මිනිස්සු මාව මුලින්ම අඳුරගන්නේ හපන් පැදුරෙන් ළමා ගායිකාවක් විදිහට
ස්වර්ණවාහිනී හපන් පැදුරෙන් ළමා ගායිකාවක් ලෙස ප්‍රේක්ෂකයාට සමීප වූ ඇය අද වනවිට වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ සම්මානනීය රංගන ශිල්පිණියක් යැයි කිවහොත් නිවැරදිය. ඒ වගේම ගායිකාවක් ලෙසද ප්‍රේක්ෂක සිත් වසඟ කරගත් ඇය දිනුපා කෝදාගොඩයි. මේ දිනවල ආනන්ද අබේනායකයන්ගේ නවතම නිර්මාණය ‘පීතෘ’ හරහාද ගීතිකාගේ චරිතයෙන් කරළියට එන දිනුපා සමග කළ කතාබහකි මේ.
ඉතින් කොහොමද වැඩ කටයුතු?
ඇත්තටම මේ දවස්වල ගීත නිර්මාණය පැත්තට තමයි ලොකු කාල වේලාවක් වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක මිනිස්සුන්ට ශක්තිමත්ව ධනාත්මකව හිතන්න බලපෑම් කරන ගීත කිහිපයක් නිර්මාණය කිරීමෙහිලා යෙදිලා ඉන්නවා.
මේ වෙනකොට නන්දා මාලනී මහත්මියගේ පවනේ ගීත අරගල භූමියේ දිනුපාගේ හඬින් නොඇසෙන දවසක් නැති තරම්.
මුලින්ම ඇඳිරිනීතිය පනවපු දවසේ මේ රට ගැන රට පත්වෙන්න යන ආගාදය ගැන දරාගන්න බැරි වේදනාවක් ආවා. විවිධ වූ සමාජ වතාවරණයන් ගැන අපි බොහෝ කාලයක් පුරා නිර්මාණකරණයේ යෙදුනා. එදා අපි නාවල කොස්වත්ත හන්දියට ඇවිල්ලා අපි අපේ මාධ්‍ය උපයෝගී කරගෙන අපේ විරෝධය වත්මන් ආණ්ඩුවට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ නන්ද මාලනී මහත්මියගේ පවනේ ගීතයත් මම ගායනා කළා. වීදියේ විරුවන්ට ආදරයෙන් ධනාත්මක විදිහේ යම් බලපෑමක් කරන්න තමයි මා ඇතුළු මගේ නිර්මාණ සගයින්ට ඕන වුණේ. මේ වෙනකොට මගේ රට මගේ රටේ මිනිස්සු පත්වෙන්න පුළුවන් අන්ත අසරණම තත්ත්වයට පත්වෙලා ඉවරයි. මහ පාරේ පෝලිම්වලට තාරුණ්‍ය ජීවිත සින්න වෙලා. දරාගන්න බැරි වේදනාවකින් අරගල භූමියේ මේ ගීත ගයන්නේ වීදියේ විරුවන්ට ශක්තියක් වෙන්න.
ගායනය පැත්තෙන් මොනවද මේ දවස්වල අලුත් නිර්මාණ.
මේ දවස්වල ගීත නිර්මාණ කිහිපයකම දායක වෙලා ඉන්නවා. මගේ සැමියා නදීක වැලිගොඩපලගේත් දායක වෙලා ඉන්නවා සංගීතය පැත්තෙන්. මංජුල වෙඩිවර්ධන රචනා කරපු ගීත දෙකක් release කරලා තියෙනවා. ඒ නිර්මාණයන් රටේ වාතාවරණය සහ පාස්කු ප්‍රහාරය වැනි මෑත කාලීන සිදුවීම් අලලා නිර්මාණ වෙච්ච ගීත. මේ දවස්වල නම් ඒ ගීත වගේම තවත් අලුත් ගීත කිහිපයක් එක්ක අරගලයේ යෙදිලා ඉන්න මිනිසුන්ව ධෛර්යමත් කරන්න ඒ වෙනුවෙන් ගායනයේ යෙදිලා ඉන්නවා.
අපි රංගනය පැත්තට හැරුනොත්..... ආනන්ද අබේනායකගේ පීතෘ ටෙලි නාට්‍ය එක්ක දිනුපාව ටිකක් වෙනස් විදිහට දැනුණා?
පීතෘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පටන් ගන්නකොටම ආනන්ද අබේනායක මහත්මයා මට කතා කරලා කිව්වා කොටස් කිහිපයකට චරිතයක් තියෙනවා. ‘ඇය ‘ගීතිකා’ කොටස් ගාණ පොඩි වුණත් ඒ චරිතය විශේෂ චරිතයක්. මේක ප්‍රේක්ෂකයාට දැනෙන්න රඟපාන්න ඕන, කැමතිද කියලා මගෙන් ඇහුව්වා. නාමල් අයියාගේ පිටපත මම කියෙව්වාම ඒ චරිතය මට කරන්න පුළුවන් කියලා හිතුනා. ඒ විදිහට තමයි ගීතිකාගේ චරිතය මට ලැබෙන්නේ.
‘ගීතිකා’ ගැන කියනවා නම්?
ඇය ඉතාම දුෂ්කර අනුරාධපුරේ ප්‍රදේශයේ බඩඉරිඟු වගා කරලා ජීවත් වෙන ගැහැණු ළමයි හත් දෙනෙක් ඉන්න පවුලක වැඩිමහල් දියණියක්. අම්මා නැහැ. තාත්තා දරුණු හදවත් රෝගයෙන් පෙළෙනවා. තාත්තා රෝහලේ ජීවත් වෙන්න සටන් කරන අතරේ තාත්තාට ස්ටෙන්ස් එකක් දාන්න මුදල් හොයන අසරණ දුවෙක් තමයි ගීතිකා කියන්නේ.
පොඩි කොටස් කිහිපයක් වුණත් පළවෙනි කොටස විකාශය වුණාට පස්සේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර හිතාගන්න බැරි වුණා. මට සැබෑ ජීවිතේ ඒවගේ ඇත්දැකීම් නැහැ. ඒත් දුවෙක් විදිහට ගීතිකාව මගේ හදවතටම දැනුණා. ඇත්තටම මට මගේ තාත්තාව මතක් වුණා. ගීතිකාගේ චරිතය මම ළඟ නැහැ. හැබැයි චරිතය වෙනුවෙන් මම ගීතිකාව මට ළංකර ගත්තා.
රංගනය පැත්තෙන් මොනවද අලුත් නිර්මාණ?
පිතෘ දැනට විකාශනය වෙනවා. ඊට අමතරව තුෂාරි අබේසේකර මහත්මියගේ සඳදෝනා ටෙලි නාට්‍යයට දායක වුණා. ඒ නිර්මාණය විකාශය වෙන්න නියමිතව තිබෙනවා.
සිනමාව පැත්තෙන් දිනුෂාට ලැබෙන අවස්ථා අඩුද?
සිනමාවට මම හරිම ආසයි. සිනමාවේ මට බොහොම පොඩි අත්දැකීමක් තියෙනවා. ධර්මසේන පතිරාජ මහත්මාගේ සක්කාරං චිත්‍රපටයේ මම පොඩි චරිතයක් කළා. ඒ වගේම අබා, වෙස් නොබඳින ළමයි, එකගෙයි සොකරි චිත්‍රපටිවලට පසුබිම් ගායනයෙන් දායකවෙලා තියෙනවා. සිනමාවට දායක වෙන්න අවස්ථාවක් ලැබුණොත් මට ගැළපෙන චරිතයක් නම් දායක වෙනවා.
ඔබ වැඩිපුර ප්‍රිය කරන්නේ ගායනටද? නර්තනයටද, රංගනයටද?
මම එකකට කියලා විශේෂයක් කරන්නේ නැහැ. මට ඕන ප්‍රාසාංගික කලාවේදිනියක් විදිහට අත්දැකීම් ලබාගෙන ඉදිරියට යන්න. ඒ නිසා ක්ෂේත්‍ර තුනේම කරන දේ වගකීමෙන් කරනවා. හැබැයි ලැබෙන ඕනම නිර්මාණයක් මම භාර ගන්නේ නැහැ. අවංකව සාධාරණයක් කරන්න පුළුවන් නිර්මාණ විතරයි මම භාර ගන්නේ.
දිනුපා ගැන අපි මුලින්ම දැනගන්නේ ඒ හඬ ඇසෙන්නේ හපන් පැදුරෙන්?
ඔව්. මිනිස්සු මාව මුලින්ම අඳුරගන්නේ හපන් පැදුරෙන් ළමා ගායිකාවක් විදිහට. මම සංගීතය හදාරන්නේ පාසල් අධ්‍යාපනය හදාරන්නත් කලින් ඉඳලා. මගේ මුල්ම ගුරුතුමිය නන්දා මාලිනී මහත්මිය. ඇය මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි. ඊට පස්සේ හින්දුස්ථානී රාගධාරී සංගීතය හැදෑරුවා. මංජුලා සෙනවිරත්න, ප්‍රේමසිරි කේමදාස යන ගුරුභවතුන් යටතේ මම ඉගෙන ගත්තා. ඒ වගේම හපන් පැදුරට එන්න කලින් මම රෝහණ වීරසිංහ සර් ළඟ ළමා ගායිකාවක් විදියට වැඩ කළා. චිත්‍රපට පසුබිම් ගායනයෙන්ද දායකවෙන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ ගීත නිර්මාණකරුවන්, සංගීත අධ්යක්ෂවරු රාශියක් යටතේ මම වැඩ කරලා තියෙනවා. ළමා ශිල්පිනියක් මගේ දක්ෂතා වැඩදියුණු කරගන්න ප්‍රවීණයින්ගෙන් හොඳ පන්නරයක් ලැබුණා. ප්‍රේමසිරි කේමදාස සර් යටතේ මට අග්නි ඔපෙරාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
දිනුෂා මෑත කාලයේ ජනප්‍රිය වෙන්නේ කුවේනිගේ ගීතයත් එක්ක?
ඇතතටම ඔව්. ළමා ගායිකාවක් විදිහට මිනිසුන්ගේ මතකයේ හිටපු මාව තරුණ ගායිකාවක් විදිහට ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තේ කුවේණිගේ ගීතය හරහා. ඒකත් ලොකුවට බලාපොරොත්තු තියාගෙන කරපු ගීතයක් නෙමෙයි. හැබැයි හිතුවට වඩා ඒක ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත්තා. මගේ සංගීත ජීවිතයට අලුත් ආලෝකයක් වැටුනේ කුවේනිගේ ගීතයෙන්.
දිනුෂාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු?
මගේ ගම කෝට්ටේ. මගේ පාසල නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය. එතනින් පස්සේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එතනදි මගේ උපාධියට ප්‍රධාන විෂය ධාරාව වුණේ නර්තනය. මම සංගීතය ඉගෙන ගත්තේ බාහිරව. ඒත් අද මගේ වෘත්තිය වෙලා තියෙන්නේ ගායනය.
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි. මම විවාහකයි. සැමියා නදීක වැලිගොඩපලගේ. ඔහු වෘත්තියෙන් කලා ශිල්පියෙක්. ඔහු මට මුණගැහෙන්නේ 2008 දී ලයනල් වෙන්ඩ්ට් එකේ එයා තීව්ර කියලා ප්‍රසංගයක් කළා. එහි ගායනයට ගිහින් තමයි හිතවත්කම ආදරයට පෙරළෙන්නේ. අපි දෙන්නම එක ක්ෂේත්රයේ නිසා තේරුම් අරන් මේ ජීවන ගමන යන්න ලේසියි. අපි දෙන්නගෙම ජීවිතේ තමයි කලාව.
නදීශා අතුකෝරළ