මනෝ අයියා නැති අඩුව පුරවන්න නම් ඉතින් කවුරුවත් නැහැ
වෙලාවකට අපේ සමාජයත් හරියට කෝලම් මඩුවක් වගෙයි. කෝලම්කාරයෝ බොහෝමයි. ඉතින් මේ වගේ කෝලමක් වෙච්ච සමාජයට පණිවුඩයක් කියමින්, නිර්මාණය වූ නාට්‍යයක් ලෙස ‘‘කෝලම් කුට්ටම’’ නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ රචනයක් වූ මෙය අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. මේ විදියට නිර්මාණය වූ ‘‘කෝලම් කුට්ටම’’ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට දායකව සිටින සම්මානනීය රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල කාලයකට පසුව සඳැල්ලට ආවේ මේ විදිහටයි.
කාලයකට පසුව නේද?
සඳැල්ල සමග පිළිසඳරකට ආවේ කාලයකට පසුවයි. ඒ හැරත් පසුගිය කාලයේදී රටේ පැවැති වාතාවරණය සහ කොවිඩ් වසංගතය හමුවේ, හැමෝටම වැඩ අඩු වුණාණෙ. රංගන ශිල්පියකු ලෙසත් මටත් ඒ පසුබෑමට ලක්වෙන්න සිද්ධ වුණා. එයින් පසුව තවම ‘‘වේදිකාව’’ හරියට ප්‍රේක්ෂකාගාරය වෙත විවර වුණේ නැහැ. ඒත් ඒ අතරතුර විකාශය වෙමින් තිබූ නාට්‍ය කීපයකටම සම්බන්ධ වුණා. රේස්, මහවිරු පණ්ඩු සහ ඉරට ළඟ මිනිස්සු විකාශය වුණා. ඒ විදියට වැඩ නොකරම හිටියෙත් නැහැ.
කොහොම වුණත්, නලීන් ප්‍රදීප් උඩුවෙල කියන්නෙ නිතරම පෙනී සිටින කෙනෙක් නෙවෙයි නේද?
විශේෂයෙන්ම ඒකට හේතුව දක්ෂතාවය විතරක්ම නෙවෙයි. දක්ෂතාවය කෙතරම් තිබුණත්, ලැබෙන මුදල මත තමයි බොහෝ විට ඒ චරිතය භාරගන්නවද නැද්ද කියන දේ තීරණය වෙන්නෙ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගැටලු මතු වෙනවා. නමුත් අපේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට අපව ඩිමාන්ඩ් කරන්නත් බැහැ. මොකද නාලිකා විසින් ටෙලිනාට්‍යයකට මිලක් නියම කරනවා. ඉතින් ඒ ගැනත් හිතලා අපට වැඩ කරන්න වෙනවා. අපි ලොකුවට ගණන් කියන්නෙ නැහැ. ඒත් පවතින තත්ත්වය එක්ක රංගන ශිල්පියකු හට වටිනාකමක් තියෙන්න එපායැ. ඒ නිසා සමහර විට අවස්ථා නොලැබෙන බවත් කියන්න පුළුවනි. ඒ හැරත් අද සෑහෙන නළු නිළි පිරිසකුත් ඉන්නවනෙ. ඒ ඔක්කෝමත් හරි, අපි අපට ගැලපෙන චරිත බාර ගන්නත් ඕනැ නෙ. පිටපතේ මම හොයන විදිහෙ චරිතය ලියැවිලා තියෙන්නත් එපායැ.
වෙනත් වෘත්තියකත් නියැලෙනව නේද?
ඔව්. මම ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙ තාක්ෂණ නිලධාරියකු ලෙස සේවය කරනවා. ඒ අතරේ තමයි රංගනයට දායක වෙන්නෙ. හැමදාම විවේකය ලැබෙන්නෙත් නැහැනෙ. විවේකය ඇති විදියට හොඳයි කියල හිතෙන වැඩකට රඟපෑම්වලටත් දායක වෙනවා.
‘‘නලීන්’’ගෙ ගෙදර ජීවිතය කොහොමද?
අනේ කිසි ප්‍රශ්නයක් නැහැ, මමයි-බිරිඳයි සහ අපි දෙන්නට ඉන්නෙ පුතාලම දෙන්නෙක්. බිනර චිරාත් ලොකු පුතා. දෙවැන්නා කළිඳු පුල්සර. දෙන්නම ඉගෙන ගන්නෙ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. ලොකු පුතා මේ වසරෙදි උසස් පෙළ කරන්නෙ. රටේ තියෙන ප්‍රශ්න අතරේ, දරුවන් ඒ ගැටලුවලට මුහුණ දෙමින් ජීවිතයට මුහුණ දෙනවා මොන දේ වුවත්. අපි හතර දෙනා ගෙදර ඉන්නකොට සුන්ඳරයි. දරුවොත් එක්ක පසුගිය කාලයේදී වැඩිපුර කාලය ගත කරන්න ලැබුණා. ඒක ලොකු සතුටක්.
ඉතින් ගෙදර අය එකතු වුණාම වැඩිපුර කතා වෙන්නෙ?
නිර්මාණ ගැන කතා වෙනවා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ගැන, අනාගත බලාපොරොත්තු ගැන, කතා කරනවා. ඒත් නැතිනම් අපි ඔක්කෝම එකතු වෙලා රසවත් කෑමක් හදාගන්න ලෑස්ති වෙනවා. වත්තපිටිය, ගෙදර සුද්ද පවිත්‍ර කර ගන්නවා. ඒ වගේ තමයි ඉතින්.
‘‘නලීන් ප්‍රදීප්’’ කියන්නෙ බොහෝ විට වේදිකාවේ චරිතයක්නෙ. පහුගිය කාලයෙදී දායක වූ නිර්මාණ මොනවද?
හෙන්රි ජයසේන ශූරීන්ගෙ හුණුවටයේ කතාව, උදයසිරිගෙ ‘‘සුද්දෙක් ඔබ අමතයි’’ නාට්‍යයට දායක වුණා. අන්තිමට ජයලත් මනෝරත්නයන් ‘‘සුද්දෙක් ඔබ අමතයි’’ නාට්‍යයේ රඟපෑවෙ කටාර් රාජ්‍යයේ පැවැත්වූ දර්ශනයකදීයි. ඒ ආවාට පස්සෙ තමයි මනෝ අයියා අසනීප වුණේ. මනෝ අයියා නැති අඩුව පුරවන්න නම් ඉතින් කවුරුවත් නැහැ. අපට හිටපු දුර්ලභ ගණයේ කලාකරුවෙක් ඔහු.
නලින් ‘‘කෝලම් කුට්ටමේ’’ චරිතය ගැන කොහොමද විස්තර කරන්නෙ?
ජයප්‍රකාශ් සිවගුරුනාදන් මම කාලයක සිට දන්නා හඳුනන අධ්යක්ෂවරයෙක්. රචක, සද්ධා මංගල සූරියබණ්ඩාරත් එහෙමයි. ඊට කලින් සිවාගෙ නාට්‍ය දෙකක විතර රඟපාලා තිබුණා. මේ චරිතයට, එනම් ‘‘කෝලම් කුට්ටමේ’’ ප්‍රධාන චරිතය වන ගුරුන්නාන්සේගෙ චරිතයට මට ඔහු ආරාධනා කළාම මම සතුටින් එය බාර ගත්තා. සම්ප්රදාය එක්ක, අපේ වැළලී ගෙන යන, අපේ රටේ කලාවක් වන රූකඩ කලාවට ඇලුම් කරන, තමන්ගෙ පරපුරෙන් උරුම වූ ඒ කලාව රැක ගන්න උත්සාහ කරන ගුරුන්නාන්සේ කෙනෙක්. ඒ ගුරුන්නාන්සේට එයාගේ කලාව පණ වගේ. එච්චර හැඟීමක් තියෙන්නෙ. පරම්පරාවෙන් ලැබුණු ඒ කලාව රැක ගන්න වෙර දරණ ගුරුන්නාන්සේ කෙනෙක්.
ඒ හැර විකාශය වන්නෙ?
මහවිරු පණ්ඩු සහ සියතෙ විකාශය වන ‘‘විසේකාර හාදුවක්’’ නාට්‍යයේ තාත්තාගෙ චරිතයක් කරන්නෙ. පළමු විවාහයේ බිරිඳ නැතිවෙලා, දෙවැනි කසාදය කරගෙන ඒ කුඩම්මගෙන් දරුවන්ට වෙන අසාධාරණය විඳදරාගෙන, ඒ පීඩනයට ලක්වෙලා, දරුවනුත් ආරක්ෂා කරගෙන ජීවත් වන තාත්තා කෙනෙක්.
කාලයක් ඔබ ක්‍රියාකාරී දේශපාලනයටත් සම්බන්ධ වෙලා හිටියා නේද?
2015 දී මම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයට බැඳිලා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. පසුව බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු 5 ක් වැඩ කළා. අදටත් අපේ නායකතුමා හා බැඳී ඒ දේශපාලන කටයුතුවල යෙදෙනවා. මම කොළඹ දිස්ත්‍රික් (සජබෙ) සංවිධායකවරයකු ලෙසත් කටයුතු කරනවා.
මේ රටට මොන වගේ දේශපාලනයක්ද? අවශ්‍ය?
මම කියන්නෙ. ප්‍රජාව, නැත්නම් ජනතාව තමයි තීන්දු තීරණ ගන්නෙ. නිවැරැදි නායකයින් තෝරා පත් කර ගන්නට නිවැරදි පුද්ගලයින් හරහා සැළසුම් ක්‍රියාත්මක කිරීම සහ නීති සම්පාදනය කිරීම කළ යුතුයි. රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නෙ. අනාගත පරම්පරාවට මෙරට ජීවත්වීමට වඩාත් ගුණවත් හරවත් තැනක් බවට පත් කළ යුතුයි. දෙකෝටි විසි ලක්ෂයකට එහා ගිය ජනතාවක් අතරින් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතු, වඩාත් සුදුසුම පුද්ගලයින් යැවීමට කටයුතු කළ යුතුයි. ඒක ජනතාව සතු වගකීමක්. එතැනදී බලය-කුලය පක්ෂ පාට නෙවෙයි වැදගත්. උගත් සහ ප්‍රායෝගිකව රටට වැඩක් කළ හැකි මිනිසුන් අවශ්‍යයි. මහ පොළවෙ පය ගහලා ඉන්න, ජනතාවගේ සිතුම් - පැතුම් තේරෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වෙ නැති එකේ ඵලවිපාක තමයි අද අපි බුක්ති විඳින්නෙ.
ඔබ ඔය කියන විදියේ මිනිස්සු මේ පොළවෙන් හොයා ගන්න පුළුවනිද?
පුළුවනි, මහා විද්‍යාලවලින්, මධ්‍ය මහා විද්‍යාවලින් ආපු උගත් බුද්ධිමත් රට ගැන, ජාතිය ගැන හිතන මිනිස්සු ඉන්නවා. සියලුම ජාතීන්, සියලුම ආගම් ගැන හිතන මිනිස්සු තමයි අවශ්‍ය. සකළ කලාව තමයි ලෝකය ඉදිරියට ගෙනි යන්නෙ. ලෝකය ඉස්සරහට ගෙනියලා තියෙන්නෙ ඒ වගේ මිනිස්සු. දේශපාලනයත් කලාවක්. එහෙම නොවූ පිරිසක් ආ එක සහ උගත් පිරිසක්, නූගත් පිරිසක් විසින් පාලනය කිරීමට යාමේ විපාක තමයි අද රටක් හැටියට අපි විඳවන්නෙ.
සඳුන් ගමගේ