙනස්ම චිත්‍රපටයක්.

ශ්‍රී ලාංකික දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් එක්ක ඔබේ රංගන ජීවිතයේ පළමු අත්දැකීමයි Case No: 447 එක්ක ඔබ මේ විඳින්නෙ. දැනෙනවාද වෙනසක්

චන්ද්‍ර හසන් කියන ඒ අපූරු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා එක්ක වැඩ කරන හැම මොහොතකම ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. ලොකු වෙනසක් දැනෙනවා. 

කොහොම වෙනසක්ද

මට දැනෙන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරනවා වගේ හැඟීමක්. ඔහු චිත්‍රපටය එක්ක ආත්මගත වෙලා ඒත් එක්ක හුස්ම ගන්න අධ්‍යක්ෂවරයෙක්.

වෙනස - වෙනසක් විදිහට එච්චරටම දැනෙන්න හේතුව?

ඔහු චිත්‍රපටය ගැන කියන්න කතා කරපු පළමුවැනි දවසේ චිත්‍රපටය වචනවලින් මට මවලා පෙන්නුවා මේ දර්ශනය මෙහෙමයි, මෙන්න මෙතනදි මේකයි වෙන්නේ.. ඔයා දර්ශන තලයට එන්නෙ මෙහෙමයි. ඒ විදිහට සම්පූර්ණ චිත්‍රපටයම මගේ මනසේ එයා සජීවීකරණය කළා කීවොත් හරි.. චිත්‍රපටය ගැන ඔහුට තියෙන අවබෝධය, ඔහු ඒ ගැන ඒ තරම් ගැඹුරින් හිතන විදිහ, දෙන සහයෝගය, උපරිමය උපරිමයෙන් ඉස්මතු කරන්න දරන මහන්සිය, ඒ සියල්ල හරි වෙනස් සහ ඒක හරි සුන්දර අත්දැකීමක්.

Case No: 447 එන්න ඉස්සර විලන් ප්‍රේක්ෂකයන් ඉදිරියට එනවා. කතා කරමු විලන් ගැන. ඔබ විශ්වාස කරනවද විලන් කියන්නේ ඔබගේ සිනමා ජීවිතයේ වෙනස්ම හැරවුම් ලක්ෂයක් කියලා?

ඔව්.. ඒත් මම ගෝරි චිත්‍රපටය ගැනත් මෙතනදිම කියන්නම්. මාව හුඟාක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ ගෝරි චිත්‍රපටය ඔස්සේ. ඒක මම හරි ගෞරවයෙන් සිහිපත් කරනවා. නිලංජනා, රන් සයුර, ඊතලය වගේ චිත්‍රපටවල මම රඟපාලා තිබුණත් ගෝරි චිත්‍රපටයෙන් තමයි හුඟාක් අය මාව හඳුනා ගත්තේ. හැබැයි ඔබ කියන විදිහට මෙතෙක් ඒ ආ ගමනේ විලන් කියන්නේ වෙනස්ම හැරවුම් ලක්ෂයක්. මා තුළ තියෙන රංගන කෞශල්‍යයන් එක් එක් විදිහට මුදාහරින්න මට ඉඩ හදලා දුන්න චිත්‍රපටයක්. විලන් බලලම ඒක ප්‍රේක්ෂකයන්ට තීරණය කරන්න ඉඩ දෙමු.

Case No: 447 සහ විලන් අතර වෙනස කොහොමද ආර්යන් දකින්නෙ?

ම්... මෙහෙමයි.. ඒක මම මෙහෙම කියන්නම්. විලන් කියන්නෙ හින්දි චිත්‍රපටයක් වගේ.. Case No: 447 කියන්නේ තෙලිඟු චිත්‍රපටයක් වගේ. මම කියන්න අදහස් කළේ හින්දි චිත්‍රපටයක් හා තෙලිඟු චිත්‍රපටයක් අතර වෙනස තමයි ඒ දෙක අතර තියෙන්නේ.

ආර්යන්.. මම හිතනවා සිනමා රංගධරයෙක් කිසි විටෙක එකම සීමාවක, එකම ආකෘතියක, එකම හැඩතල වර්ණ සහිත චරිතවල ආකෘතිගත නොවිය යුතුයි කියලා. ඔහු විශ්වීය රංගධරයෙක් වෙන්නට නම් රාමුගත කළ භූමිකාවන් අතික්‍රමණය කිරීම තුළ තමයි ඔහුගේ රංගන කෞශල්‍යයන්වල, භාව ප්‍රකාශනයන්වල විවිධ හැඩතල, වර්ණ මතුකර ගන්න පුළුවන් වෙන්නෙ. ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල පදිංචිකාරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ?

ඇත්තටම ඔව්. රංගධරයෙක් කියන්නේ සීමාසහිත රාමුගත පරාසයයක හැසිරෙන කෙනෙක් විය යුතු නැහැ.. මුදාහල හැකි සියලු භාවයන්හි, මනුෂ්‍යත්වය ගැන, ප්‍රේමය, ආදරය, ජීවිතය ඇතුළු සමාජ කාරණා මේ සියල්ල ඇසුරෙන් ගොඩනගන විවිධ චරිතවල ඔහු ගමන් කළ යුතුයි. ජීවත් විය යුතුයි. හුස්ම ගත යුතුයි. රංගධරයෙක්ට අනන්‍ය සුවිශේෂී රංගන කුසලතා තිබිය හැකියි. එහෙත් රංගධරයෙක්ගේ පරාසය පුළුල් වෙන්න, පුළුල් වෙන්න ඔහුගේ රංගන භූමිකාවන් ගැඹුරුයි.

කැළුම් ආර්යන් කියන්නෙ සමස්ත එකතුවක්. 'Total package' එකක්. ඒ සමස්ත එකතුව තුළ මම දකින්නෙ ඔබ නිරූපණ ශිල්පියෙක්, ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, සිනමා නළුවෙක්, චිත්‍රපට තිර රචකයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ගී පද රචකයෙක්. ඒ සියල්ල තුළ ඔබ සාර්ථකත්වය සටහන් කළා. මම දකින්නෙ ඔබ අභියෝගයක් මිස ඔබට කිසිවෙක් අභියෝගයක් නොවෙයි කියන යථාර්ථයයි. දෙන්න උත්තරයක් ඔබටත් ඇති?

නිරූපණ ශිල්පියෙක් විදිහට මම ගොඩනගා ගත්ත තැන, නර්තන ශිල්පියෙක් විදිහට මගේ පරාසය, සිනමාවේදී සටන් ජවනිකා නිරූපණය තුළ සහ සිනමා රංගනය තුළ මෙන්ම ඔබ ඔය කියපු බොහෝ දේ තුළ මට මගේ ගැන හරි තක්සේරුවක් තියෙනවා. එය මට විශාල ආත්ම තෘප්තියක්. මට යන්න පාරක් නැත්නම් මම පාර කපාගෙන හරි මට යන්න ඕනෑ ගමන මම යනවා. අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඉදිරියේදී මම සිනමාවට එකතු වෙයි.

දෙබස් කියන, කැමරාව ඉදිරියේ රඟපාන නළුවන් නිළියන් ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා. නැත්තේ ඒ ඒ චරිතවලට ආත්මගත වෙලා ඒ ඒ චරිත එක්ක ගැඹුරින් හුස්ම ගන්න නළුවන් නිළියන්. සිනමා නළුවෙක් ලෙස ඔබ දක්වන ප්‍රතිභාවෙහි ආභාෂයේ මුල් තියෙන්නෙ කොතනද ඇහුවොත් මොකක්ද දෙන උත්තරය?

මගේ තාත්තට සිනමා ශාලා තිබුණා. මම හැදුණෙම ඒවා ඇතුළේ. නළු සිහිනය පුංචි කාලේ ඉඳලම හිතේ තිබුණු හීනයක්. ඒ චිත්‍රපට ශාලා ඇතුළේ මම බැලුවේ සිංහල චිත්‍රපට. මම සිංහල නළුවෙක්ගෙන් යම් ආභාෂයක් ගත්තා නම් ඒ ටෙඩී විද්‍යාලංකාර කියන නළුවගේ සටන් දර්ශනවලින් විතරයි. සිනමාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මම හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, නොලිවුඩ් රංගධරයන්ගේ රංගන විලාසයන් ගැන හදාරන්න තමයි යොමු වුණේ. 

නර්තන ශිල්පියෙක් විදිහට වේදිකාවට ආවම ඔබ නිරායාසයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම ඔබේ ආකර්ෂණයට නතුකර ගන්නවා. කොහොමද එච්චර ලස්සනට නටන්නේ?

මම පුංචි කාලේ ඉඳන් මාර්ෂල් ආර්ට් කළා. ඒ සමබර බව, රිද්මය, සැහැල්ලුව තමයි නර්තනයේදි ඉස්මතු වෙන්නේ. මම පුහුණු වෙවී නටන නර්තන ශිල්පියෙක් නෙවෙයි. මුලින් 'step' බලලා ඒවා එකින් එක පිළිවෙළට මතකයේ තියාගෙන වේදිකාව මතදි මම කරන්නේ ඒ මතකය ඔස්සේ මගේ සිරුර මෙහෙයවන එක. නර්තනයේදි එය තමයි මගේ අනන්‍යතාවය. හිරු වේදිකාව මත මම නර්තනයේ යෙදෙද්දි රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා මට කිව්වා සිනමාවට අවශ්‍යම සිනමාරූපී පෞරුෂයක් ඔබට තියෙනවා කියලා. හිරු වේදිකාවෙන් මට ඉවත් වෙන්නට සිදුවූ දින ඔහු හුඟක් කනගාටු වුණා. ලාංකික සිනමාව බොලිවුඩ් මට්ටම ගෙනියන්න පුළුවන් රංගධරයෙක් කියන ඇගයීම මම එදා ලැබුවා. එවැනි ඇගයීම් මම හුඟාක් ලැබුවා. ඒ සියල්ල මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. 

ලංකාවේ සිනමා කර්මාන්තයක් නෑ. සිනමාව ගැන ශාස්ත්‍රීයව හදාරන්න හරියට තැනක් නැහැ. කලාවේදීන්, සිනමාවේදීන් ඉන්නෙ අතළොස්සයි. අධිපතිවාදී මානසිකත්වයන්ගෙන් සිනමාව නිත්‍ය අයිතියක් කියලා හිතන පිරිසක් ඉන්නවානම්, ඒ පිරිසට පුළුවන් නම් අද දවස සැබෑ දක්ෂයන්ට දෙන්න, හෙට දවසේ සුබවාදී වෙනසක් දකින්න පුළුවන්. සිනමාවට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම වැඩවසම්වාදී ගෝත්‍රික චින්තනය ගැලපෙන්නෙ නෑ. ඒ මම දකින විදිහ. ඔබ දකින විදිහ?

ඔව්.. ලංකාවේ සිනමාව දියුණු කර්මාන්තයක් විදිහට තාම ස්ථාපිත වෙලා නෑ. අපි සිනමාව කියලා කතා කරමු ඒ හින්දා. ඒත් සිනමාව දියුණු කර්මාන්තයක් විදිහට ගොඩනගන්න පුළුවන් දක්ෂයන් ඕන තරම් ඉන්නවා. අද මට ඕන තරම් වැඩ තියෙනවා. හැබැයි මේ තැන මම ගොඩනගා ගත්තෙ හුඟාක් මහන්සියෙන්. ලොරියේ ක්ලීනර් ඩ්‍රයිවර් ඩ්‍රයිවින් කරනවා බලාගෙන ඉඳලා ඩ්‍රයිවර් වෙනවා වගේ සිනමාකරුවන් වෙච්ච අය තමයි ලංකාවේ හුඟාක් ඉන්නෙ. සිනමාව ඉගෙන ගන්න හරි තැනක් නෑ. සිනමාවේදීන්, කලාවේදීන් ඇත්තටම අඩුයි.

නිරූපණ ශිල්පියෙක් විදිහට යන්න තිබුණු දුර ගමන අතරමගදි අත්හැරියද?

අත්හැරලා නෑ. මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අන්තිමට නිරූපණ වේදිකාවට නැග්ග වෙලාවේ ආව 'චියර්ස්' එක තාම මතකයි. ඒත් සිනමාවට තියෙන වැඩි නැඹුරුව එක්ක යම් දුරකට එය අතහැරුණු බවක් දැනෙනවා. හැබැයි අත්හැරලම නෑ. 

ගෝරි කොපියක් කියලා දොස් කියන අයටත් උත්තරයක් දෙමුද?

ඔව්.. කොපියක් තමයි. කොපි කරලා හදන චිත්‍රපට ලංකාවේ එදත් තිබුණා, අදත් තියෙනවා. වැදගත් වෙන්නේ කොපියක්ද නැද්ද කියන එක නෙවෙයි. කරන වැෙඩ් හරියට කරනවද නැද්ද කියන එක. අනිත් එක බොලිවුඩ් හොලිවුඩ් ආදී සිනමාවන් කියන්නේ දියුණු කලා කර්මාන්තයක්. ඒ අය චිත්‍රපටයකට වියදම් කරන මුදලින් දශමයක්වත් අපිට වියදම් කරන්න බෑ. ඔය කරන විවේචන මේ යථාර්ථය දැනගෙන කරනවා නම් සාධාරණයි. 

ආර්යන්.. ඔබ ලංකාවේ ගුණාත්මක සහ සමබර සිනමා විචාර කලාවක් තිබෙන බව දකිනවද?

ඉතාමත් අඩුයි. ලංකාවේ හුඟාක් ඉන්නේ චිත්‍රපටයක් රූපවාහියෙන් හෝ සමාජ මාධ්‍යයකින් බලලා ඒ ගැන චිත්‍රපටය පෙන්වලත් අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ පුළුවන් තරම් වැරදි හොය හොයා ද්වේශ සහගතව පුදුම ගැම්මක් ගන්න විචාරකයන් ඉන්නවා. හැබැයි සල්ලි දීලා චිත්‍රපටයක් බලලා ප්‍රේක්ෂකයන් ඒ චිත්‍රපටයට බැණ බැණ ගියත් මම ඒකට ගරු කරනවා. ඒ අය තමයි නියම සිනමා ලෝලීන්. සිනමාව ගැන කැක්කුමක් තියෙන නිසානේ එහෙම ඇවිත් සල්ලි දීලා චිත්‍රපට බලන්නේ. ඒ අය බැන්නත් අපි ඒකට ගරු කරන්න ඕනෑ.

දේශපාලන තුරුම්පුවලට විකිණෙන, වරදාන වරප්‍රසාදවලට දේශපාලනඥයන්ට කඩේ යන, එතනින් නවතින්නේ නැතුව පාර්ලිමේන්තුවේ අසුන්වලටත් කෙළ හලන කලාකරුවන්ද ඉන්න රටක් මේක. ඒ ගැන මොකක්ද ඔබේ මතවාදය හෝ විවේචනය?

කලාවේදීන්, සිනමාවේදීන් කියන්නේ රටක ගමන් මග ප්‍රගතිශීලී ලෙස වෙනස් කරන්න තම නිර්මාණ ඔස්සේ තම දායකත්වය සැපයිය යුතු සහ සැපයිය හැකි පිරිසක්. ඒත් ලංකාවේ එවැනි වාතාවරණයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. කලාවේ නියැලෙන සියල්ලන් එසේ නොවුණත් ඔබ කියූ විදිහට දේශපාලනඥයන්ට කඩේ යන, විකිණෙන අය ඕන තරම් ඉන්නවා. ආත්ම ගරුත්වය සින්න කරගෙන වරදාන වරප්‍රසාදවලට කලාව වගේ අභිමානවත් දෙයක් පාවාදෙන එකට මම එකඟ නෑ. කවුරු කළත් වැරුද්ද වැරුද්දමයි.

''සාරදා'' ඔබ ලියූ ගීතය. ඔබ ගැයූ ගීතය. සුලාලිත සුභාවිත සුභාෂිත පද මාලා තැනෙන තැන්වල විතරක් නෙවෙයි, විඳින්න නැවත නැවත විඳින්න සිත්වෙන ගී පද ලියවෙන්නේ කියන එකට මෑත කාලයේ දෙන්න පුළුවන් ලස්සනම උදාහරණයක් තමයි සාරදා. සරලව ලියැවුණු ආදරයේ අව්‍යාජ ප්‍රකාශනයක් ලෙසයි මම මේ ගීතය දකින්නෙ?

ඒක විනාඩි දහයෙන් ලියපු සින්දුවක්. තෙලිඟු ගීතයක් අහලා උදේ ඇඳේ ඉඳන් මේසය උඩ තිබිච්ච කොළයක් අරගෙන ලිව්වේ. සංගීතය කළේ ලස්සන ජයසේකර. එදාම අපි වීඩියෝවකුත් කළා. මෑතකදි ඒ ගීතය ආයෙත් මගේ අවධානයට ආවා. ළඟදීම අලුත් මියුසික් වීඩියෝ එකක් ඒ සින්දුවට කරන්න අදහසක් තියෙනවා. ඇත්තටම මේක හුඟාක් ප්‍රතිචාර ලැබුණු ගීතයක් කියන එක මට දැනෙනවා. 

සාරදා විතරද කියපු සින්දුවක් තියෙන්නේ?

Case No: 447 චිත්‍රපටයේත් මම එක ගීතයක් ගයනවා. තව සින්දු කියයි අනාගතයෙදි.

දර්ශන තලය තුළ ඔබ කරපු විශිෂ්ට කැප කිරීම්වලට අපි දැකපු හොඳම උදාහරණය මම හිතන්නේ ගෝරි චිත්‍රපටය?

ඇත්තටම ඒ සටන් ජවනිකාවලදි මම ගුටි කෑවා. කකුල්වලට හානි වුණා. ඒක දරාගෙන ආයෙ ආයෙත් රඟපෑවා. වේදනාව දැනෙන්නෙ නැති තරමට සිනමාවට, මම කරන වැඩේට ආසා කරන කෙනෙක් මම. චිත්‍රපට තිර රචනා මේ වෙද්දි මම හයක් ලිව්වා. විලන් චිත්‍රපටයේ තිර රචනයත් මගේ. චිත්‍රපට තිර රචනයක් ලියන්න ඉඳගත්තම කන්න බොන්න ඕනෙ කියලවත් හිතෙන්නෙ නෑ. ගෝරි කරද්දි ටියුබ් ලයිට් පාරවල් පිට හරහා ගියා. හොඳ හොඳ පොලු පාරවල් කකුල් දෙකට වැදුණා. විලන් කරද්දි උඩ ඉඳලා වැටිලා මාසයක් විතර ඉස්පිරිතාලෙ හිටියා. පරිස්සම ගැන හිතනවා. ඒත් සිනමාවට තියෙන ආදරය ළඟ වෙලාවකට ඒ හැඟීම දෙවැනි වෙනවා. 

රිදී තිරයට විතරද ආදරේ? පුංචි තිරයට එන්න අදහසක් නැද්ද?

මට හුඟාක් ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ආවා. මම කාරුණිකව ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මම ආසා සිනමාවට. එක රුයින් ජනප්‍රිය වෙන්න ඕනෑ, පාරේ යද්දි වටකර ගන්න නළුවෙක් වෙන්න ඕනෙ කියන හීන කවදාවත් මට තිබුණේ නෑ. ඉවසීමෙන්, හෙමින් ස්ථාවර ගමනක් සිනමාව තුළ යන්නයි මට ඕනෑ. 

ජාත්‍යන්තර සිනමාවට එකතුවෙන හීනය දකින හීන අතර තවත් එක හීනයක්ද?

ඇත්තටම ඒක හීනයක්. මට හිතෙනවා මම ඉපදිලා තියෙන්නම නළුවෙක් වෙන්න කියලා. සිනමාවට තරම් මම හිතන්නේ කිසිම දේකට මම ආදරේ නෑ. මගේ ආත්ම ගෞරවයට හානි නොවන ඕනෑම කැපකිරීමක් සිනමාව වෙනුවෙන් මට කරන්න පුළුවන්. ඒ නිසා පුංචි හරි ඉඩක් ලැබුණොත් ජාත්‍යන්තර සිනමාවට එකතු වෙන්න, මම ඒක මඟහරින්නේ නෑ. 

ආර්යන්.. මගේ අන්තිම ප්‍රශ්නය. ඇත්ත ජීවිතයේදිත් සිනමාවේදිත් ඇයි ඔබ හරිම අඩුවෙන් හිනා වෙන්නේ. සැර පාට, නිශ්ශබ්ද භාවමය ප්‍රකාශනය.. කැළුම් ආර්යන්ගේ අනන්‍යතාවයන් අතර එයත් එක් අනන්‍යතාවයක්ද?

මම හිතන්නේ පිරිමියෙක් එහෙම හැම වෙලේම සිනාසිය යුතු නෑ. පිරිමියෙක්ගේ පෞරුෂය තියෙන්නේ සිනාව තුළ නෙවෙයි. මුව පුරා සිනාසෙන සාම්ප්‍රදායික මල් බබා නළු සංකල්පයට මම කොහොමත් කැමති නැහැ. ඔබ කියූ විදිහට අඩුවෙන් සිනාසීම මගේ එක අනන්‍යතාවක් වෙන්න ඇති. මම හිතන්නේ ඒක නිරූපණ ක්ෂේත්‍රයේ නියැලීම තුළින් මට ආව හුරුවක්. කියන්න තියෙන ඕනෙ දෙයක් ඕන කෙනෙක්ට මම කෙළින්ම කියනවා. එහෙම කොන්දක් මට එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙයි. සැර විය යුතු තැන සැර වුණත් මම හෘද සාක්ෂියක් තියෙන ආදරණීය මනුස්සයෙක්.

සංජීවිකා / සේයාරූ I සුමුදු හේවාපතිරණ