මම ඇත්තටම ගොඩක් කාර්ය බහුල කෙනෙක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ නිතරම ‘‘අම්මා’’ චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වන ප්‍රවීණ රංගන ශිල්පිනියක් සමගින් මෙවර සඳැල්ලෙන් කතා බහක් කරන්න හිතුවා. ඇය නමින් සුදර්ශි ගැලනිගම.

මේ දිනවල කරන රංගන කටයුතු කොහොම ද?

මම රංගනයෙන් සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ 4ක් විකාශය වෙනවා. ඒ නිර්මාණ සියල්ලෙහිම ‘‘අම්මා’’ චරිතය තමයි කරන්නේ. එකම චරිතය වුණත් අම්මා කියන භූමිකාව ඇතුළෙ විවිධාකාර සමාජ නිරූපණයන් කරන්න ලැබිලා තියෙනවා. ඒ අතර ආදරණීය අම්මා, සැර පරුෂ අම්මා, කලු, සුදු දෙකෙන්ම රංගනයේ යෙදෙන්න ලැබිලා තියෙනවා.

ඉතින් ඒ අම්මලා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරමුද?

මේ දිනවල මම සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ තමයි ‘‘ජානු, ඉස්කෝලේ, සැලෙන නුවන් සහ Key’’ මේ නිර්මාණ ගැන කතා කළොත් මුලින්ම Key නිර්මාණය තුළ මගෙ චරිතයෙ ඒ අම්මා විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙමින් තම දරුවා වෙනුවෙන් දුක් විඳින අම්මා කෙනෙක්. ඇයගේ පියා වලව්වක ආරච්චි කෙනෙක්. ඉතින් මේ අම්මා තාත්තාට ඉහළින් යන්නෙ නැති බයෙන් වගේ ජීවත් වන චරිතයක්. 

එතකොට ‘‘සැලෙන නුවන්’’ නිර්මාණයේ අම්මා ටිකක් කට සැර චරිතයක්. ‘‘ඉස්කෝලේ’’ හි අම්මා හරි නිහඬ තැන්පත් කෙනෙක්. ඒ තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුණයහපත් මවක්. තම ස්වාමියාට ආදරය කරන, දරුවො මත්තෙ ජීවත් වන පවුල රැකබලා ගෙන ඉන්නා ආදරණීයව ජීවත් වෙනවා ඇය. 

ඒ සියල්ල එක්ක බලද්දී ‘‘ජානු’’ හි චරිතය ඉහත සඳහන් කළ චරිත තුනටම වඩා වෙනස්. ඇය රේඛා ඇත්තටම ආදරණීයම චරිතයක්. නමුත් ඇයට යම් තැනක දී ජීවිතේ අසාධාරණයකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඒ ඇය දිවි හිමියෙන්ම ආදරය කරපු රැකගන්න උත්සාහ කරපු ආදරය ඇයට අහිමි වෙලා තියෙනවා. ඒ අහිමි වෙන්නෙ කුසට දරුවෙක් ලැබීමත් එක්ක. ඉතින් රේඛා ඇයගේ දරුවා හොඳින් රැකබලා ගන්නවා. වලව්වක බැල මෙහෙවරකම්වලට යන තත්ත්වයට පත්වෙනවා. ඉතින් ඇය ඒ වින්ද දුක් කම්කටොලු තම දරුවාට විඳින්න ඉඩ දෙන්නෙ නැහැ. ඇය හිතන්නෙ තමන්ගේ දියණිය රජ සම්පත්වලින් පිරුණු කුමාරිකාවක් කරන්න. ඒ නිසා බලෙන්ම තම දියණියගේ අකමැත්තෙන්ම සල්ලිකාරයෙක් වුණු පොල් මුදලාලි කෙනෙකුට විවාහ කරලා දෙනවා. එතැන් පටන් විවිධ හැලහැප්පීම් ඉදිරියේ ගලාගෙන යන චරිත රංගනයක් තුළ තමයි මගේ චරිතය දිවෙන්නේ.

රේඛා ඉතින් මේ දිනවල හොඳට බැනුම් අහනවා නේද?

අම්මෝ ඔව්. තරුණ ලස්සන දුවෙකුට ඇයි මෙහෙම අපරාධයක් කළේ කියලා අහනවා. සල්ලි මත්තෙ දුවනවා එහෙම කියලා කුණු බැනුම් තියෙන්නෙ මේ ටිකේ නම්. මම ඉතින් ඒ බැනුම් හරිම සතුටින් භාර ගන්නෙ. මොකද ඒ චරිතෙට බැන්නෙ නැත්නම් තමයි පුදුම. ඉතින් මම චරිතයට සාධාරණයක් කරන නිසානෙ බැනුම් අහන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රතිචාර හරිම ආදරයෙන් භාරගන්නවා. මොකද ඒ බනින්නෙ රේඛාටනෙ. සුදර්ශි ගැලනිගමට නෙමෙයිනෙ.

ඒ නිර්මාණය තුළ ඔබෙන් පිටවන දෙබස් සමහර තැන්වල ටිකක් සැර පරුෂයි නේද?

ඔව් ඇත්තටම සමහර රූගත කිරීම්වලදී මට සැර පරුෂ විදියට බනින්න එහෙම තියෙනවා. ඒ තුළ ඇයගේ ස්වාමි පුරුෂයාට කාලකන්නියා, මූසලයා වගේ වචන භාවිත කරන්නත් වුණු අවස්ථා තිබුණා. ඇත්තටම මේ ටෙලි නිර්මාණ රූගත කිරීම් සිදු කරන පළමු දවසෙම ‘‘ජානු’’ හි අධ්‍යක්ෂවරයා සමීර හසුන් කියපු දෙයක් තමයි රූපරාමුවලට අවශ්‍ය විදියට කේන්තිය පිට කරද්දී ඒ දේවල් අවශ්‍යයි කියලා. මොකද ඒ තුළ තාත්වික බව තියෙන්නෙ එතකොටනෙ. ඉතින් සමහර දෙබස් අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ තුළ රේඛා චරිතය ‘‘සහස්’’ට ‘‘බල්ලා’’ කියලා එහෙම කතා කරන අවස්ථා තියෙනවා. 
ඇත්තටම ඉතින් තිරෙන් එහා බැන ගත්තට තිරෙන් මෙහා අපි හරිම ආදරණීය කණ්ඩායමක්. ඒ ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ. ඒ වගේම මේ තුළ වැඩිපුර ඉන්නෙ නවක ශිල්පීන්. ඔවුන් ඇත්තටම හරිම දක්ෂයි. ඊට හොඳම උදාහරණය තමයි ‘‘ජානු’’ කියන්නෙ ජානුට රංගනයෙන් යෙදෙන රංගන ශිල්පිනිය තමයි කවිහාරි. මේ ඇයගේ පළමු රංගන අත්දැකීම වුණත් රංගනයට ආධුනික වුණත් ඉතා හොඳින් රඟපානවා. ඒ නිසා ඔවුන් එක්ක අපිටත් අවබෝධයෙන් හොඳින් සහයෝගයෙන් වැඩ කරගෙන යන්න හැකි වෙලා තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති මේ වෙද්දී ‘‘ජානු’’ නිර්මාණයට ඉහළ ප්‍රතිචාර ලැබෙන්නෙත්.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම සුදර්ශි තුළ තිබුණු හීනයක් ද?

මම ඇත්තටම රංගනයට එන්න අදහසක් තිබුණ කෙනෙක් නෙමෙයි. නර්ථන ශිල්පිනියක්, නර්ථන ගුරුවරියක් වෙන්න තමයි අදහස තිබුණේ. නමුත් මම පාසල් යන කාලේ 1980 ගණන්වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න කිට්ටු කරලා තියෙද්දී ආරාධනයක් ලැබුණා සුසිල් මෙන්ඩිස් මහත්තයාගේ ‘‘රණ මොණරු’’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ තුළ ප්‍රධාන චරිතයක් තමයි මම දායක වුණේ. ඒ අවස්ථාව ලැබීමත් එක්ක මට වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ නිසාම නර්ථන ශිල්පිනියක් වීමේ සිහිනය මග හැරෙන්න පටන් ගත්තා. නමුත් මම රාජ්‍ය නර්ථන කණ්ඩායමේ වර්ෂයක පමණ කාලයක් B කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු කළා. මම පාසල් ගියේ දෙහිවල ප්‍රිස්බටීරියන් බාලිකා පාසලට. ඒ තුළත් මම වේදිකාවට සම්බන්ධ වෙලා හිටියා. එහිදී නර්ථනය තමයි වැඩිපුර කළේ. නමුත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමත් එක්ක නර්ථන සිහිනය බොඳ වුණා. නමුත් වේදිකා නාට්‍ය එක්ක දිගටම එකතු වෙලා හිටියා. එදා මෙදා තුර අද දක්වා වේදිකා නාට්‍ය 100කට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා ඇති. ඒ දායකත්වය සමග 1991 වසරේ තමයි ටෙලි නිර්මාණ රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ තුළ මගේ පළමු නිර්මාණ දායකත්වය තමයි බර්මින් ලයිලි මහත්මයාගේ ‘‘මල් කැකුළක්’’ නිර්මාණය. පුංචි තිරය තුළ 1991 ආරම්භ කරපු ගමන තමයි පියවරෙන් පියවර අද දක්වා මේ තැනට ආවේ. 

සුදර්ශි ගැලනිගමට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න හැකි වුණු නිර්මාණය ගැන කතා කළොත් ?

1994 වසරේ සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂවරයාගේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ‘‘ජීවිත මීවිත’’ ටෙලි නිර්මාණයෙන්. එහි මම උප ප්‍රධාන චරිතයක් කළේ. යශෝධා විමලධර්මගේ මිතුරිය විදියට තමයි රංගනයේ යෙදුණේ. විශේෂම දෙයක් තමයි ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටපු හැමෝම ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන්. ශ්‍රියානි අමරසේන, මානෙල් වානගුරු, රත්නාවලී කැකුණවෙල, පාලිත සිල්වා වැනි දැවැන්ත චරිත තමයි ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියේ. ඒ නිර්මාණය තුළ මමත් හරිම ආසාවෙන් වැඩ කළේ. වැඩි වශයෙන් මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ ඒ නිර්මාණය හරහා. 

අද රංගන ශිල්පිනියක් වීම ගැන සතුටින් ද?

ඔව්. ඇත්තටම ගොඩක් සතුටින්. මම ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ආවේ. වේදිකාවෙන් ආපු බොහෝ දෙනෙක් මේ කතාව කියනවා. ඇත්තම කියනවා නම් මට සමහර වෙලාවට බස් එකේ යන්නවත් සල්ලි නොතිබුණු අවස්ථා තිබුණා. මේ හැම දේටම ලොකුම ශක්තියක් වෙලා මගේ ළඟින්ම හිටියෙ අම්මා. ඇය විශාල කැපකිරීමක් කළා මාව කලා ක්ෂේත්‍රයේ ඉදිරියට ගේන්න. ඉතින් ඒ කැපකිරීම්වල ප්‍රතිඵලය අම්මා ඇයගේ දෑසින්ම දැක්කා. මම කලා ක්ෂේත්‍රය තුළ සම්මාන, සහතික පත්‍ර ලබා ගනිද්දී මගේ රංගනයන් වෙනුවෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබද්දී, කොහේ ගියත් ප්‍රේක්ෂකයො මාව දැන හඳුනාගෙන මගේ ළඟට ඇවිල්ලා කතා බහ කරද්දි, මට ආශිර්වාද කරද්දී ඒ හැමදේම තුළින් මටත් වඩා සතුටු වුණේ මගේ අම්මා. ඇය ඒ හැම දේම හදවතින්ම වින්ඳා. 

මම වපුරපු දේ තුළ තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඉතින් අද නම් මගේ අම්මා අපි ළඟ නැහැ. අපෙන් වෙන්වෙලා ගිහින් මාස 6ක් වගේ වෙනවා. ඇත්තටම මගේ ජීවිතේ මාරම විදියට කඩා වැටුණු තැනක් තමයි ඇයගේ වෙන්වීම. ඇයව අමතක නොවන මොහොතක් තවමත් නැති තරම්. ඉතින් මගේ මේ ගමනට ලොකුම ආශිර්වාදය ශක්තිය වුණේ ඇය.

අම්මාගෙන් පසුව ඔබේ ලොකුම ශක්තිය ගැන කිව්වොත්?

අම්මාගේ ශක්තිය වගේම මට ලොකුම ශක්තියක් වුණේ මගේ ස්වාමිපුරුෂයා සහ එකම පුතා. පුතාට දැන් අවුරුදු 30ක් වෙනවා. මේ වෙද්දි විදෙස්ගතවෙලා ඉන්නෙ ඔහු. මගේ ස්වාමියා පොලිස් නිලධාරියෙක්. දැන් ඉවත්වෙලා ඉන්නෙ. ඇත්තටම ඒ දෙන්නාගෙ සහයෝගයත් උපරිම ලැබුණා මට මේ ගමන සාර්ථකව යන්න. පුතා පුංචි කාලේ සමහර රූගත කිරීම්වලට මට නිවසින් පිට සති දෙක තුන ඉන්න වුණු අවස්ථා තිබුණා. නමුත් පුතාගෙන්වත්, ස්වාමිපුරුෂයාගෙන්වත් ඒ දේවල්වලට කිසිදු ප්‍රශ්නයක් වුණේ නැහැ. තේරුම් අරගෙන හිටියෙ මගේ වෘත්තිය. නමුත් මම ඒ දෙන්නට කිසිදු අඩුපාඩුවක් කරලා නැහැ. හැමදේම හොයලා බලලා උපරිමයෙන්ම ඒ දෙන්නා වෙනුවෙන් කළා. අත්තටම  විවාහය කියන්නෙ බැඳීමක්. ඒ බැඳීම තුළ අපි හදාගත්තු යුතුකම්, වගකීම් තියෙනවා. ඒවා පැහැර හැරලා නැහැ කවදාවත්ම. වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය සමබරව කරගෙන ගියා. පුතාගෙනුත් සැමියාගෙනුත් උපරිම සහයෝගයක් ලැබුණා.

ඉදිරි ජීවිතේත් කලාව වෙනුවෙන්මද කැප කරන්න කැමති ?

මම ඇත්තටම ගොඩක් කාර්ය බහුල කෙනෙක් නෙමෙයි. නිදහසට ගොඩක්ම කැමති, ඒ නිසා වැඩ ගොඩක් කොහොමත් බදාගෙන කරන්න කැමති නැහැ. ඉතින් දැන් නම් කලාව වෙනුවෙන් හිටියා ඇති කියලා හිතෙනවා. මොකද මම මේ තුළ රංගනය, හඬ කැවීම ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක නියැලිලා හිටියා. මේ තුළින් ගොඩක් දේවල් ජීවිතේට ලබා ගත්තා. කලාව කියන්නෙ මගේ වෘත්තිය. ඒ තුළින් මම දරුවාට ඉගැන්නුවා, යාන වාහන ගත්තා, ගෙවල් හැදුවා. ඒ හැමදේම කළේ සාධාරණ විදියට හම්බ කරගත්තු මුදල්වලින්. ඉතින් දැන් හම්බ කරගත්තුවා ඇති. මේ දේවල්වලින් ටිකක් නිදහස් වෙලා ආගමට දහමට නැඹුරු වෙන්න ඕන කියලා හිතුණා. පුංචි කාලෙ ඉඳන් ඒ දේට නැඹුරු වෙන්න ඕනෑ. නමුත් අපිට ජීවිතේ සමහර වැඩකටයුතුත් එක්ක ඒ දේට  වැඩි වශයෙන් නැඹුරු වෙන්න හැකි වෙන්නෙ නැහැ. ඒ නිසා දැන් මනස නිදහස් කරගන්න කාලෙ හොඳයි කියලා හිතෙනවා. දැන් වැඩ කළා ඇති මීටත් එහා තව ඕන නැහැ කියලා තමයි හිතට දැනෙන්නෙ.

ධනු විජේරත්න