මිනිසුන්ට මහ පොළොවට ගහට කොළට ආදරය කරන පොළොවෙ සුවඳ හඳුනන චරිතයක්
දිනෙත් ඩි සිල්වා යනු, රඟපෑ ප්‍රථම චිත්‍රපටය නිසාම නැගී එන නළුවාට හිමි සරසවි සම්මාන ලද නව පරපුරේ රංග ශිල්පියෙකි. මේ දිනවල දිනෙත් ඩි සිල්වා සිනමා තිරයෙන් අපට හමුවන්නේ, ක්‍රිෂාන්ත මනම්පේරි සහ විහාර සමරසිංහ එක්ව නිර්මාණය කළ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටයේ සුමතිපාල නමැති චරිතය සමගය. තිරගත වීමට නියමිත ‘කන්දක් සේමා’ චිත්‍රපටයේ ‘පෙම්බරා’, ‘ශ්‍රී සිද්ධා’ චිත්‍රපටයේ ‘මහා විජයබාහු’ ලෙසත්, ‘1970 Love Story’ චිත්‍රපටයේ ‘හාමු’, ‘යාත්‍රා’හි ‘නිවේදක’, ‘ඉත්තා’ චිත්‍රපටයේ ‘සේන්’ ලෙස හමු වීමට නියමිත දිනෙත්, ‘හිතුමතේ ජීවිතේ’ ගැන අපට කියන්නේ මොනවද බලමු.
දිනෙත් කාලයකදී පේන්න ඉන්නවා, කාලයකදී නැහැ?
“අන්තිමට මම රඟපෑවේ ‘ෂෙලීනා’ චිත්‍රපටයේ. ඉන් පස්සේ ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි නිර්මාණයට දායක වුණා. ඒක නිර්මාණය කළේ සංජය නිර්මාල්. සයිමන් නවගත්තේගම ශූරින්ගේ කතාවකට අනුව කළ නිර්මාණයක්. පසුගිය කාලයේදී රටේ පැවැති වාතාවරණය එක්ක යම් යම් වැඩ පසුවට කල් ගියා. ඒවා ළඟදීම යළි පටන් ගනීවි.”
දිනෙත් මේ ගමන ආ හැටි මතක් කළොත්?
“ක්ෂේත්රයට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ මියුසික් වීඩියෝවලට පෙනී සිටියා. රංගන ක්ෂේත්රයට ආවේ ඉන් පස්සෙයි. රංගන ගමන පටන්ගත්තේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයෙන්. චත්‍ර වීරමන්ට ඒ ගරුත්වය පුදන්න ඕනෑ. එහි රඟපෑම නිසා සරසවි සහ හිරු සම්මාන ලබන්නට තරම් මම වාසනාවන්ත වුණා. එම වසරේ නැගී එන නළුවා ලෙස ඒ සම්මාන ලබාගත්තේ.” මම
දිනෙත්ගේ අරමුණ වුණේ?
“රංගන ක්ෂේත්රයට ඒමේ බලාපොරොත්තුව නෙවෙයි මට තිබුණේ. නිරූපණ ක්ෂේත්රයේ රැඳී කටයුතු කරද්දී රංගනයට මග විවර වුණේ අහම්බයකින්. මම ඉගෙන ගත්තේ කළමනාකරණ අංශයෙන්. ජීවිතයේ අවුරුදු 10ක් විතර ගෙවුණේ එංගලන්තයේ. ලංකාවට ඇවිත් රංගන ශිල්පියකු වේවි කියලා හිතුවේ නැහැ. සිනමාවට, කලාවට ආදරය කරන කෙනෙක් වුණාට ඒ දිනවල නළුවකු වීමේ අරමුණ තිබුණේ නැහැ. කොහොම වුණත් ලැබුණු ඒ අවස්ථාව ගෞරවයක් කරගෙන රංගනයට අවංක වී ගමනක් යමින් සිටිනවා.”
අද වෘත්තිය නිරූපණය ද? රංගනය ද?
“අද වෘත්තිය රංගනය සහ නිරූපණය බවට පත්වෙලා. මීට කලින් එංගලනත්යට යෑමට පෙර සමාගමක සේවය කළා.”
දිනෙත් කිව්වාම?
“මගේ නමේ තේරුම නම් ඇස් දෙක.”
දිනෙත් රඟපෑ චිත්‍රපට ඉදිරියට තමයි එන්න තියෙන්නේ?
“ඔව්. චිත්‍රපට පහක් විතර එන්න තියෙනවා. ඒවා තිරගත වීමට ප්‍රමාද වුණේ රටේ පැවැති වාතාවරණය. හොඳට පැවැතියේ නම් ඒවා තිරගත වීම සහ තවත් වැඩ බාර ගැනීමට ඉඩ තිබුණා. ‘හිතුමතේ ජීවිතේ’ කරලත් අවුරුදු පහක් විතර වෙනවා.”
‘හිතුමතේ ජීවිතේ’ ගැන කතා කරමු?
“ ‘හිතුමතේ ජීවිතේ’ අධ්‍යක්ෂණය කළේ ක්‍රිෂාන්ත මනම්පේරි. නිෂ්පාදනය කළේ විහාර මනම්පේරි. මේකේ මම රඟපාන්නේ ‘සුමතිපාල’ නමින් චරිතයක්. මෙහි තිරපිටපත ලියැවුණේ උදේනි සමන්කුමාර ලියූ කතාවකට අනුවයි. එයාගේ නවකතාව පිටපතට ගොනු කළේ ඉන්දික අතුල ප්‍රියන්ත. සමාජයේ බොහෝ කතාබහට ලක්වූ කතාවක් තමයි උදේනි සමන්කුමාර පොතකට ලියා තිබුණේ. මම පසුගිය කාලයේ කළ චරිත සසඳා බැලුවොත්, මේක හාත්පස වෙනස් චරිතයක්. ඒ වෙනසට මම කැමැතියි. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූවක් නිසා මට ලැබුණ මේ චරිතය බොහොම ආදරයෙන් සහ කැපවීමෙන් ගෞරවයෙන් කළ බව කියන්න පුළුවනි.”
‘සුමතිපාල’ ගැන කියමු?
“මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ‘සුමතිපාල’. බොහොම ආදරණීයව ගමක ජීවත් වූ පුංචි පවුලකට අයත් කෙනෙක්. ඔවුනට තිබුණු හීන, ප්‍රාර්ථනා සියල්ල බොඳ වී යන්නේ සමාජ අසාධාරණය නිසයි. ඒ අසාධාරණ සියල්ල හමුවේ නැගී සිටින අයියා කෙනෙක්.”
නරඹන්නකු ලෙස මේ චිත්‍රපටය ඔබට දැනෙන්නේ කොහොම ද?
“මේක දැනෙන චිත්‍රපටයක් කිව්වොත් හරි. ලෝකයේ විවිධ අසාධාරණකම් අපි දකිනවා. බලය ඇති මිනිස්සු ඒ බලය පාවිච්චි කරලා අයුතු ලෙස තවත් මිනිස්සු පාගා ගෙන අසාධාරණ ලෙස ජීවත්වන හැටි දකින්න ලැබෙනවා. එවැනි යුගයක තම පවුලට සිදු වූ අසාධාරණය හමුවේ නැගී සිටින අයියා කෙනකුගේ කතාව සමාජයට කියන පණිවුඩය මේ චිත්‍රපටය ඔස්සේ නරඹන්න පුළුවනි. සුමතිපාල හරහා එකිනෙකට ගලා යන දර්ශන රූගත කර ඇති අයුරු ඉතාම සජීවි බවක් ගෙන දෙන්නේ. සමහර දර්ශන දකිද්දී මටම මගේ නෙතට කඳුළක් ගෙන දුන්නේ. එය ප්‍රේක්ෂකයාටත් ගෙන දේවි යන විශ්වාසය මට තියෙනවා.”
මෑත කාලයේදී තිරගත වූ චිත්‍රපට මිනිසුන්ට හොඳ ආස්වාදයක් ගෙන දුන් නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවනි. ‘හිතුමතේ ජීවිතේ’ මිනිස්සු නැරැඹිය යුත්තේ ඇයි? මේ නම අල්ලලා යාවි ද?
“හිතුමතේ ජීවිතේ කියලා තමාගේ සිරුරේ පච්චා කොටාගෙන සිටින අයියා කෙනෙක් ගැන පසුගිය සමයේ බොහෝ දෙනා කතා කළා. ඒක පාදක කරගෙන තමයි සුමතිපාලගේ කතාව සමාජයට පණිවුඩයක් කියන්නේ. තම නැගණියට සිදු වූ අසාධාරණය හමුවේ නැගී සිටින අයියා කෙනෙක්.”
දිනෙත්ගේ ජීවිතේ ගෙවෙන්නේ හිතුමතේ ද? නැත්නම් මොන විදිහට ද?
“මට තියෙන්නේ හිතුමතේ ගෙවෙන ජීවිතයක් නෙවෙයි. කලාකාරයකු ලෙස මම මගේ වගකීම් හඳුනාගෙන වෙනස් විදිහට සමාජයේ සහ රටේ ලෝකේ සිද්ධ වෙන දේ දිහා බලන කෙනෙක්. පරිසරයට ආදරය කරන සමාජයට ආදරය කරන ලෙංගතු චරිතයක්. බොහොම මිත්‍රශීලි කෙනෙක්. ජීවිතයට යම් යම් අත්දැකීම් එක්කාසු කරගනිමින් ගත කරන යහපත් ජීවිතයක් කියලා කියන්න පුළුවනි. නිහඬ නිශ්ශබ්දව ගත කරන ජීවිතයක් වුණත්, සමාජ අසාධාරණය හමුවේ පෙනී සිටින කෙනෙක්. මිනිසුන්ට මහ පොළොවට ගහට කොළට ආදරය කරන පොළොවෙ සුවඳ හඳුනන චරිතයක්.”
හිතුමතේ කරන ආදරයක් ද තියෙන්නේ?
“හිතුමතේ කිසි දෙයක් කරන්නේ නැහැ. මගේ බලාපොරොත්තු එක්ක සිහින එක්ක හෙමින් ගමනක් යන පුද්ගලයෙක්. උදේ අවදි වූ මොහොතේ සිට විවේකය ලැබෙන පරිදි පොතපත කියවන කෙනෙක්. රටේ පැවැති වාතාවරණය එක්ක පසුගිය කාලයේදී වැඩිදුර පොතපත කියවන්න ලැබුණා. ඒ වගේම මම බොහොම චිත්‍රපට ලෝලියෙක්. සංගීතයට බොහොම ප්‍රිය කෙනෙක්. මට හමුවන මිනිසුන් සහ යහළුවන් සමග සුහදශීලීව දවස ගෙවන කෙනෙක්.”
සඳුන් ගමගේ