’මැණිකේ’ ලංකාවේ නොමැරෙන ගීතයක් වෙයි කියලා මම විශ්වාස කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොවක් කැලඹු ‘‘මැණිකේ’’ ගීතයෙන් අතිවිශාල ප්‍රතිචාරයක් දිනාගන්නට හැකිවූ ගායන ශිල්පියෙක් වන සතීෂාන් රත්නායක මේ වන විට තවත් ගීත නිර්මාණයක් එළිදක්වා තිබෙනවා. මේ සටහන ඒ වෙනුවෙන්.

දුටුව දිනම නෙතග බැඳුනු

නුඹගේ රූ සොබා....

බලන බැලුමෙ හීසර වැදුනු

කුමරු මා තමා....

නිතඹ ලෙලෙන තාලෙට මෙහිත

ගින්නකි රෑ දිවා....

නුඹ හා රඟනා මේ හිතත්

අකීකරුයි නේ මා....

 

ඔමරි පෑ නුරා

දුටු මා හිත මුලා වෙලා....

නුඹ රඟන පා තබා

තාලෙට හිතත් නුඹෙ වෙලා නඟා....

 

සතීෂාන් දැන් ඔමරි පාන්න කෙනෙක් හොයාගත්තද?

තවම නම් නැහැ

ඉතින් මේ ‘‘ඔමරි’’ ගැන කියමු?

‘‘ඔමරි’’ මගේ අලුත්ම ගීතය එළිදක්වලා මේ වෙද්දි සතියක්. ඒ සතිය ඇතුළත ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ගොඩක් කල් අරන් මියුසික් වීඩියෝවක් එක්කම එළිදක්වපු නිසා ගොඩක් දෙනෙක් මේ වෙද්දි ගීතය නරඹලා තියෙනවා. ඒ ගැන ඉතින් සතුටක් තියෙනවා.

 

මේ ගීතයේ මියුසික් වීඩියෝව ගැනත් කියමු?

මේ ගීතයේ රූප රාමුවලට යොදා ගත්තේ ගමක අසිරිය. ඒ දේ ගොඩක් දෙනෙක්ට දැනෙනවා වැඩියි. විශේෂයෙන්ම මේ රූගත කිරීම් සඳහා අපි යොදාගත්තේ මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ‘‘නාඩගම්කාරයෝ’’ ටෙලි නාට්‍යය රූගත කිරීම් සිදුවෙන ස්ථානය, කරඩුතැන්න. ඒ තැනට ගොඩක් දෙනෙක් කැමති නිසා එතැන අපටත් යොදාගන්න හිතුණා.

ඒ ස්ථානය යොදාගන්න අපිට නාඩගම්කාරයෝ නිෂ්පාදකවරයා චාමර සමරවික්‍රමත් එහි පොඩ්ඩි චරිතය රඟ දක්වන නිම්මි මනෝහාරි රංගන ශිල්පිනියත් ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඉතින් මගේ ගීතයටත් ගීතයේ වචනවලටත් මේ ස්ථානය හොඳින්ම ගැළපුනා. වීඩියෝව සැලසුම් කළේ පුෂ්පිත නිර්මාල් මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය චමත් සංගීත්ගේ. පද රචනය කළේ දුලාන් Arx. මේ ගීතයේ වීඩියෝවෙ රැප් එකෙන් එකතුවුණේ කයිසර් කයිස්.

මේ සියල්ලගෙම එකතුවෙන් තමයි ගීතය මේ විදියට එළියට ආවේ. ගීතය වෙනුවෙන් ප්‍රධාන රංගනයෙන් දායකවුණේ සජී මොහොට්ටි. ඒ වගේම දුලාන් Arx සහ විනී ප්‍රඩක්ෂන්හි අමල් නොහොත් රැව්ලා දායකත්වය සැපයුවා. ගීත වීඩියෝවෙ නර්තනයන් කළේ ඔෂාන් ලියනගේ. ජීවිතේ පළමු වතාවට මමත් රංගනයෙන් දායක වුණා. ඒක මටත් ලොකුම ලොකු අත්දැකීමක් වුණා.

කුලුඳුලේ ඒ අත්දැකීමත් එක්ක පුංචි තිරයට/ රිදී තිරයට ආරාධනා ලැබුණොත් බාරගන්නවද?

අපි කොහොමත් මේ ජීවිතේම කරන්නෙ රඟපෑමක්නෙ. ඒකනෙ ඇත්තම කතාව. ඇත්තටම මේ වගේ දේකින් අලුත් අත්දැකීමක් ලබාගන්න නම් කැමතියි. වෘත්තීය මට්ටමින් කිසිදෙයක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඉතින් ජීවිතේ නොහිතන දේවල්නෙ සිද්ධ වෙන්නෙ. ඉදිරියෙදි බලමු. හැමදේම වෙන්නේ හොඳටයි කියලා ලැබෙන අවස්ථාව අනුව තීරණයක් ගන්නවා. ඇත්තටම රංගනයේත් පොඩි ලල් එකක් තියෙනවා. ඒ අත්දැකීම මරු. නමුත් මීට පෙර මම කරලම නැති දෙයක්. මේ රංගනයේ අඩුපාඩු ගොඩක් ඇති. මොකද මම රඟපාන කෙනෙක් නෙමෙයි සින්දු කියන කෙනෙක්නෙ. මට පුළුවන් විදියට උපරිමේ කළා කියලා විශ්වාස කරනවා.

මැණිකෙ වගේම ඔමරි ජාත්‍යන්තරයට ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවද?

අපි ගීතයක් කල්යල් බලලා හරියට කළොත් එහි වටිනාකමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. දැනට නම් ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඉදිරියේදි බලමු කොයිවිදියකට මේ ගීතය කට්ටිය වැළඳගනීද කියන දේ.

ගීතයක් එළිදක්වන්න ඇයි කාලයක් ගත්තේ?

ඒකට ප්‍රධාන හේතුව වුණේ රටේ පැවති තත්ත්වය. මීට පෙර කොවිඩ් වසංගතයත් එක්ක අවුරුදු දෙකක් වගේ මිනිස්සුන්ගේ කරන්න හිටපු වැඩ ගොඩක් මඟඇරුණා. ඒ සියල්ල ටිකින් ටික යම් තත්ත්වයට පත්වෙද්දි තවත් ප්‍රශ්න රැසකට රටට මුහුණදෙන්න සිද්ධ වුණා. ආර්ථික අතින් වගේම හැම පැත්තකින්ම මිනිස්සු වැටිලානෙ ඉන්නේ. කලා නිර්මානයක් රස විඳින්න පුළුවන් තත්ත්වයකවත් දැන් ඔවුන් නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවුණ නිසා තමයි මේ හැමදේම පස්සට දාන්න සිද්ධ වුණේ. නමුත් හැමදාම මේ තත්ත්වයන් ගැන හිත හිතාම ඉන්නත් බැහැනෙ. ප්‍රශ්න විසඳෙනකම් තවත් බලාගෙන ඉන්න බැහැනෙ. කොයි විදියකට හරි වැඩ කටයුතු එක්ක එකතු වෙන්නත් ඕනැ. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් ඇයි මැනිකෙගෙන් පස්සෙ ගීතයක් එළියට එන්නෙ නැත්තේ කියලා. ඒ හැමදේම ගැන හිතලා තමයි ‘‘ඔමරි’’ එළිදැක්වීම සිද්ධ වුණේ.

තවමත් මැණිකෙට ප්‍රතිචාර අඩුවක් නැතිව තියෙනවද?

ඔව්. අනිවාර්යයෙන්ම ඒක ලංකාවේ නොමැරෙන ගීතයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද තවමත් දෙස් විදෙස් ප්‍රතිචාර ඒ ගීතයට තියෙනවා. මුල තිබුණු ඒ තත්ත්වය වෙනස් නොවෙයි. මේ මෑතකදිත් මම ප්‍රසංගයකට ඕමාන් ගියපු වෙලාවෙ ඒ රටේ ගායන ශිල්පියෙක් එක්ක මට වේදිකාවෙ ගායනා කරන්න ලැබුණා. ඇත්තටම ලංකාවේ ගායකයන්ට ලොකු අවස්ථාවක් ඒ. ඉතින් මේ හැමදේම ‘‘මැණිකේ’’ ගීතය නිසා ලැබුණු දේවල්, ඒ වගේම ඩුබායි ප්‍රසංගයකටත් ගිහින් ඒ ගුවන්තොටුපොළේ ඇතුලෙදි ‘‘මැණිකේ’’ ගීතය කියපු ගමන්ම හිතුවටත් වඩා ඉක්මනින් ඒ ගුවන්තොටුපළෙන් එළියට යන්න පුළුවන් වුණා. ඒක මැජික් එකක් වගේ. ඉතින් හරි සතුටුයි ඒ ගීතය මේ තරම් දුරක් අපිව ගෙනියපු එක. ඇත්තටම මගේ ජිවිතේට ලොකු වාසනාවක් ගෙනාපු ගීතයක්.

ඒ ලැබුණු ජනප්‍රියත්වය ප්‍රතිචාර එක්ක දැන් දෙස්, විදෙස් ප්‍රසංගවලට ඉල්ලුම ඇති?

ඔව් ඇත්තටම ආරාධනා නම් ලැබෙනවා. ලංකාවේ නම් මේ දිනවල ප්‍රසංග අඩුයි. පසුගිය කාලෙ ප්‍රසංග පටන් අරන් වැඩ කරගෙන එද්දි තමයි ලංකාවට ප්‍රශ්න මතුවුණේ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක උඩට ආපු ප්‍රසංග යට ගියා. ඉදිරියේදි ඒවාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙයි. ඒවාත් එක්ක විදෙස් ප්‍රසංගයන් කිහිපයක් නම් තියෙනවා යන්න. ඒ දෙවල් සැලසුම් කරගෙන යනවා.

නැවතත් යොහානි එක්ක ගීතයක් කළේ නැද්ද?

තවම නම් නැහැ. ඉදිරියේදි අවශ්‍ය වුණොත් සම්බන්ධ වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු.

සතීෂාන්ගේ ඉදිරි නිර්මාණ සැලසුම් කොහොමද?

නිර්මාණ කිහිපයක්ම මේ වෙද්දි කරලා තියෙනවා. නොහිතන විදියකින් වෙනස්ම විදියෙ නිර්මාණයක් නුදුරේම දැක බලාගන්න ලැබෙයි.

වෙනස් විදියෙ නිර්මාණ කිහිපයක් ගැන සැලසුම් කරගෙන යනවා. ඒ හැමදේම හිමින් හිමින් ලැබෙන කාලයත් එක්ක සිද්ධ වෙයි.

විනෝදාංශයක් විදියටද සංගීතය කරන්නේ?

ඔව්. ඇත්තටම මේ ගමන පටන් ගත්තේ නම් ආසාවට විනෝදාංශයට වගේ. මොකද මම වෘත්තිය විදියට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන්නෙ. ඒ දේත් එක්ක ගීත ගායනය කරගෙන යන්නෙ. ඒ නිසා වෘත්තීය මට්ටමින් ගීත ගායනය කරන්න අමාරුයි. ඉදිරියෙදි මේ තත්ත්වයෙන් වෙනස් වෙයිද කියන්න බැහැ. මොකද ගීත ගායනය වෘත්තිය විදියට කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ විදියට ගමන යන්න වුණොත් ලොකු කැපකිරීමක් කරන්න ඕනැනෙ. ඒ නිසා ඉදිරියේදි ඒ දෙවල් හරි විදියට සැලසුම් කරගෙන ගමනක් යා යුතුයි කියන තැන මම ඉන්නවා.

ධනු විජේරත්න