මම ආයෙත් රඟපාන්න ආවා - දැන් මම සුවය ලබමින් සිටිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිරිරාජ් කෞෂල්‍ය අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ මතුද නොව ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම තිරකතා පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනා ගත් අයෙකි.  වේදිකාව පුංචි තිරය රිදී තිරය එකලෙස ජයගත් කිහිප දෙනා අතරින් ඉදිරියෙන් සිටින කෙනෙක් තමයි ගිරිරාජ් කෞෂල්‍ය.  හිත හොඳ මිනිසකු ලෙස කා අතරත් ජනප්‍රිය හෙතෙම පසුගිය දවස්වල පසු වූයේ රෝගාතුරවය. දැන් එම රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින ඔහු යළිත් අපගේ සිත් සතන් තුළට සතුට විනෝදය ගෙන දීමට රංග කාර්යයෙන් දායක වීමට සූදානම්ව සිටිනවා. 
 
කොහොමද අලුත් තොරතුරු?
 
අලුත් තොරතුරු කියන්නේ දැන් මම සුවය ලබමින් සිටිනවා. සමාජාලා මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරි ගියා.ඇත්තටම එහෙම ලොකු අසනීපයක් මට දැන ගන්නට තිබුණෙ නෑ. බෙල්ලේ තද වේදනාවක් නැති කුඩා ගැටිති දෙකක් ඇති වුණා. එය පෙන්වා ප්‍රතිකාර ගන්නට තමයි ගියේ. එහිදී කරපු වෛද්‍ය පර්යේෂණ මත තමයි මට වෙනත් රෝගී තත්ත්වයක් ඇති බවට කරුණු තහවුරු වුණේ. ඇත්තටම මගේ රෝගී තත්ත්වය හඳුනා ගත්තෙ අපේ පවුලේ වෛද්‍යවරයා වූ වාසුදේව මහතා, අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය දේවා නන්ද ජයතිලක, වෛද්‍ය සනත්, අපේක්ෂා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්, හෙද හෙදියන්ට, අනිකුත් මහත්ම මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා මාව මේලෙස සුවපත් කිරීම ගැන. 
 
ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් හරි සෑහැල්ලුවට ගන්න කෙනෙක්... රෝගී තත්ත්වය දැන ගත්තාම මොනවද හිතුණේ?
 
සැහැල්ලුවෙන් ඉන්න මම හුඟක් උත්සාහ කරන කෙනෙක්. තවත් කෙනෙකුගෙ මුහුණෙ සිනාවක් දකින්න මම හරි කැමතියි...නමුත් වෛද්‍ය පර්යේෂණ අනුව මගේ රෝගී තත්ත්වය තහවුරු වුණාම යම්කිසි සසල වීමක් ඇති නොවුණා නම් නොවෙයි. ඒත් ගෙදර කණ්ඩායමට මම බය නැති බව පෙන්නුවා. ගෙදර කණ්ඩායම මට බය නොදැනෙන ලෙස ඉන්න උත්සාහ කළා. අපේ පවුලේ බැඳීම එයට ලොකු සවියක් වුණා. විශේෂයෙන් මගේ බෑනාවරු දෙන්නා හැම වෙලාවෙම මගේ ළගින් හිටියා. ඔවුන් මාව අත් හැරියේ නෑ. 
 
ඔබට සිහිනයක් තිබුණා වයස අවුරුදු පණහ වෙද්දි සීයා කෙනෙක් වෙන්න... ඔව් ඔව්...ඒ සිහිනය සොබෑ වුණා?
 
මේ වෙලාවේ නම් මුණුපුරාල ගෙදර නෑ. ජීවත් වෙන්න බලාපොරොත්තු ඕනෑ...ඒ බලාපොරොත්තු තමයි ජීවිතයට සවියක්, ශක්තිය ක් සතුටක් අරගෙන එන්නෙ. කලාකාරයකුගෙ බලාපොරොත්තු හරි සරලයි...සුන්දරයි කියල තමයි මට හිතෙන්නෙ. 
 
අසනීප වෙන්න කලින් රඟපෑ ටෙලිනාට්‍ය හරි ජනප්‍රියයි නේද? 
 
ඇත්තටම ඒක ගැන හරි සතුටුයි. එහි හැම චරිතයක්ම ප්‍රෙක්ෂකයන්ට සමීපයි. 
 
ඔබට ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබුණ කාලයක් මේ?

ඒක නං කියලා වැඩක් නෑ. අපේ ගෙදර අයත් කියන්නෙ ප්‍රේක්ෂකයො මේ තරම් ආදරෙයි කියල හිතුවෙ නෑ කියලයි. කවුරු හරි පෝස්ට් එකක් සමාජ ජාලාවලට මුදාහැරල තිබුණා. මම අසනීපෙන් කියල. ඒ නිසා විශාල පිරිසක් මට ආශිර්වාද කරන්න එකතු වුණා. ඇත්තටම එහෙම දේවල් කරපු අය පුද්ගලිකව මම හඳුනන්නෙ නැති වුණත් ඒ අය එහෙම කළේ කිසිම ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොවෙයි. මේ තුළ තියෙන ආදරේ එදා මම වේදිකාවෙන් පටන් අරගෙන මේ කලා ගමනේ දිනාගත්ත දේ තමයි ඒ. 
 
මම හැමදාමත් මට පුළුවන් විදියට කාට කාටත් උදව් කරල තියනව. ගිරාඳුරුකෝට්ටේ තමයි මම මුල් කාලෙ රැකියාව කළේ. එහෙ මිනිස්සු අසනීප වුණාම මම කොළඹට ගෙනැල්ල සුව කරල ආපහු යවලා තියෙනව. මම අසනීප වුණාම ඒ ආශීර්වාදය මට ලැබුණ කියල මම විශ්වාස කරනව. සමහරු පෝස්ට් දාල තිබුණ මම රංගනයෙන් ඉවත් වුණා කියල. එහෙම පටු අරමුණු තිබුණු අයත් හිටිය. ඒ ගැන මම කණගාටු වෙන්නෙ නෑ. මම අසනීප වුණ වෙලාවෙ ඉඳල මට විවිධ අයුරින් උදව් කළ දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ට, මගේ සමීප යහළු යෙහළියන්ට විශේෂයෙන් මාව අත්නොහැර මගේ ළඟින් හිටිය මගේ බෑනාවරුන් දෙන්නටත් මම මේ වෙලාවෙ ස්තුති කරනවා. 
 

සුගත් ශාන්ත මොරගහකුඹුර / ඡායාරූප - ශෙහාන් තිලකරත්න