මිනිස්සුන්ගෙ රසය විවිධයි. සමහරු කැමතියි මම බොහෝම සාම්ප්‍රදායික විදියට ඉන්නවට
දුලීකා මාරපන රංගන ශිල්පිනිය යනු හොඳ අධ්‍යාපනයක් සහ හොඳ ප්‍රගුණ කිරීමක් සමග රංගනයට පිවිස ලාංකීය රංගන ක්ෂේත්රයේ නියැලී කටයුතු කරන දක්ෂතාවයෙන් පිරිපුන් රංගන ශිල්පිනියකි. චරිතාංග රංගනයට අතිදක්ෂ මේ ප්‍රවීන ශිල්පිනිය ගැන අද බොහෝ දෙනා කතා වන්නේ ඇය සතු ඒ අපූරු රංගන හැකියාවට එහා ගිය ගායන හැකියාව ගැනයි. ‘සරාගී’ නමින් ඇය ඉදිරිපත් කර ඇති මියුසික් වීඩියෝව නිසා ‘යූ ටියුබ්’ සමාජ මාධ්‍ය ඔස්සේ දුලීකාට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. සරාගී ගීතය නිසා යූ ටියුබ් නරඹන ප්‍රේක්ෂකාගාරය කැළඹී උණුසුම් වී ඇති මොහොතක දුලීකා සමග මේ කතාබහ ඒ ගැනයි.
දුලීකා හිටි හැටියේම මොකද මේ වුණේ? ඇයි මේ විදියට සරාගී වෙන්න හිතුවේ? වෙනස් වෙන්න හිතුවෙ?
ඒක හිටි හැටියේම කියලා කියන්නත් බැහැ. ගීත ගායනයේදී වේදිකා නාට්‍යවලදී වගේම වෙනත් නිර්මාණවලදී සහ වැඩසටහන්වලදී ගීත ගයා තිබෙනවා. ඒවා ඒ ඒ හේතූන් මත වූ දේ නිසා මට මගේම ගීත නිර්මාණ කීපයක් කරන්න අවශ්‍ය වුණා.’ මට හොඳ සිංදු ටිකක් කරන්න ඕනෑය කියලා මගේ යාළුවකුටත් නිතර හමුවුණාම කියලා තිබුණා. හැබැයි සාම්ප්‍රදායික නොවූ වෙනස් විදියෙ නිර්මාණ කරන්නයි මට ඕනෑ වුණේ. ඔන්න ඔහොම සිටියදී මගේ යාළුවා සිංදු කීපයක් අරගෙන ඇවිත් මෙන්න මේකට කැමතිද ඔයා කරන්න කියලා මගෙන් ඇහුවා. සිංදු අටක් දහයක් විතර තිබුණු නිසා කොයි එක තෝරා ගන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. පසුව එයින් ගීත තුනක් තෝරාගෙන එයින් එකක් කරන්න අපි තීරණය කළා. ගීත රචකයාගෙ නම සංජය වෙදආරච්චි. සරාගී ගීතය නිර්මාණය කරන්න හේතු වුනේ ඒ විදියටයි. තුසිත් සිම්ප්සන්ට තමයි සංගීතය කරන්න බාර කළේ. අනෙක් ගීතයෙහි සංගීතය කරන්න බාර කළේ ප්‍රියන්ත නාවලගේට. ඒකෙ නම මුහුණු පොතේ ආදරේ. තුන්වැනියට කළ ගීතයෙහි මියුසික් කළේ විශාරද රත්නායක. ඒකෙ නම සිත්තර රෑ. වෙනස්ම ආකාරයක ගීත තුනක්. එයින් මුලින්ම රූප රචනයක් කරලා එළිදැක්වූවේ සරාගී.
මේ විදියට දුලීකාගෙම නිර්මාණයක් කළ පළමු වතාවද? ඒ කියන්නෙ ගීතයක්?
නාට්‍ය, ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට හැර පෞද්ගලිකව මම කළ ගීත තුනක්. ඊට පෙර මේ විදියට කරලා තිබුණෙ නැහැ. මේ හැර විවිධ නිර්මාණ වෙනුවෙන් කළ ගීත 17ක් විතර තියෙනවා.
අද දුලීකාට තියෙන හඬ එක්ක ඉංග්‍රීසි දමිළ වගේ ගීතයකුත් කළොත් හොඳයි නේද? එදා තිබුණු හඬට වඩා දුලීකාගෙ අද තියෙන හඬට කැමතිද?
ඔව් කලින් තිබූ හඬට වඩා මේ හඬ වෙනස්. එදා ස්වර්ණමාලී නාට්‍යයේ සිට තිබූ හඬ පොදු හඬක්. ඒත් අද තියෙන හඬ වෙනස්. මම ඒකට කැමතියි. ඉස්සර මම සුප්රානෝ ශෛලියෙන් ගැයුවා. අද මට තියෙන්නෙ ටිකක් බර වොයිස් එකක්. සිංහල විතරක් නෙවෙයි. ඉංග්‍රීසි වගේම දමිළ භාෂාවටත් ගැලපෙනවා. ඒ භාෂා දෙකටත් කැමතියි.
සරාගී ගීතය මුදා හැරලා දින දෙක තුනක් යාමට මත්තෙන් ලැබූ ප්‍රතිචාර යහපත් නිසා මින් ඉදිරියට රඟපෑමට වඩා ගායනයට වැඩි කැමැත්තක් තියෙන බව තමයි පෙනෙන්නෙ? දුලීකා ගීත තුනක් එකවර කළේ ප්‍රසංග වේදිකාව කළඹන්නද?
මම ඒකට ආසයි. රංගනයෙන් පසුගිය කාලයේදී මට හොඳ නිර්මාණ, චරිත, ලැබුණා. ඒවට සම්මානත් ලැබුණා. මට මග හැරුණු දේ තමයි ගායනය. ඉතින් මට අවස්ථාව ලැබෙනව නම් මම කැමතියි. කොහොමටත් ප්‍රසංග වේදිකාවට මම ආසයි. මගේ තියෙන වෙනස් හැඩයට මට හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා හිතනවා. එහිදී මගේම හැඩයකට වෙනස් රිද්මයකින් ගීත ගැයීම මගේ ප්‍රියතාවයයි. ප්‍රසංග වේදිකාවේදී මට මාව දකින්න පුළුවන් වේවි. මාව මම විදියටම ප්‍රේක්ෂකයා දකීවි.
මේ සරාගී මියුසික් වීඩියෝ එකේ සිප වැළඳ ගැනීම් වගේ සරාගී රූප රාමු ඇතුළත්? ඇයි ඒ වගේ රඟපෑමක් කළේ. වුවමනාවෙන්ම මේක ට්‍රෙන්ඩින් කර ගන්න ඕනැ නිසාද එහෙම කළේ.
අපොයි ට්‍රෙන්ඩින් වෙන්න හිතාගෙන නෙවෙයි. මේ ගීතයට ගැලපෙන විදියටයි.
සුජීව (ඔබගෙ සැමියා) මේ වගේ මියුසික් වීඩියෝ එකක් කරනවාට කැමති වුනාද?
රංගනය කියන්නේ එකක්, ගායනය තව එකක්, ඒ වගේම රූප රචනය කියන්නෙ තව දෙයක්. ඒක කළේ මේ ගීතයට අදාළවයි. සංදේශ් බණ්ඩාර එක්ක දිගින් දිගටම කතා කරලා අදාලව රූප රචනයක් තමයි කළේ. එතැනින් එහාට දෙයක් නැහැ. ඒ පබ්ලයිෆ් එක, ක්ලබ් ලයිෆ් එක, නයිට් ලයිෆ් එක සහ ඒකෙ ඇතුළෙ තියෙන සරාගය, මත කියන සියල්ල මේ ගීත නිර්මාණය ඇතුළෙ තියෙනවා. ඒක බලෙන් ඔබපු එකක් නෙවෙයි.
මේ වගේ සිප ගැනීමේ රූප රාමු ඇතුළත් දර්ශන වගේම, සමාජ ශාලා දර්ශන, තේමා ඇතුළත් මේ වගේ නිර්මාණවලට යූ ටියුබ් ප්‍රේක්ෂකාගාරය ඇයි මෙච්චර කැමති? විසේකාර දේට ඇයි මෙච්චර කැමති?
සාම්ප්‍රදාය කියන්නෙ අපේ ජීවිතවලට බලෙන් ඔබ්බවා ගත්ත දෙයක්. ඇත්තම ගත්තොත් මනුස්සයකු ලෙස සෑම මිනිසකුම විනෝද වෙන්න සතුටු වෙන්න කැමතියි. ඒ සතුටට විනෝදයට කැමැත්ත තියාගෙන සිටින නිසා තමයි ඔබ කියූ මේ වගේ දේ වැඩිපුර නරඹන්නෙ. නමුත් එහෙම නොවී සුදු පිරුවට ඇඳගෙන, සාම්ප්‍රදායික ඇඳුමක් ඇඳගෙන සමාජයට පේන්න ජීවත් වෙනවා. සෑම කාන්තාවක්ම, සෑම පිරිමියකුම බොහෝ විට මේ කියන සරාගී බවට රාත්‍රි ජීවිතයට සහ විනෝදවීමට සහ නර්තනයට යොමු වීමට හිත යටින් කැමතියි. ඒ වගේම ඒ ස්වභාවයට ප්‍රේම කරනවා. මොකද සාම්ප්‍රදායික කුටුම්භය ඇතුළේ එයාලට ඒ වින්දනය ඇහිරී තිබෙන නිසා. ගෙදර නිකං සිංදු කිව්වත් මම නටනටා සිදු කියන කෙනෙක්. ඒ වගේම මම නිතරම ජීවිතය විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. ඒ විනෝදයෙන් ඉන්න අතරේදී තමයි මගේ අනෙකුත් කටයුතුවල යෙදෙන්නෙ.
සරාගී මියුසික් වීඩියෝවෙන් දුලීකාට සමාජයට දෙන්න ඕනෑ වුණේ?
මොන නිර්මාණයක් කළත් මුලින්ම මම ඒ නිර්මාණය කරන්නෙ මගේ තෘප්තියට, මගේ විනෝදයට. මේ මියුසික් වීඩියෝව කළේ මගේ සහ ප්‍රේක්ෂකයාගේ වින්දනයට. මට තෘප්තිමත් විය හැකි නම් ගැයුමෙන් තෘප්තිමත් නම් ප්‍රේක්ෂකයාටත් එය දැනේවි. මම රාගධාරී සංගීතය හැදෑරූ කෙනෙක්. ඒත් මේ ගීතය ගයන්නෙ හැමෝටම ගයන්න පුළුවන් විදියෙ රිද්මයකින්. සරාගී ගීතය ඕනෑම කෙනෙකුට මුමුණන්න පුළුවනි. ඒ ටෙම්පෝ එක ඒ මිමිණිල්ල දෙන්නයි මට ඕනෑ වුණේ.
විශාරද මට්ටමට තවම ඉගෙන ගෙන නැද්ද?
තවම නැහැ. භාත්ඛන්ඩේ විභාග සඳහා මම ගායනය ප්‍රගුණ කළේ විශාරද නන්දා මාලිනී මහත්මිය යටතේ. නමුත් මගේ සරසවි කටයුතු එක්ක එහි අවසානය දක්වා කරන්න තරම් කාලයක් තිබුණේ නැහැ. විශාරද නන්දා මාලිනී මහත්මිය පවා පසුව මට කිව්වේ ඔයා භාත්ඛන්ඩේ විභාග ඉවරවෙනකල් කළා නම් හොඳයි කියලයි. ඒ මොනවා කළත් මම රඟපෑමනෙ කරන්නේ. ඒ නිසා සංගීත විෂයෙහි විශාරද දක්වා යාමේ පිපාසය තිබුණේ නැහැ.
දුලීකා ලංකාවේ කැමතිම ගායන ශිල්පිනිය කවුද?
ඒක වෙනස්වන සුළු දෙයක්. ඉස්සර මම නන්දා මාලිනී මිස්ගෙ ගීතවලට ආසයි. අදටත් එතුමියගෙ ගීතවලට ආසයි. ඒ වගේම අද අලුතින් ඇවිත් සිටින අයගෙ ගීතවලටත් ආසයි. ප්‍රසංග වේදිකාවට ගැලපෙන හඬවල් ඇති අයගෙ ගීතවලට මම ආසයි. මාව ගත්තොත් මම මයික් එක හපාගෙන සිංදු කියන කෙනෙක් නෙවෙයි.
කොහොම වුණත් දුලීකාට සරාගී නිසා සරාගී වෙච්ච නිසා විවේචන එන්න පුළුවන්. මිනිස්සු බනින්නත් පුළුවන්? කොහොමද ඒවාට ප්‍රතිචාර දක්වන්නෙ?
ඇයි මම ඒවාට ප්‍රතිචාර දක්වන්නේ? මිනිස්සුන්ගෙ රසය විවිධයි. සමහරු කැමතියි මම බොහෝම සාම්ප්‍රදායික විදියට ඉන්නවට. මම ඔසරිය, දිග ගවුම ඇඳලා පාරේ යනවට සමහරු ආසයි. නමුත් සාමාන්‍ය ජීවිතයේ කොට කලිසමයි, ටීෂර්ට් එකයි ඇඳගෙන ඉන්න ගැහැණියක් මම. ඒ තමයි මම. ඒ නිසා අපි කරන නිර්මාණ සහ ඒවායෙ චරිත එක්ක අපිව මනින්න එපා.
සඳුන් ගමගේ