මුදලට වඩා කරන වැඩේ ගුණාත්මක බව තමා මම මුලින්ම බලන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් තරුණ ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ රුවන්ත පෙරේරා වසර ගනණාවක් මුළුල්ලේ සිට ඡායාරූපකරණයේ යෙදෙන්නෙකි. සිය ඡායාරූප වෙනුවෙන් බොහෝ ඇගයිම්වලටද ලක්ව ඇති හර්ෂ රුවන්තට මෙවර සාරවිට තුළින්ද ඉඩක් වෙන් කළා.  

ඔබ ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ කොහොමද?

මීට වසර තුනකට විතර පෙර මම පුංචි ගැණු ළමයෙකුගේ ඡායාරූප ටිකක් ගත්තා. ඒ ළමයාගේ උපන්දිනය වෙනුවෙන්. ඒ ළමයාට ඇති අවුරුදු දෙකක් විතර එතකොට. ඒක තමයි ඡායාරූප ශිල්පියෙක් විදිහට මගේ පළමු අත්දැකීම. හිතුවටත් වැඩිය හොඳට පළමු වැඩේම සාර්ථක වුණා. ඇත්තටම මම ඡායාරුප ශිල්පය ගැන ලොකුවට හදාරපු කෙනෙක් නෙවෙයි. මම මේ වැඩේ අල්ල ගත්තේ මමම කැමරාවට පුරුදු වෙලා කිව්වොත් හරි.

මේ වෘත්තිය තෝරා ගැනීම ඔබේ හීනයක් සඵල වීමක් කිව්වොත් හරි?

ඔව්, හැබැයි මේක මේ අවුරුද්දක දෙකක ඉඳලා මගේ හිතේ තිබුණ හීනයක් නම් නෙමෙයි. මේ හීනේ ඇතිවුණේ මට තෙරේන කාලේ ඉඳලා. පොඩි කාලේ අපි හැමෝටම විවිධ හීන තියෙනවා නේ. ඒ හීන අතරේ මගේ උඩින්ම තිබුණේ හීනේ තමයි කවදාහරි දවසක ඡායාරූප ශිල්පියෙක් වෙනවා කියන එක. මම ඉතින් තෙරේන කාලේ ඉඳලා මේ දේ උත්සාහ කළා. ඡායාරූප ගන්න අයව අධ්‍යයනය කළා. ඒ අය වැඩ කරන්නේ කොහොම කියලා හිතුවා. ඡායාරූප ගන්න පසුතල පවා මගේ හිතේ මම මවාගත්තා. ඉතින් ගොඩක් සතුටුයි මගේ පුංචි කාලේ හීනේ අද ඉටුවෙලා තියෙන ඒක ගැන.

ඡායාරූප ශිල්පියෙක් විදිහට දැන් ඔබ ස්ථාවරද?

ඔව් මම හිතනවා මම යම්තාක් දුරට  මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙලා තියෙනවා කියලා. එහෙම කියන්න හේතු කිහිපයකුත් තියෙනවා මට. අද වෙන කොට ගොඩක් අය මාව නමින් දන්නේ නැහැ. රුවන්ත ස්ටුඩියෝ කියන නමින් තමයි හැමෝම වගේ මාව දන්නේ. ඇත්තටම දැන් මම මේ ක්ෂේත්‍රය තුළ හොඳ නමක් හදාගෙන තියෙනවා. නිරූපණ ක්ෂේත්‍රයට මා හරහා ගොඩක් නවකයෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන හිතන කොට මට නිහතමානි ආඩම්බරයක් දැනෙනවා. ඉදිරියේදී තව ජනප්‍රිය නිරූපිකාවන් සමග වෙනස්ම විදිහේ වැඩ කටයුත්තක් කරන්න මම මේ දිනවල සැළසුම් කරමින් ඉන්නවා.

වැඩක් භාරගනිද්දි ඔබ මුලින්ම බලන්නේ මුදල්ද නැත්නම් වැඩේ ගුණාත්මක භාවයද?

මම ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කරද්දි මුලින් බලන්නේ කරන වැඩේ ගුණාත්මක බව. ඊට පස්සේ තමයි කරන වැඩේට සාධාරණ මුදලක් ලැබෙනවාද කියන දේ. හොඳ වෙනස්ම විදිහේ වැඩකට කතා කළොත් මම ඊට ලැබෙන මුදල ගැන ලොකුවට හිතන්නේ නැහැ. කරන වැඩේ සාර්ථක වුණොත් මට නමක් හැදෙනවා. නමක් හැදුණොත් වැඩත් අනිවාර්යයෙන්ම මට ලැබෙනවා කියලා මම දන්නවා. ඒ නිසා මම මොන වැඩේ කළත් ඒ වැඩේ සියයට සියයක් උපරිමය දෙන්න තමයි බලන්නේ.

තරුණයෙක් විදිහට ඔබ කරන වෘත්තිය ගැන තෘප්තිමත්ද?

මගේ වයසත් එක්ක ගත්තොත් ඡායාරූප ශිල්පියෙක් විදිහට අද ඇවිල්ලා තියෙන තැන ගැන ගොඩක් සතුටු වෙනවා මම. මේ ක්ෂේත්‍රය තුළ ගත කරපු කාලයේ කලකිරිමි විවිධ බාධක ගොඩකට මම මුහුණ දීලා තියෙනවා. අවුරුදු කිහිපයක් තිස්සේ මම මහන්සි වෙලා හදපු සමාජ ජාලා පිටු කිහිපයක්ම විවිධ පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාකලාප නිසා මට නැති වෙලා ගියපු අවස්ථාත් මේ අතර තියෙනවා. මොන ප්‍රශ්න ආවත් මගේ පවුලේ අම්මා තාත්තා අයියල දෙන්නා හා අක්කා මා සමග ඉන්නවා. ඒ අය තමයි මගේ හයිය. හැමෝම එක වගේ මාව ශක්තිමත් කරනවා. ඒ හැමෝටම ගොඩක් ආදරේයි මම.

බුද්ධික සේනාධීර