‘මැණිකේ’ නිසා මගේ ජීවිතේ දිනුවා කියලා තමයි මට හැඟෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොවක් වසඟ කළ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ තුළින් දැඩි ප්‍රේක්ෂක කතාබහකට සහ අවධානයකට ලක්වූ ගායන තරුවක් වන සතීෂාන් රත්නායක මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. සඳැල්ල කවරයද හැඩ කරමින් අප සමඟ සම්බන්ධ වූ ඔහුගේ වතගොතයි මෙලෙසින් දිග හැරෙන්නෙ.

සතීෂාන්ට ගිය වසර අවසන් වුණේ සුබ දේකින් නේද?

ඔව්. ඇත්තටම ගිය වසර අවසානයේ වුණු සුබම දේ තමයි මම සම්මාන දෙකකට පාත්‍රවීම. ඒ 'Popular video of the year Gold' සම්මානය සහ 'Most viewed video of the year 2021' සම්මානය. ඉතින් ඒ සම්බන්ධව මට හරිම සතුටුයි. මේ වගේ සම්මාන උළෙලවල් තියලා අපි වගේ අලුත් අයට යම් හෝ වටිනාකමක් ලබාදීම සම්බන්ධයෙන් දෙරණ නාළිකාවට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ මගේ ජීවිතේට ලැබුණු මුල්ම සම්මාන ද්විත්වය. ඒ සම්බන්ධව ගොඩක් සතුටුයි. ඒ නිසා පසුගිය වසර හොඳ අවසානයක් තිබුණා කියලා හිතනවා මගේ ජීවිතේට.

ඒ සුබ අවසානයත් එක්ක 2024 ආරම්භය කොහොමද?

ආරම්භයත් එක්ක ඉතින් වරදක් නැතිව ගමනක් යන්න උත්සාහ කරනවා. මොකද මම දැන් පූර්ණකාලීණව සංගීත වෘත්තියට තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ. මොකද මම කරපු රැකියාවෙන් පවා මේ වෙද්දි ඉවත්වෙලා ඉන්නෙ. කොහොමත් සංගීතය දැන් මගේ ජීවිතේම වෙලා. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් අලුත් ගීත දෙකකුත් ඉදිරියෙදි එන්න තියෙනවා. ඒ මම කරපු වෙනස්ම විදියෙ නිර්මාණ දෙකක්. ඉතා නුදුරේම ඒවා මගේ ආදරණීයයන්ට දැක ගන්නට ලැබෙයි. 

‘මැණිකේ’ ගීතයේ මුල් හිමිකරු සතීෂාන් වුණත් ඔබව ඒ වෙනුවෙන් නිසි ඇගයීමකට ලක්වීම ප්‍රමාද වුණා වගේ නේද?

ඇත්තටම ඔව්. නමුත් මට ඒ ගැන දුකක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනැ මේ ගීත නිර්මාණය වෙනුවෙන් සම්මාන උළෙළ කිහිපයකදීම මීට පෙර සම්මානවලට පාත්‍ර වුණා. ඒ සමහර අවස්ථාවලදි මට ආරාධනා පත්‍රයක්වත් ලැබුණෙ නැහැ. සමහර වෙලාවට මම සහ මේ ගීතය රචනා කරපු දුලාන් මුදල් ගෙවලා ප්‍රවේශපත්‍ර අරගෙන තමයි ඒවට සම්බන්ධ වුණේ. ඇත්තටම ඒ දේවල් ගැන මට දුකක් නැහැ. දුකක් තිබුණ නම් මේ ගීතය වෙන කෙනෙකුට දීලා බලාගෙන ඉන්නෙ නැහැනෙ. දුකක් නැති වුණත් මේ සමාජයේ මිනිසුන්ට මුල අමතකවීම සම්බන්ධව නම් කලකිරීමක් තියෙනවා. මුදල්වත් සම්මානවත් සදාකාලික නැහැ. දවසක ඒ හැමදේම දාලා යන්න වෙනවා. නමුත් ජීවත්වෙද්දි මනුස්සකම කියන දේත් එක්ක ජීවත් වෙනව නම් ඒකයි මම හිතන්නෙ ජීවිතේට වැදගත්ම දේ. 

සතීෂාන් කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්නෙ මුල අමතක කරන පිරිසක් කියලද?

80%  වගේ පිරිසක් ඉන්නෙ එහෙම තමයි. ඒ දේවල් ගැන මම නම් දැන් හිතන්නෙ නැහැ. තමන් හරි විදියට ජීවත් වුණොත් තමන්ටත් යහපතක් වෙයි. මොකද තමන් වපුරන දේනෙ නෙළාගන්නෙ. ඉතින් අපි හරි විදියට ජීවත් වුණොත් හොඳ ගමනක් මේ තුළ යන්න ලැබෙයි.

අපි කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි ඒත් එක්ක එකතුවෙලා ඉන්න පිරිස ගැන මුලින්ම හිතන්න ඕනෑ. මොකද කණ්ඩායම් වැඩක් කරලා ඒ තුළ ජයග්‍රහණයක් ලබනව නම් එතැන තියෙන්නෙ ඒ හැමෝගෙම මහන්සියෙ ප්‍රතිඵලය. ඒකයි මම කියන්නෙ මුල අමතක කරන්න හොඳ නැහැ කියලා. මුල අමතක නොකර ඉදිරියට යන අය කවදාවත් වැටෙන්නෙ නැහැ. එහෙම අයත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් මම මුලින් සඳහන් කළා වගේ බහුතරයකට මුල අමතකයි. ඒ අයගෙ ගමන ඉතින් හරිම කෙටියි කියලා තමයි කියන්න තියෙන්නෙ. 

පසුව හෝ මේ ගීතය වෙනුවෙන් වටිනාකමක් ලැබීම සම්බන්ධයෙන් කියන්න දෙයක් ඇති?

අනිවාර්යයෙන්ම මොකද මම ගොඩක් මහන්සි වුණා ‘මැණිකේ’ ගීතය වෙනුවෙන්. වෙනත් රැකියාවක නිරතවෙන ගමන් තමයි මේ නිර්මාණය කළේ. ඒ කාලේ මම අනුරාධපුරයේ තමයි වැඩ කළේ. ඒ අතරතුර තමයි කොළඹ ඇවිල්ලා මේ වැඩ කරගෙන ගියේ. විශේෂයෙන්ම කියන්න ඕනැ බැංකු ලෝන් එකක් දාලා මුදල් ලබාගෙන තමයි ගීතය නිර්මාණය කළෙත්. ඒ ණය මම මාසිකව තවම ගෙවනවා. තව අවුරුදු 2ක් තියෙනවා ඒ මුදල ගෙවලා නිම කරන්න. නමුත් ඒ කිසිම දෙයක් ගැන දැන් දුක් වෙන්නෙ නැහැ. ‘මැණිකේ’ නිසා මගේ ජීවිතේ දිනුවා කියලා තමයි මට හැඟෙන්නෙ.

ජීවිතේ ඉදිරි ගමන යන්න මැණිකෙ කෙනෙක් තවම ලැබිලා නැද්ද?

අනේ නැහැ. මැණිකෙලා නම් ඕනෙත් නැහැ.

ඒ මොකද Boot එකක්වත් කෑවද මැණිකෙ කෙනෙක්ගෙන්?

එහෙමත් නැහැ. නමුත් කාන්තා පාර්ශ්වය එක්ක ගැටෙන එක ටිකක් අසීරුයි. මට අනුව නම් කෙල්ලො කියන්නෙ හරි අමුතු ජාතියක්. ආදරෙදි වගේම වැඩක් කරද්දි වුණත් සමහර වෙලාවට පිස්සු වැඩ කරනවා. මට කොහොමත් කෙල්ලො එක්ක වැඩ කරන්න අවුලක් තියෙනවා. ඒ නිසා මැණිකෙලා එපා. ඒ සමහර මැණිකෙලා නිසා තමයි මම තවමත් ණය ගෙවන්නෙ.

ඒ ආදරේ පැත්තක තියලා එහෙනම් ප්‍රේක්ෂක ආදරය ගැන කියමු?

ඇත්තටම ඒ ආදරය ගැන නම් හරිම සතුටුයි. ගොඩක් දෙනෙක්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කොහේ ගියත් දැන හඳුනගෙන කතාබහ කරන ආදරේ ප්‍රකාශ කරන පිරිසක් ඉන්නවා. ඒ හැමදේම මට හරිම වටිනවා මේ තුළ ගමනක් යන්න.

මේ වෙද්දි ප්‍රසංග වේදිකාවට තියෙන ඉල්ලුම කොහොමද?

ඒවත් සාමාන්‍ය විදියට ලැබෙනවා. ගිය වසර කිහිපය තුළ විදෙස් සංචාර කිහිපයකුත් ලැබුණා. මේ වසරේත් සංචාර කිහිපයක් තියෙනවා. ඒවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දේ කලබලයක් නැතිව හිමින් කරගෙන යනවා. ඒ වගේම මට ඕනෑ පවතින නිර්මාණ කරන්නත් ඒවටත් සුදුසු පියවරවල් තබාගෙන යන්න තමයි සූදානම.

ධනු විජේරත්න

ඡායාරූප - සජීව ලක්ෂාන්