මිනිස්සු හිතන්නෙ මේක හරි පහසු දෙයක් කියලා. ඒත් මේක හරිම අසීරු දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙනෙකුට දෙයක් ලැබෙන්නට හෝ උරුම වෙන්න තිබේ නම්, එය වැළැක්වීමට කාටවත් නොහැකිය. අතීතයේ දිනෙක නිමාෂා ද සිල්වා, ඇයගෙ නංගිගෙ තනියට ගිය අවස්ථාවක, අවසාන ප්‍රතිඵලය වුණේ, නිමාෂාහට රඟපෑමට අවස්ථාව ලැබීමයි. ඒ විදියට අහම්බයකින් රංගන ක්ෂේත්‍රයට පැමිණි ඇයගෙ ගමනට වසර පහළොවක් විතර වෙනවා. මේ දිනවල නිමාෂා අපට හමුවන්නෙ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ සහ පිච්චමල සුවඳයි නාට්‍යයේ චරිත සමඟයි. රංගන ක්ෂේත්‍රයට ගරුකරමින් කැපවීමෙන් ගමනක් යන නිමාෂා සමග අපි කතාබහක යෙදෙමු.

නිමාෂා ද සිල්වා, කියන්නකො ඔබ ගැන විස්තරයක්?

මගෙ ගම ගාල්ල, ඉගෙන ගත්තෙ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයෙ. උසස් පෙළ කළේ කලා අංශයෙන්. අරමුණ තිබුණෙ (හෙදියක්) වෙන්න.

ඊට පස්සෙ ඒ අරමුණට මොකද වුණේ?

නංගිගෙ එයා කලාවට සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. එයාගෙ තනියට ගියා. ඒ වෙලාවෙ තමයි මට අවස්ථාව ලැබුණෙ.

එතකොට නංගි?

නංගි කාර්යබහුලයි. ඒ දිනවල ගාල්ලෙ ඉඳලා ආවෙ. මේක දුෂ්කර ගමනක්නෙ. ඉතින් කට්ටක් කාලා ඒ ගමන එන්න එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ. ෂූටිං කරන එක එච්චර ලෙහෙසිත් නැහැනෙ. එයා දැන් විවාහකයි.

ඒ කියන්නෙ නිමාෂාට රඟපාන්න ලැබුණෙ අහම්බයකින්?

එහෙම කිව්වොත් හරි. මුලින්ම මම පෙනී හිටියේ විශාරද නිර්මලා රණතුංගගෙ ගීතයකට. ඒකෙ නම සිනා සපිරි සඳ දුර ඈතයි. ඒ විෂුවල් එකෙන් පසුව සිවගුරුනාදන් මහත්මයාගෙ මැති නැතිදා නාට්‍යයේ චරිතයක් ලැබුණා. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ විජය නන්දසිරි ප්‍රවීනයින් එක්ක තමයි මුලින්ම රඟපාන්න ලැබුණෙ.

දැන් කොච්චර කල් ද ක්ෂේත්‍රයට ඇවිත්?

අවුරුදු 15 කට කිට්ටු වෙනවා. බොහෝ ආරාධනා ලැබුණා. ඒත් තෝරා බේරාගෙන යන නිසා හෙමින් ගමනක් යන්නෙ.

මේ දක්වා රඟපෑ චරිත අතරින් නිමාශා ගැන වැඩිපුර කතා වුණේ?

පද්මසිරි කොඩිකාර මහතාගේ කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයේ හීන්එතනා නිසයි. පිනා ලෙස රඟපෑ මහින්ද පතිරගේගේ බිරිඳ ලෙස රඟපෑවෙ. ඒකෙ ටෙලිනාට්‍යයට අමතරව වේදිකා නාට්‍යයත් කළා. ඒකෙත් රඟපෑවා. ආසියාවේ දිගම ගුවන්විදුලි නාට්‍යය වූ මුවන්පැලැස්ස ඇසුරෙන් තමයි කෝරළේ මහත්තයා කළේ. ඒකට අමතරව කෝපිකඩේ (ආසියාවේ දිගම ටෙලි මාලාව) නාට්‍ය මාලාවේ කෝකිලාගේ චරිතය රඟපෑවා.

මේ දිනවල රඟපාන්නෙ?

නිවන්ත ප්‍රසාර මහතා අධ්‍යක්ෂණය කරන රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ රඟපානවා. ඒකෙ මගේ නම මේනකා.

මේනකා කියන්නෙ?

මෙහෙකාරියකගේ චරිතයක්. එයා විශ්වාසවන්ත මෙහෙකාරියක්.

කොහොමද මේනකාට ලැබෙන ප්‍රතිචාර?

රැල්ල වෙරළට ආදරෙයි බොහෝදෙනෙක් නරඹන නාට්‍යයක් නිසා මටත් ප්‍රතිචාර හොඳයි. ඊට අමතරව සමන් කුමාර ලියනගේ මහත්මයා අධ්‍යක්ෂණය කරන පිච්චමල සුවඳයි, ටෙලිනාට්‍යයේ පීටර්ගෙ (සම්පත් ජයවීර) බිරිඳ ලෙස රඟපානවා. ඊටත් අමතරව ටිකිරි රත්නායක මහතාගේ අලුත් නාට්‍යයේ මේ දිනවල රූගත කිරීම්වලට දායක වෙනවා.

නිමාෂා මොන වගේ පවුලක කෙනෙක් ද?

සාමාන්‍ය පවුලක කෙනෙක්.

නිමාෂාගෙ ජීවිතය ගෙවෙන්නෙ මොන විදියට ද?

නිළියක් කියලා හිතාගෙන ජීවත්වන කෙනෙක් නෙවෙයි. සරලව සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. රඟපාන්නෙ කැමරාව ඉදිරියේදි විතරයි. සෑම කෙනෙක් එක්කම සහයෝගයෙන් ජීවත් වෙනවා. කා එක්කවත් මට තරගයක් රේස් එකක් නැහැ. ඒ නිසාම තරහාකාරයොත් නැතුව ඇති.

කොහොමද නිමාෂාගෙ ආදරය?

ආදරය ඉතින් සුන්දරයි. මගේ පවුලෙන් සහ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය හොඳයි.

නිමාෂාගෙ වෘත්තිය රඟපෑමද?

ඔව්. ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට දායක වෙනවා. තිරගත වූ හැට හතර මායම්, රන් සයුර, සිහිනය දිගේ එන්න සහ වෙළඳ දැන්වීම් කීපයකටත් දායක වුණා.

ඇයි නිමාෂාට ප්‍රධාන චරිත නොලැබෙන්නෙ?

කෝරළේ මහත්තයා, පිච්චමල සුවඳයි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවෙ. සකලගුරු අනෝමාගෙ චරිතය උපප්‍රධාන චරිතයක්. ප්‍රධාන චරිතයක් එනකල් කියලා බලා ඉන්නෙ නැහැ. මට ලැබුණ චරිතය හොඳට කරනවා.

ජීවිතයේ නිමාෂා බලා ඉන්නෙ මොනවගේ දේ ලැබෙනකල් ද?

සැප දුක සමබරවේ කියලා හිතලා ජීවත්වන කෙනෙක්. අටලෝ දහම ගැන අවබෝධයක් ඇතිව ජීවත්වන කෙනෙක්. ජීවිතයට මුහුණදීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි නිතර ප්‍රාර්ථනා කරන්නෙ. අපි කවුරුත් සතුටින් ඉන්න කැමතියි. ඒත් දුක අමතක කරලා හිටියොත්, දුකට මුහුණ දෙන්න ශක්තියක් නැතුව යනවා. සතුට සැපත වගේම එන ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වභාව ධර්මයට, විශ්ව ශක්තියට පිංසිද්ධ වෙන්න බුදුදහමට සහ එහි අරුත වටහාගෙන ජීවත්වන කෙනෙක්. අන්‍ය ආගම්වලටත් ගරුකරන කෙනෙක්.

ජීවිතයේ නිමාෂා වැඩිපුරම ආසා කරන්නෙ?

යාළුවො එක්ක සංචාරය කරන්න. ගෙදර අය එක්ක සතුටින් ඉන්න කැමතියි.

රඟපාන්න විතර ද පුළුවන්?

මැහුම් කලාව හොඳට පුළුවන්. මගේ තාත්තා කළේ ස්වර්ණාභරණ නිෂ්පාදනය. ඒ හැකියාවත් තියෙනවා. අපේ පවුලේ අය දැනටත් කරන්නෙ ඒ අංශයේ ව්‍යාපාර. තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා මගේ හෙවනැල්ල වගේ. දැනටත් අපට ශක්තියට ඉන්නෙ අම්මා.

රඟපෑම මොන වගේ කියල ද හිතන්නෙ?

රඟපෑ දෙයක් නරඹන්න ආසයි. මිනිස්සු හිතන්නෙ මේක හරි පහසු දෙයක් කියලා. ඒත් මේක හරිම අසීරු දෙයක්. ලොකු වෙහෙසක් දරන්න වෙනවා. රඟපාන අය විතරක් නෙවෙයි සමස්ථ කණ්ඩායමම කරන කැපවීම නිසා තමයි නිර්මාණයක් එළියට එන්නෙ. රඟපාන එක ඇත්තටම ලෙහෙසි දෙයක් නෙවෙයි.

එකම අවස්ථාව වැඩිපුරම රූගත කරන්න වුණේ මොන නාට්‍යයේ ද?

දෙයියන්ගෙ පිහිටෙන් එහෙම අසීරුම වෙලා නැහැ. මට අමතක නොවනම සිදුවීම තමයි, කෝරළේ මහත්තයා කරද්දි සටන් ජවනිකාවෙදි සටන් නළුවාගේ චරිතය කළ ශිල්පියාට මගේ කොණ්ඩයෙන් ඇදලා අරගෙන ඔළුව ගසක ගැටෙන්නට සැළැස්වූ අවස්ථාව.

ඉතින් මොකද එදා වුණේ?

ඒ නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කළේ වසන්ත කුමාරවිල අයියා. එයාගෙ උපදෙස් අනුව මම කටයුතු කළේ. ඔළුව ගසේ වැදුණම ක්ලාන්තය හැදිලා වගේ බිම වැටෙන්නට තිබුණා. ඉතින් ඒ වෙලාවෙ මම ඒ දර්ශනය තාත්වික කරගන්න ඕනෑ නිසා ඇඟ පණ නැතුව වගේ බිම වැටුණා. වැටිච්ච පාරට කතරගම රළු පොළවේ මගේ ඔළුව වැදිලා දැනුණ වේදනාව කොච්චරද කිව්වොත්, මම හිතුවෙ ඔළුව පැලිලා කියලයි. වාසනාවකට එහෙම වෙලා තිබුණෙ නැහැ. ඒත් දෙබරවැව රෝහලට ගෙනිහින් මට ප්‍රතිකාර ලබාදුන්නා. රඟපෑමේදි ඒ අවස්ථාව ඉතාම තාත්විකව කිරීමට තමයි ඕනෑම ශිල්පියකු හෝ ශිල්පිනියක උත්සාහ ගන්නෙ. මාත් ඒ දේ උපරිමයෙන් කරන්න උත්සාහ ගන්න කෙනෙක්.

සඳුන් ගමගේ