මම ආසාවෙන් හිටියේ දුවෙක්ට. ගයාන්ට පුතාලා දෙන්නෙක් ඉන්න නිසා ගයානුත් ආසාවෙන් හිටියේ දුවෙක්ට තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චතුරිකා චූටි දෝනිගේ නම කියන්න?

දෝනිගේ නම ආරාධනා හංසද්ධවනී වික්‍රමතිලක. චූටි දුවට ආරාධනා කියලා නම තැබුවේ ගයාන්. එයාට හංසද්ධවනී කියන නම තැබුවේ පේෂල. හංසද්ධවනී කියන්නෙ සංගීතයේ (හංස රාගය) කියන දෙයටයි. හංස නාදය සම්බන්ධ රාගය සංගීතයේදි වැඩිදුර ඉගැන්වෙනවා. එයම තමයි (හංසද්ධවනී) කියලා කියන්නෙ. ඒ වගේම තමයි චූටි දුවත් වෙලාවකට ගිරිය යටින් කෑගහනවා. එහෙම කෑගහන්න ගිහින් සමහර වෙලාවට මගෙන් බැණුම් පවා අහනවා.

ආරාධනාගේ වයස දැන් කීයද?

දැන් චූටි දූවට වයස අවුරුදු දෙකයි මාස නවයයි.

චූටි දූ දැන් දඟද?

අම්මෝ ඔව්.. හරි දඟයි. එයා දුවෙක් වුණාට හරිම දඟයි. තාම එයාට අවුරුදු දෙකයි මාස නවයක් වුණාට එයා හරි ඉක්මනට පඩිපෙළ නැගලා හරි ඉක්මනට පඩිපෙළ බහිනවා. අපිට හිතාගන්නවත් බැරි වේගයෙන් සමහර වෙලාවට එයා පඩිපෙළ බැහැලත් ඉවරයි. සාලෙදි වතුර බොන්න දීලා කෝප්පය තියලා එන ටිකට දූ පඩිපෙළ නැගලා උඩට ගිහින් කාමරෙන් වාඩිවෙලත් ඉවරයි. එයා එච්චර ඉක්මනට යන්නෙ කොහොමද කියලා වෙලාවකට මට පුදුමයි. දූ හරිම දඟයි. ඒ වගේම එයා හරිම හුරතල්. එයා ගොඩක් එයා වෙතම අපේ අවධානය යොමුකර ගන්නවා. එයාගේ අතක් පයක් චුට්ටක් කොහේ හරි වැදුණොත් අපි එයා ළඟට ගිහිල් අතගාලා ඉඹලා ඉවර වෙනකම් එයාට ඒ ගැන දුකයි. අපි අතගානකම් එයා අපේ පස්සෙන් එනවා. එයා වැටුණත් එකපාරම නැගිටින්නෙ නැහැ. අම්මා අප්පායි කියලා අපි එයා ළඟට එනකම් කෑගහනවා. ඇත්තටම චූටි දූ හරිම හුරතල් දරුවෙක්.

ආසාවෙන් හිටියේ දුවෙක්ටද.. පුතෙක්ටද?

මම ආසාවෙන් හිටියේ දුවෙක්ට. ගයාන්ට පුතාලා දෙන්නෙක් ඉන්න නිසා ගයානුත් ආසාවෙන් හිටියේ දුවෙක්ට තමයි. මාස පහේදි විතර අපි ස්කෑන් කරලා බැලුවා. එතනදි ඩොක්ටර් අපිට දුවෙක් කියලා කිව්වා. ඉතින් ගයාන් ආසාවෙන් හිටපු දේ ඉටු වුණා.

අප්පච්චියි චූටි දෝනියි අතර තියෙන බැඳීම කොහොමද?

ඒ දෙන්නා හරි එකතුයි. චූටි දූ ගෙදරදි වැඩිපුරම ඉන්නෙ මාත් එක්කයි. ගයාන් ගෙදර නැති වෙලාවට දුවව නාවන්න, කවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කිසිම වදයක් නොදී දුව ඒ හැමදේම මට කරන්න උදව් කරනවා. හැබැයි ගයාන් ගෙදර ඉඳිද්දි මට කවන්න බැහැ. මට නාවන්න බැහැ. ඒ හැමදේම ගයාන්ට කරන්න ඕනෙ. සමහර දවස්වලට ෂූටිං කරලා මහන්සි නිසා ගෙදර ඉඳිද්දි ගයාන් පොඩ්ඩක් නිදාගන්නවා. ඒ වෙලාවට දුව ඇඳට පැනලා ''අප්පායි මේක කරන්නකො.. සෙල්ලම් කරන්න එන්නකො'' කියලා වද දෙනවා. ඉතින් ගයාන් නින්ද පැත්තකට දාලා ඇවිත් දුවත් එක්ක සෙල්ලම් කරනවා.

ආරාධනා මුලින්ම කියපු වචනය මොකක්ද?

චූටි දූ මුලින්ම කිව්වේ (අම්මා) කියලයි. ගයාන්ගේ තාත්තට ගයාන් කතා කරන්නෙ (අප්පච්චි) කියලයි. අපි අපේ තාත්තට කතා කරන්නෙ (තාත්තා) කියලයි. ඉතින් දවසක් මම චූටි දුවට ''මේ තාත්තා'' කියලා ගයාන්ව පෙන්නලා (තාත්තා) කියන්න පුරුදු කරද්දි ''තාත්තා නෙවෙයි අප්පච්චි) කියලා ගයාන් (අප්පච්චි) කියන්න පුරුදු කළා. ඉතින් චූටි දූ (අප්පච්චි) කියන වචනයට (අප්පායි) කියලා කියන්න පටන් ගත්තා. චූටි දූ ඉංග්‍රීසි කාටූන් බලන්නත් හරි ආසයි. ඉතින් දවසක් දෝනි මට අම්මා කියන්නෙ නැතිව ''මමී.. මමී..'' කියලා කිව්වා. ඕක ගයාන්ට ඇහිලා ''මොනවද ඔය කියන්නෙ.. මමී කියන්න එපා.. අම්මා කියන්න'' කියලා පොඩ්ඩක් සැර කළා. දෝනි එකපාරටම ''ඕ කේ.. ඩැඩී'' කියලා කිව්වා. ඒ වෙලාවෙ නම් අපි දෙන්නටම හිනා ගියා. දැන් නම් දූ (අප්පච්චි) කියලා කියනවා.

දැන් චූටි දූ ළදරු පාසල් යනවනෙ?

ඔව්.. චූටි දූට අවුරුදු දෙක ලැබුවට පස්සෙ අපි එයාව ළදරු පාසලකට දැම්මා. පහුගිය දවස්වල ඔය ඉන්ධන ප්‍රශ්න වගේම වැස්ස ප්‍රශ්න නිසා යන්න බැරි වුණා. චූටි දූ අවුරුද්දයි මාස හයේදි විතර ඉංග්‍රීසි හෝඩිය කියවන්න පටන් ගත්තා. ඒ නිසා හරි ගුරුවරියකගේ උපදෙස්වලට අනුව මූලික අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා අපි චූටි දුව ළදරු පාසලකට ඇතුළත් කළා.

ගෙදර ආදරයෙන් හිටපු ආරාධනා ළදරු පාසලට යන්න ආසා වුණාද?

මුල් දවස්වල චූටි දූ )ආව් ආව්'' කියලා හරිම ආසාවෙන් පාසල ඇතුළට ගියා. හැබැයි ගෙදරදි අපි එයා කියන දේමයි කරන්නෙ. ළදරු පාසලේදි එයා කියන දේම කරන්නෙ නැහැනෙ. එයා මුලදී ළදරු පාසලේදිත් ගෙදර වගේම ඉන්න පුළුවන් කියලා හිතන්න ඇති. සති දෙකකට විතර පස්සෙ දුව අඬන්න පටන් ගත්තා. හැබැයි ගයාන් එහෙම අඬද්දිත් දාලා ආවා. ටික දවසකින් එයා ඒකට හුරු වුණා. ආයෙත් දිග නිවාඩුවකට පස්සේ මේ වාරේ පටන් ගනිද්දී බිම වැටිලා ''යන්න බැහැ'' කියලා ඇඬුවා. හැබැයි ගයාන් දාලා ආවා. දවස් දෙකක් විතර අඬලා තුන්වැනි දවසේ ඉස්කෝලෙ ගාව කිට්ටු වෙද්දි ඇස්වල කඳුළු පුරවාගෙන ''බායි අප්පායි බායි'' කියලා එයාම හිත හදාගෙන යනවලු. දැන් නම් හොඳට ගිහින් වාහනයෙන් බැහැලා ළදරු පාසල ඇතුළට යනවා. බොහෝ වෙලාවට ගයාන් එක්ක තමයි චූටි දූ ළදරු පාසල් යන්නෙ. කොහොමටත් චූටි දූ අප්පච්චිව තමයි එයාව ළදරු පාසලට ගෙනියන්න ආයෙත් ගෙදර අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නෙ.

ගයාන්, චතුරිකා රූපවාහිනිය ඔස්සේ දකිද්දි චූටි දුවගේ හැසිරීම කොහොමද?

ගයාන්, මම රඟපාන නාට්‍ය රූපවාහිනියෙන් යද්දි චූටි දුව බලනවා. හැබැයි මේ දවස්වල විකාශය වන (කියා දෙන්න ආදරේ තරම්) නාට්‍යයේ ගයාන් ඉන්නෙ චණ්ඩි වැඩ කරන කෙනෙක්ටනෙ. ඒකෙ සංගීතය යද්දිම චූටි දූ ''නෝ.. අප්පායි'' කියලා කියනවා. එයා රණ්ඩු කරන, ගහගන්න ඒවාට කැමති නැහැ. මම රඟපාන (ළං වී) ටෙලිනාට්‍යයත් මේ දවස්වල විකාශනය වෙනවා. ඒ නාට්‍යයත් මම බලන්නෙ චූටි දූ නිදාගත්තට පස්සෙ YouTube එකෙන්. එයා ගහගන්න, රණ්ඩු වෙන ඒවා බලන්න කැමති නැහැ.

චූටි දූ සින්දු කියන්නයි නටන්නයි හරි ආසයිලු නේද?

ඔව්.. එයා නටන්නයි සින්දු කියන්නයි හරි ආසයි. එයාට උස් ස්වරයක් තියෙනවා. එයා වෙලාවකට කෑගහද්දි අපිට අහගෙන ඉන්න බැරි තරම්. අපේ නැන්දලා සමහර වෙලාවට ''මේ ළමයා හරියට ඝණ්ඨාරයක් වගේනෙ කෑගහන්නෙ'' කියලත් කියනවා. එයාට තේරෙන වයස එද්දි සංගීතය වගේම නර්තනය ඉගෙන ගන්න යොමු කරන්න අපි හිතාගෙන ඉන්නෙ. ඒ එයාගේ කැමැත්ත නිසාමයි. ලංකාවේ ප්‍රධාන පෙළේ ගුරුවරු පවා දුවට ඔවුන් යටතේ පුහුණුවීම් කරන්න කැමැත්ත දීලයි තියෙන්නෙ. ඒ නිසා නර්තනය සහ ගායනය ඉගෙනීම දුවගේ කැමැත්ත අනුව සිදුවේවි. චූටි දූත් එක්ක අද මේ ගෙවන ජීවිතය හරි ලස්සනයි.

දිශානි