මෙදා සැරේ අවුරුද්දට මම ඉන්නේ හිරු එකේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ ගායකයෙක් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස වර්තමානයේ කටයුතු කරන සූර්යා දයාරුවන්ටද මෙවර විශේෂ අවුරුදු කලාපය තුළින් අපි මෙසේ ඉඩක් වෙන් කළා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවත් සමග කාර්යබහුල වන කලා තරුවක්ද වන සූර්යා සිය අලුත් අවුරුදු සැමරීම ගැන කිව්වේ මේ වගේ කතාවක්..

පසුගිය වසර කිහිපයේදීම වගේ මේ පාරත් මම අවුරුදු දවසට රූපවාහිනි නාළිකාවක් සමග සජිවිව සම්බන්ධ වෙනවා. ඒ හිරු රූපවාහිනි නාළිකාවත් එක්ක. ඊට පස්සේ මගේ සංගීත කණ්ඩායම සමග අවුරුදු දවසෙන් පස්සේ නුවර ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙනවා. ඒ කලා කටයුතුත් එක්ක ඉතින් මේ අවුරුදු සතිය ඉතාම කාර්යබහුල විදිහට තමා මට ගෙවන්න සිදුවෙලා තියෙන්නේ.

පවුලේ අය එක්ක ගොඩක් වෙලාවට මම අවුරුදු සමරන්නේ අවුරුද්දෙන් පස්සේ. ඒ කියන්නේ අප්‍රේල් 20 වැනිදා වගේ කිට්ටු කරලා. පවුලේ ඉතින් ගොඩක් අය ඉන්නවානේ. මටම කියලා සහෝදර සහෝදරියෝ හත් දෙනෙක් ඉන්නවා. ඒ අයගේ පවුල්වල ඔක්කොම කට්ටිය එකතු වුණාම ඉතින් සාමාජිකයෝ 25ක් විතර ඉන්නවා. එදාට තමයි මේ හැමෝම කාලේකට පස්සේ එකට මුණ ගැහෙන්නේ. ඒ දවස ඉතින් ගෙදර පොඩි අවුරුදු උත්සවයක් වගේ තමා.

පවුලේ ඔක්කොටම ඉතින් දැන් මම තෑගි අරගෙන තියෙන්නේ. අම්මාට, තාත්තාට විශේෂයෙන්ම. තව පොඩි කට්ටිය ඉන්නවා අක්කලා අයියලාගේ පොඩි අය. මේ හැමෝටම ඉතින් මම පුරුද්දක් විදිහට තෑගි අරන් දෙනවා. රටේ දැන් තියෙන තත්ත්වයත් එක්ක අවුරුදු සමරන්න අපි හැමෝටම බෑ. අපිටත් එහෙම තමා. ඒත්, පුතෙක්, සහෝදරයක්, පොඩි අයට වැඩිහිටියෙක් විදිහට මගේ තියෙන යුතුකම් කොටස මම පුළුවන් විදිහට ඉටු කරනවා.

මගේ ගම පොළොන්නරුව. පොඩි කාලේ ඉඳලා ඉතින් අවුරුදු සැමරුවේ ගමේ මම. අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පස්සේ කොළඹ ආවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න. ඊට පස්සේ නම් මගේ ගමේ අවුරුදු සමරන්න මට ලැබුණේ ගොඩක්ම අඩුවෙන්. හැබැයි ඉතින් අද නගරේ ගමේ කියලා විශේෂයක් නැහැ. ගමත් දැන් නාගරික මට්ටමට ඇවිල්ලා තියෙනවා මම දකිනවා. ඒ හින්දා ගමේ අවුරුදු අසිරිය කියලා දෙයක් වර්තමානයේ මම දකින්නේ නැහැ.

ගමේ ඉන්න දවස්වල නම් ඉතින් අපි අවුරුද්දට ලැහැස්ති වෙන්නේ අප්‍රේල් මාසය පටන් ගන්න කොටම වගේ. අම්මා කැවිළි පෙවිලි හදනවා. අම්මා හදන කැවිළි පෙවිලි අතරින් මම ගොඩක්ම ආස කන්න වැලිතලප, මුං ගුලි වගේ දේවල්. හැබැයි අනිත් කෑමත් රසයි. ඒත්, වැඩිපුරම මම කන්නේ කැමති වැලිතලප, මුං ගුලියි. අදටත් මම අම්මා හදන මේ කැවිළි කන්න ගොඩක් ආසයි.

අවුරුදු කාලේට වැඩිපුරම කන්නේ අපි පළතුරු. විශේෂයෙන්ම අඹ කජූ වගේ දේවල්. යාළුවෝ ටිකත් එක්ක එකතු වුණාම ඉතින් අවුරුදු කාලේට මුළු ගම පුරාම ඇවිඳිනවා. ගඩා ගෙඩි කනවා. වැව්වල ගංගාවල නානවා පිනනවා. ඔරු පදිනවා මේ හැම දෙයක්ම කරනවා. ඉස්සර ගමේ තියෙන හැම අවුරුදු උත්සවයකටම වගේ මම සහභාගි වෙනවා. විශේෂයෙන්ම පිනන්න, ඔරු පදින්න. තව දක්ෂයි මම බිත්තර අල්ලන්නත්. හැම අවුරුද්දකම වගේ ඒකට මට දිනුමක් තියෙනවා. තව පොල් ගැමේ තරගවලට, ජන ගායනා වගේ තරගවලටත් මම ඉදිරිපත් වෙනවා.

පොඩි කාලේ විඳපු ඒ අවුරුදු අසිරිය අදටත් මගේ මතකයේ තියෙනවා. දැන් නම් මගේ ගමේ යාළුවෝ ගොඩක් නගරයේ පදිංචියට ඇවිල්ලා. සමහර අය විදෙස් ගත වෙලා රැකියා කරනවා. අපේ සහෝදර, සහෝදරියොත් දැන් ගමේ නැහැ. ඒ අයත් විවාහ වෙලා නගරේ පදිංචියට ඇවිල්ලා. මගේ පවුලේ පොඩි කට්ටියට එහෙම අපි පොඩි කාලේ විඳපු ඒ අවුරුදු අත්දැකිම් ලබන්න වාසනාව නැහැ. ඒ අතින් පොඩි කණගාටුවකුත් තියෙනවා මට.

බුද්ධික සේනාධීර