මිනිස්සු කවුරුවත් මම දේවතාවියක් කියලා හඳුනාගන්නෙ නැහැ
ටෙලි නාට්‍ය ක්ෂේත්රයට දිනෙන් දින බොහෝ අලුත් මුහුණු එකතු වෙනවා. මෑත කාලයේදී ඒ විදියට ආ තවත් අලුත් රංගන ශිල්පිනියක ලෙස ‘නයනි චතුරිකා රාමනායක’ නම් කළ හැකිය. මේ දිනවල ඇය අපට හමුවන්නේ, ජී. නන්දසේන අධ්‍යක්ෂණය කළ ‘දෙකොන්මාරු’ නාට්‍යයේ චරිතයක් සමගය. ඊට අමතරව ලක්මිණි අමරදේවගේ ඒ හීනෙ නාට්‍යයේ චරිතයක්ද රඟපාන නයනි කවුද කියා අපි බලමු.
නයනි. සම්පූර්ණ නම කියන්නද? නයනි කියන්නද? චතුරිකා කියන්නද?
නිතරම භාවිතා කරන්නෙ නයනි රාමනායක කියලයි.
හැමෝටම පටන්ගැන්මක් තියෙනවානෙ. නයනිගෙ පටන්ගැන්ම ගැන කොහොමද සඳහන් කරන්නෙ?
මුලින්ම මම රඟපෑවෙ හිරු ඇවිදින් ටෙලි නාට්‍යයේ. මට ඒ අවස්ථාව ලැබුණෙ චාමර සමරවික්‍රම මහතා නිසයි. එයා තමයි මාව රංගන ක්ෂේත්රයට ගෙනාවෙ. චාමර සමරවික්‍රම අයියා තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාට මාව හඳුන්වලා දුන්නෙ. එතැනින් පටන් ගත්ත රංගන ගමන ටිකින් ටික හෙමිහිට කරගෙන යනවා.
‘නයනි’ ගෙ ගම?
මීගමුව.
ඉගෙන ගත්තේ?
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන්.
නයනිගෙ පවුලේ අයත් කලා අංශයට ලැදිද?
කොහෙත්ම නැහැ. අපේ තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස සිටියදී තමයි තාත්තා විශ්‍රාම ගත්තෙ. අම්මා ගුරුවරියක්. මගේ එකම අයියා වෛද්‍යවරයෙක්. එයා සේවය කරන්නෙ අනුරාධපුර රෝහලේ. උසස් පෙළ ලිව්වට පස්සෙ මගේ අරමුණ වුණේ උපපොලිස් පරික්ෂකවරියක ලෙස පොලිස් සේවයට බැඳෙන්නටයි. ඒ තනතුරට පුදුම ආසාවක් තිබුණෙ. ඒ වෙනුවෙන් අයදුම් කළා. මගේ උස 5’ 3’’ යි. ඒ නිසා ඒ අවස්ථාව අහිමිව ගියා.
අඟලක් උස මදිවීම නිසා කාන්තා එස්.අයි. සිහිනය අහිමිවූ නයනි?
ඔව්, ඒත් අදටත් මම පොලිස් සේවයට ආසයි.
ඇයි පොලිසියට එච්චරටම කැමැති?
මගේ කුඩා කාලයේ ඉඳලම මගේ වීරයා වුණේ මගේ තාත්තා. තාත්තා සමාජය එක්ක ගනුදෙනු කළ හැටි, එයාට ඒ නිසා ලැබුණු ගෞරවය, පිළිගැනීම වගේ දේ නිසා සහ විශේෂයෙන්ම තාත්තා හිටපු ඉතා දක්ෂ නිලධාරියෙක්. අසාධාරණය පේන්න බැරි කෙනෙක්. තාත්තාගේ ඒ ගතිගුණ නිසා මගෙත් ලොකුම ආසාව වුණේ කාන්තා පොලිස් පරික්ෂක ලෙස සේවය කිරීමටයි.
අසාධාරණය පේන්න බැරි ඒ තාත්තාගේ දියණිය වූ නයනිටත් අසාධාරණය පේන්න බැරිද?
කොතැන කොහොම මොන විදියට වුණත් අසාධාරණය මට පේන්න බැහැ. තරාතිරම හෝ පුද්ගලයා කවුද කියන එක අදාළත් නැහැ. අසාධාරණය නම්, අසාධාරණයම තමයි. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒ නිසාම මට බොහෝ අවස්ථාවන් පවා අහිමිවෙලා තියෙනවා. ඒත් මම මගේ ක්‍රමය වෙනස් කරන්නෙ නැහැ. සමහර අවස්ථාවලදී අසාධාරණය වෙච්ච කෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා අන්තිම ඒ පාර්ශ්වයන් දෙක මිත්‍රවෙලා අසාධාරණය වෙනුවෙන් කතා කළ මම අපහසුතාවයට පත්වූ අවස්ථා තියෙනවා.
නයනි වෘත්තියෙන් මොනවද කරන්නෙ?
මේ වන විට මම NVQ ලෙවල් 4 දක්වා රූපලාවන්‍ය හා කේෂාලංකරණ පාඨමාලාව හදාරා තියෙනවා. වෘත්තියමය වශයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස සියලු සුදුසුකම් සපුරා සිටින්නෙ. තව නොබෝ දිනකින් මගේම රූපලාවන්‍ය ආයතනයක් ඇරඹීමට කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. ඊටත් අමතරව කොළඹ සරසවියේ ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා. ඒ අංශ ඔස්සේ මිනිසුන්ට වඩාත් සාධාරණව සේවයක් කිරීම මගේ අරමුණයි.
‘නයනි’ ගෙ රංගන ජීවිතයේදී මුලින්ම මොන චරිතය ගැනද මිනිස්සු කතා කරන්න පටන් ගත්තේ?
අග්නි පියාපත් නාට්‍යයේ මට හොඳ චරිතයක් ලැබුණා. වැඩි දෙනෙක් මුලින්ම මා ගැන වැඩි දුර කතා කරන්න පටන් ගත්තෙ ඒ චරිතයෙන්. ඒකෙ නම ‘ආශා’. මේ දිනවල නම් වැඩි දෙනෙක් කතා වෙන්නෙ ඒ හීනෙ නාට්‍යයේ. ටානියා චරිතය සහ දෙකොන්මාරු නාට්‍යයේ චරිතය නිසයි. ඒ හිනෙ ටානියා කියන්නෙ දුෂ්ට චරිතයක්. ඒ කියන්නෙ පෙම්වතිය හෝ වීරවරිය නෙවෙයි. පළමු වතාවට තමයි ඒ වගේ චරිතයක් මට ලැබුණෙ. සාමාන්‍ය ජිවිතයේදී නම් මම කොහෙත්ම දුෂ්ට චරිතයක් නොවෙයි. ඒ අතරින් වැඩිපුරම මේ දිනවල මට ප්‍රතිචාර ලැබෙන්නෙ ‘දෙකොන්මාරු’ චරිතය නිසයි.
හරි, අපි ඒ ගැන කතා කරන්නට පෙර ඒ හීනෙ ටානියාවූ නයනිට සැබෑ ජීවිතයේ තියෙන හීනය මොකක්ද කියලා කියමු?
මේ ක්ෂේත්රය ගැන ආශාවක් තිබුණට මේ විදියට රඟපාවි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. නිළියක වීම අරමුණ වුණේ නැහැ. සරලව ජිවිතය ගෙවීම මට එදා ඉඳලම තිබුණු ආසාවක්. හැබැයි අද නිළියක වීමෙන් පස්සේ සම්මානයක් ගැනීමට හැකිවේ නම්, ඒක තමයි අද මට තියෙන අරමුණ. අරමුණකට වඩා හීනය ඒකයි. අහම්බයෙන් රංගනයට ආ මට සම්මානයක් ලැබුණොත් ගෞරවයෙන් එය බාර ගනිවි.
දෙකොන්මාරු චරිතය ගැන දැන් කියමු? දේවතාවියක් නේද?
මේ නාට්‍යයේ කතාවේ හැටියට දිව්‍යලෝකයෙන් දෙවි කෙනෙක් පෘථිවියට ඇවිත් ඉන්නෙ. එයා එන්නෙ විභාගයක් ලියන්න. ඒ විභාගය ලියලා එයා නැවතත් නියමිත කාලයට දිව්‍ය ලෝකයට යන්න ඕනෑ. ඒත් එයා ප්‍රමාද නිසා, සක්‍ර දෙවිඳුන් එයාගෙ දෙවඟන පෘථිවියට එවන්නෙ කලින් ආ දෙවියා ඇයි ප්‍රමාද කියලා බලන්නයි. ඇය ඇත්තටම ගත්තොත් දේව ඔත්තුකාරියක්. මුලින්ම මිනිස්සු කවුරුවත් මම දේවතාවියක් කියලා හඳුනාගන්නෙ නැහැ. හැබැයි පුංචි ළමුන්ගෙ හිත් මල් වගේලුනෙ. ‘පුංචි’ ළමුන් තමයි මුලින්ම ඇය දේවතාවියක කියලා හඳුනාගත්තෙ. ‘දෙකොන්මාරු’ කතාවේ ඉතිරිය හරි ලස්සන වේවි. මගේ චරිතයේ හැටියට එක එක දේ අතුරුදහන් කරන්න, නැති දේ මවන්න පුළුවනි. මේ දෙකොන්මාරු නාට්‍යයේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලබාදුන්නෙ චාමින්ද අරඹේගෙදර. මේ ක්ෂේත්රයට ආවට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්යයකට යන්න මට නිතරම උදවු කළේ චාමින්ද අයියා. මගේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ එයා මට උපදෙස් ලබාදෙන ගුරුවරයෙක් හා සමානයි. එයා මට මුලින්ම හඳුනාගන්න ලැබුණෙ 2021 දෙරණ අවුරුදු කුමාරිය අවසන් වටයට මාව තේරිලා සිටියදීයි. මාව මේ ඩ්‍රාමා එකට ගත්තෙ සුරංග සතරසිංහ අයියා. එයා තමයි මාව ඉන්ටර්විව් කළේ. මේ කතාවේ සූරසේනගෙ චරිතය සහ කතාව ලියන්නෙත් එයා. සුරංග සතරසිංහ අයියා කියන්නේ අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ඇති කෙනෙක්.
සැබෑ ජීවිතයේ දී ‘නයනිට’ වරම් ලැබීලා නැද්ද? දෙකොන්මාරු නාට්‍යයේ දේවතාවියට වගේ?
මම බුද්ධාගම විශ්වාස කරන කෙනෙක්. ඒ වගේ පංසල් - කෝවිල් දේවාලවලට යන්නත් ආසා කෙනෙක්. එහෙම ගිහින් මොකක්හරි සුබ දෙයක් ගැන හිතලා ප්‍රාර්ථනාවක් කළොත් ඒක මගේ ජීවිතයට ලැබෙනවා. අවංකවම හදවතට හිතෙනදේ තමයි ඒ විදියට ඉටු වෙන්නෙ.
‘නයනි’ ප්‍රේමය මොන වගේද?
වත්මන් කාලයේදී හැමෝටම වගේ රටේ ප්‍රශ්න තියෙනවනෙ. ඉතින් ඒ නිසා ප්‍රේමය – ආදරය – විවාහය ගැන අපි ඉක්මන් විය යුතු නැහැ. මාව හොඳට තේරුම් ගන්න පුළුවන්, මගේ වැඩවලට උදවු කරන සහ මට සැර නොකරන කෙනෙකුට තමයි මගේ ආදරය.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ