මම අඬලා ඉන්නකොට එයාලා මාව සනසවන්න ටොෆි එහෙමත් දුන්නා
මාස්ටර්ස් එකට දැන් ලැහැස්තිය
එයා ආයෙත් අපි වෙන්කරනවා,
ඔයාට බෑ කවදාවත් ඒක නවත්තන්න
සංසාරේ පුරාවටම මට ඔයාව අයිති වෙන එකක් නෑ සාගර අයියෙ, ඔයාව ඇත්තටම අයිති එරන්දි අක්කට
සමාධිගේ ඒ රංගනය හරිම ආදරණීයයි, සෞම්‍යයි, සුන්දරයි, ඒ වගේම මනසට පපුවට දැනෙන චරිතයක්.
කවුද මේ සමාධි? ඇය අපට හමුවන්නෙ චන්න පෙරේරාගේ යුගාත්‍රා ෆිල්ම් එකේදියි. එලෙසින් සමාධි වූ ඇය ගැන ඔබට ආයේ අමුතුවෙන් මේ වන විට සඳහන් කළ යුතු නැති තරම්. ඇය මාෂි සිරිවර්ධන. පෙනුමින් ඇය බොහොම සුන්දරයි, හැඩකාරයි. හැබෑ ජීවිතයේදීත් මාෂි කියන්නෙ බොහොම සුන්දර, ආදරණීය චරිතයක්. ඉතින් යුගාත්‍රා සමග නැවතත් සිනමා චරිතයකින් හමුවන මොහොතක ලස්සන රුවැති, ලස්සන අදහස් ඇති මාෂි එක්ක අපි ටිකක් කතා කරමු ද?
මාෂි ‘යුගාත්‍රා’ ඔබ රඟපාන කීවැනි ෆිල්ම් එකද?
හතර වැනි එක. පළවැනියටම රඟපෑ ෆිල්ම් එක තවම වැඩ ඉවර වුණේ නැහැ. ඊට පස්සෙ ‘ද නිව්ස් පේපර්’ සහ ‘නිහඬ සෙවනැලි’ ෆිල්ම් එකේ රඟපෑවා. ඊට අමතරව පුබුදු නිර්මාණය කළ ‘පැල්ම’ කෙටි චිත්‍රපටයේ රඟපෑවා. එය එන්න තියෙනවා.
මේ විදියට රඟපෑමට ඒම අහම්බයක්ම නේද?
එහෙම තමයි, හිතලාම නෙවෙයි ඒ අවස්ථාව ලැබුණෙ. හැබැයි පොඩි කාලයේ ඉඳලාම දැන්වීම්වල පෙනී සිටියා. ඉන්පස්සෙ 2016 දී අයි.ටී.එන්. අවුරුදු කුමරිය වුණා. එයින් පස්සෙ තමයි රඟපෑමට විවිධ ආරාධනා ආවේ. පුබුදු එක්ක විවාහ වුණාට පස්සෙ ක්ෂේත්රයේ අයගෙ දැන හැඳිනීම එක්ක ටෙලිඩ්රාමාවලට එහෙම වැඩිපුර ඇරයුම් ආවා. ඒත් සම්බන්ධ වුණේ නැහැ. ඒකට විශේෂ හේතුව වුණේ ඒ වනවිට සරසවි අධ්‍යාපනය ලබමින් සිටි නිසයි. ඒ අතරතුර ෆිල්ම්ස්වලට ආ ආරාධනා බාරගෙන කළා.
එතකොට ඉගෙනීම හමාර කරලද දැන් ඉන්නෙ?
තවම නැහැ. මාස්ටර්ස් එකට දැන් ලැහැස්ති වෙනවා.
මෙහෙම ගිහින් ආචාර්ය උපාධියෙන්ම නතරවේවි වගේ?
ඔව් එහෙම වෙන්නත් පුළුවන්.
හොඳයි, මාෂි, අපි දැන් ‘යුගාත්‍රා’ ගැන කතා කරමු? ඇයි චන්න පෙරේරා ඔබ මේ චරිතයට තෝරාගන්න ඇත්තෙ?
චන්න අයියගෙන්ම තමයි ඒක අහන්න ඕනෑ. පුබුදු සහ චන්න අයියා ඇතුළු මේ අයගෙ කණ්ඩායමක් තියෙනවා. එක දවසක් එයාලගෙ සුහද හමුවකට මාත් ගියා. එදා තමයි චන්න අයියා, මේ ආරාධනාව කළේ. පුබ්බා මගේ ෆිල්ම් එකට මාෂිට චරිතයක් තියෙනවා, එයාව ඒකට ගන්න ඕනැය කියලා කිව්වා. ඊට පස්සෙ අපි මීටින් එකක් දාගත්තා. මුලදි චරිතය ගැන කියද්දි ලොකු අවබෝධයක් මට ආවෙ නැහැ. බලාන ගියාම ඒක ලස්සන චරිතයක්. මගේ මහත්තයා පුබුදුත් කිව්වෙ ඒක ලස්සනයි කියලයි. වෙනස් විදියෙ කතාවක්. දැන් මම ඒ චරිතය සහ ෆිල්ම් එක නරඹද්දි චන්න අයියට ස්තුතිවන්ත වෙනවා. ලොකු සතුටක් දැනෙන්නෙ. බොහොම ආදරණීය චරිතයක් රඟපාන්න තියෙන්නෙ. ආත්මීය බැඳීමක් ලෙස ගලා යන චරිතයක්. මගේ මහත්තයා නම් මේ වන විට හය පාරක් විතර මේ ෆිල්ම් එක නැරඹුවා. එයා කියන්නෙ එයාට පුරුදු දේවල් දකින්නෙ කියලා. මම ගෙදර විදියටම හැසිරෙන විදියටලු ඒ චරිතය කරලා තියෙන්නෙ. මට ඉතින් හරි සතුටුයි, මොකද මම රංගනයට ප්‍රවීනයෙක් නෙවෙයි. ආධුනිකයෙක්. මේ චරිතයට පෙර පුබුදු අයියා මාව අනෝජා වීරසිංහ මහත්මියගෙ අභින වැඩමුළුවට එහෙම යොමු කළා. එතැනදි අනෝජා මිස්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නත් පුළුවන් වුණා. කොයිහැටි වෙතත් මගේ ඒ රංගනය ගැන කවුරුහරි විචාරයක් කරනව නම් මම කැමතියි.
අපේ සිනමාවට වත්මනෙහි ආදරණීය ප්‍රේමණීය ආදරවන්තියකගෙ අඩුවක් තිබුණෙ? එය ඔබට පුරවන්න පුළුවන් කියලා අපි කිව්වොත්? ඒ අභියෝගය බාරගන්න ලැහැස්ති?
මම කැමතියි ඒ අභියෝගය බාරගන්න, ආදරණීය චරිතය කරන්න. එදා මංගල දැක්ම දවසේදි බොහෝ විචාරකයින් මට සුබපැතුවා. ඒක ලොකු භාග්‍යයක්.
පුබුදු එක්කත් රඟපාලා තියෙනවනෙ, රඟපාන වෙලාවට කොහොමද එයාගෙ රියැක්ෂන්?
ඒ වෙලාවට නම් මම ටිකක් බයයි, සාමාන්‍ය ජීවිතයේදි වගේ නෙවෙයි, රංගන විෂයේදි එයා ඒ වැඩේට සියයට සීයක්ම කැපවෙන කෙනෙක්. ඒ වෙලාවට ෆෝන් එකවත් පාවිච්චි කරන්නෙ නැහැ.
පුබුදු සහ ඔබට පෙම්වතා පෙම්වතිය ලෙස රඟපෑමට ආරාධනා ලැබුණෙ නැද්ද?
ඒ වගේ ආරාධනාවක් ලැබුණා. දේවින්ද කෝන්ගහගේ අයියගෙ ලස්සන තිරපිටපතක්. අවාසනාවකට තවම ඒක කෙරුණෙ නැහැ.
යුගාත්‍රා සමාධි වෙද්දි මාෂි මොන වගේ අවස්ථාවලට ද මුහුණ දුන්නෙ?
රඟපෑම කියන්නෙ පෙනෙන තරමට සුන්දර දෙයක් නෙවෙයි, නිර්මාණය අවසානයේ දී අපිව පෙනුනට ෆිල්ම් එක හදන්න තිරය පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ සහයෝගය ඇතිව කරන දේ තමයි තිරගත වෙද්දි ලස්සනට පෙනෙන්නෙ. මට මතක විදියට මා දුටු ලංකාවේ ලස්සනම ලොකේෂන් මේ ෆිල්ම් එකේ රඟපාද්දි දැකගන්න ලැබුණා. සමහර අය මගෙන් ඇහුවෙ ඒ වගේ ලස්සන තැන් ලංකාවේ තියෙනවද කියලයි? ඇත්තටම ඒවා හරිම ලස්සනයි. ඒ ලස්සන තැන්වලට යන්න හරි අසීරු වුණා. වැව ළඟ දර්ශනවලදි එතැනට යන්න කන්දක් තියෙනවා, කඹ දාලා කැමරා එහෙම අරගෙන පල්ලෙහාට බහින්න සිදුවුණා. ඒකට වෙලාවක් ගියා. ඒ විදියට පල්ලෙහාට ගියාම ආයි ෂූටිං ඉවර කළාම තමයි උඩට යන්න වෙන්නෙ. දවසක් ඒ විදියට ෂූටිං කරමින් සිටියදි තද සීතලක් ආවා. ඒක අපට දරාගන්න බැරි තරම්, මාව ගැහෙන්න ගත්තා. එදා ෂූටිං නතර කළා. අපි හිටියෙ ලස්සන බංගලාවක. සමහර වෙලාවට වෙලාව පහුවෙද්දි එහෙම අධ්යක්ෂ චන්න අයියා හොඳටම බැන්නා. ඔන්න එදා ෂූටිං දවසෙ අඬන්න තිබුණු අවස්ථාවට අමුතුවෙන් අඬන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද පොඩිදේටත් මම සංවේදී වන කෙනෙක්. චන්න අයියා ඒ විදියට බැන්නාම මගේ සපෝට් එකට හිටියෙ සහ මාව බේරාගත්තෙ මේක්අප් ආටිස්ට් සහ කැමරා අධ්‍යක්ෂවරයයි. ඒ ඔක්කෝමලා මට හරි ආදරෙයි. හරියට එයාලගෙම නංගි කෙනෙකුට වගේ. ඉතින් මම අඬලා ඉන්නකොට එයාලා මාව සනසවන්න ටොෆි එහෙමත් දුන්නා. හරියට පොඩි බබෙකුට වගේ. ඒ කණ්ඩායම මාව බලාගත්තෙ ඒ විදියට.
පුබුදුත් මාෂිව ගෙදරදි බලාගන්නෙ බබෙක් වගේ ද?
එයත් එහෙම තමයි. මාත් එයාව බලාගන්නෙ ඒ විදියටයි.
ඇයි මාෂි පොඩි ළමයකු වගේ ඔච්චර හුරතල්?
අනේ මන්දා. අපේ මහත්තයට අපි බබෙක් හදමු කිව්වාම, එයා හිනාවෙලා මට කියන්නෙ එක බබෙක් වෙනුවට බබාලා දෙන්නෙක් එයාට බලාගන්න වෙන්නෙ කියලයි. විහිළුවට කියන්නෙ.
අද වන විට විවාහ ජීවිතේ කොහොමද? පෙරටත් වැඩිය සුන්දර ද? මොකද හිතන්නෙ?
ඒක නම් හරියටම හරි. පෙරටත් වැඩිය ලස්සනයි. අපේ පස්වැනි විවාහ සංවත්සරය යෙදී තිබුණෙ මාර්තු මාසයේදි. අපි දෙන්න ඒක සැමරුවෙ කැලයක් මැද තියෙන හෝටලයකට ගිහින්. ඒක හරිම ලස්සන හෝටලයක්. ඒකෙ නම ග්ලෙන්රොක් (Glenrock) එයාලා අපිට ඉතා හොඳට සැලකුවා. අපි දෙන්නා බොහෝම සතුටින් ගත කළ විවාහ සංවත්සරයක්. අපි වෙනුවෙන් අපිව සතුටු කරවන්න එයාලා බොහෝදේ කළා. ඉතින් ඔය විදියට ගතකරන විවාහ ජීවිතය මට නම් අපි දෙන්නා යාළුවෙලා හිටපු කාලයට වඩා සුන්දරයි. සමහර වෙලාවට විවාහ වුණාම ඒකෙ අනිත් පැත්තනෙ. ඒත් මට නම් විවාහ ජීවිතය තමයි සුන්දරම. දෙපාර්ශවයෙම අම්මලා අපි දෙන්නාට හරිම ආදරෙයි. එයාලා ළඟ ඉන්න කියද්දි, අපි දෙන්නා විවාහවෙලා වෙනමම පදිංචියට ගියා. ඉතින් ඒ නිසා ඒක හොඳ තීරණයක්. දවසින් දවස අපි දෙන්නගෙ ආදරය වැඩිවෙන්නෙ එහෙම ඉන්නකොට. අපි දෙන්නට අපි දෙන්නා විතරනෙ. දවසින් දවස අපි දෙන්නගෙ බැඳීම වැඩි වුණා.
ඒ විදියට ලස්සන පුබුදු සහ මාෂි, විවාහ වූ තරුණ තරුණියන් වෙනුවෙන් දෙන පණිවුඩය මොකක්ද? ලස්සනම ලස්සන යුග දිවියකට?
මට හිතෙන විදියට එකිනෙකාගෙ ආදරය වගේම, එකිනෙකාගෙ ගෞරවය සම සමව තියෙනව නම් හොඳයි. විශ්වාසය වුණත් ගොඩනැගෙන්නෙ ගරුත්වය එක්කනෙ. එතකොට ගොඩනැගෙන්නෙ ලස්සන ආදරයක්, ශක්තිමත් බැඳීමක්. එළියෙ ගිනි ඇතුළට නොගෙන, ඇතුළෙ ගිනි පිටතට නොදෙන්නත් වග බලාගැනීම වැදගත්. දෙන්නට දෙන්නා විතරක් හොඳම යාළුවෝ වගේ ඉන්න පුළුවන් නම් ඒක වඩා සාර්ථක යුග දිවියක් වේවි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
විලාසිතා නිර්මාණය – Karma Collection
හැඩගැන්වීම් - විරාජ්
පසුතලය: Paradise road gallery cafe