මට හිත හදාගන්න තාම අමාරුයි. සිනමාවේ මගේ පාර හැදුනේ දර්ශන් අයියා නිසා
ගායනය, නිවේදනය, විශේෂයෙන්ම සිනමා රංගනය කියන මේ ත්‍රිත්වයට දක්ෂතා දක්වන කලා ශිල්පීන් අතලොස්ස අතර ඉහළින්ම සිටින රංගන තාරකාවක් අද අපේ සඳැල්ල කතාබහ තුළින් කැඳවාගෙන එන්න සිතුවා. ඇය තමයි මේ දිනවල ප්‍රාණ සිනමාපටයෙන් හමුවන නිරංජනී ශම්මුගරාජා. ඇය රඟපාන්නේ සංගිලි රජ මැදුරේ කුමරියගේ චරිතය. නොලියවුනු ඉතිහාසයක සිනමාත්මක සාක්ෂිය ප්‍රාණ ගැන කතා කරන්න ඇය අපිත් සමඟ එකතු වුණේ මෙලෙසින්.
‘‘ප්‍රාණ’’ චිත්‍රපටයෙන්ම අපි කතාබහ ආරම්භ කරමු?
ප්‍රාණ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. සිනමාව තුළ මට විවිධ චරිත කරන්න ලැබිලා තියෙනවා. ඒ අතරින් මම දායකත්වය දෙන ප්‍රාණ චිත්‍රපටයට මගේ සිනමා ජීවිතේ විශේෂ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්.
මට ප්‍රාණ චිත්‍රපටය රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ සංජය නිර්මාල් අයියා හරහා. ප්‍රාණ චිත්‍රපටයේ අධ්යක්ෂ සංජය අයියාම තමයි මට රැජිනගේ චරිතයට කතා කරන්නේ. චරිතය සහ චිත්‍රපටය ගැන කිව්වාම මට මේ පිටපත කියවන්න ඕනෑකමක් ඇති වුණා. මොකද මේ කතාව 1544 වසරේ ලංකාවේ සිදුවුණ ඛේදනීය සිදුවීමක්. 15 වෙනි සියවසේ යාපනේ සංකිලි රජුගේ දේශපාලන ස්ථාවරය දෙදරීමේ භීතිය හේතුවෙන් දමිළ ජනතාව හත්සියයක් කතෝලික ආගමට හැරුණු නිසා මන්නාරම තෝට්ටවේලි ගම්මානයේදී මරා දමනවා. ඒ මන්නාරම් මහා සංහාරය පදනම් කරගනිමින් තමයි ‘‘ප්‍රාණ’’ නිර්මාණය කරන්නේ. ඒ නිසා මම කීපවතාවක් මේ පිටපත කියෙව්වා.
කොහොමත් මම ඉතිහාසය පිළිබඳ කෙරෙන නිර්මාණ භාරගනිද්දී හරියට සැලකිලිමත් වෙනවා. මට ඒ චරිත කළහම සල්ලි ලැබෙන නිසාවත්, මාව ජනප්‍රිය වෙන නිසාවත් මම චරිත තෝරගන්නේ නැහැ. සල්ලි වියදම් කරලා චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයාට සාධාරණයක් කරන්න බැරි නම් මම ඒ චරිත භාරගන්නේ නැහැ. ‘‘ප්‍රාණ’’ තුළින් අප වර්තමාන සමාජයට කතා කළ යුතුයි කියල මට දැනුණා... ඒ නිසා දහස් වාරයක් හිතලා මම මේ නිර්මාණය භාරගත්තා.
වර්තමාන සමාජයට කතා කළ යුතුයි කියලා හිතුවෙ මොනවද?
අපි හැම තිස්සෙම ඉතිහාස කතාවලදී දැක්කේ මවා පාපු දේවල්. විශේෂයෙන් උතුර ගැන ඒ ඉතිහාසය ගැන නිර්මාණ තුළින් කතා වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්. ‘‘ප්‍රාණ’’ චිත්‍රපටය තුළින් කරන දේ එළියේ සමාජයට මතභේදාත්මක කතාවක් විදිහට පේන්න පුළුවන්. මිනිස්සු බලන්න පුළුවන් මේ තුළින් හින්දු ආගමටද පහර එල්ල වෙන්නේ, එහෙම නැත්නම් දමිළ ජනතාවටද, නැත්නම් ක්‍රිස්තියානි ආගමටද කියලා. ඒත් මම ඒක දකින්නේ වෙනස් විදිහකට. මම නරක දේ ඇතුළේ හොඳ බලන කෙනෙක්. මේ ඛේදවාචකය අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රය හේතුවෙන් සැඟවී ගිය කතාවක්. ඒ නිසා මගේ ඉතිහාසය තුළින් වෙච්ච වැරැද්ද වර්තමානයටත් අනාගතයටත් බලපෑමක් නොවන විදියට මිනිස්සුන්ගේ ඔළුවලට කතා කළයුතුයි කියලා මම හිතුවා.
ඔබ හින්දු සමාජයෙන් පැවත එන යුවතියක් විදියට හින්දු ජනතාව මේ සිදුවීම කොයි විදිහට භාර ගනීවිද කියන ගැටලුව ඇතිවුණේ නැද්ද?
ඇත්තටම මම උපතින්ම හින්දු භක්තිකයෙක් නිසා මේ චරිතය භාර ගනිද්දී කීපවතාවක්ම හිතන්න වුණා. ඒ අය කොහොම මේ නිර්මාණය භාර ගනීවිද කියන ප්රශ්නය මට ඇති වුණා. මගේ සමාජය ඇතුලේ සමහරු මගෙන් ඇහැව්වා ඇයි ඔයා මේකට කැමති වුණේ කියලා.
මගේ හින්දු සමාජය ඇතුළෙන් ප්‍රශ්න ඒවි කියලා දැන දැනම තමයි මම මේ නිර්මාණයට දායක වුණේ. ඉතිහාසයේ වුණු ඛේදවාචකයක් නැවත මේ සමාජයේ සිද්ධ නොවෙන්නයි අපිට ඕන. මොන විවේචන ආවත් මම මේකට පෙනී සිටියේ මේ රටේ පුරවැසියෙක් විදිහට. මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා.
ප්‍රාණ ගැන කොච්චර දේවල් කතා කරළත් ඔබේ සිනමා ගමනට ප්‍රාණය දීපු ගමන් සගයා අපට අමතක කරන්න බැහැ?
එදා ඉඳලා මගේ සිනමා දිවියේ හීරෝ ඔහු. දර්ශන් අයියා අපෙන් සමු අරගෙන හෙටට මාසයක්. ඒ අඩුව මට කියලා නිම කරන්න බැහැ. මගේ සහෝදරයා, මගේ ගුරුවරයා වුණේ ඔහු.
දර්ශන් අයියා ප්‍රාණ චිත්‍රපටයේ රඟපෑවේ ලොකු බලාපොරොත්තුවකින්. සංකිලි කියන දමිළ රජුගේ චරිතයට දමිළ නළුවෙකුට රඟපාන්න ලැබීම ගැන දර්ශන් අයියා හිටියේ පුදුමාකාර සතුටකින්. දර්ශන් අයියා මියයන්නට දවස් දෙකකට කලින් කතා කරලා හරිම සතුටෙන් කිව්වා ‘‘කොහොම හරි මං අන්තිමට රජෙක් වුණා බාං. දෙමළ මිනිහා දැන්වත් අපිට ආදරේ කරයි බං... අපිව හැමදාම පිළිගත්තේ සිංහල මිනිහා විතරයි. දැන්වත් දෙමළ මනුස්සයා අපිව පිළිගන්නවා නම් මට ඕන එච්චරයි නිරා කියලා කිව්වා.’’
‘‘මම තමිල්නාඩු ගිහින් එක චිත්‍රපටයක හරි රඟපාන්න ඕන’’ කියන හීනේ එක්ක තමයි දර්ශන් අයියා හැමදාම හිටියේ. අයියා මිය යන්න දින කීපයකට කලින් මට කතා කරලා ප්‍රාණ ගැන කතා කරපු වෙලාවේ ‘‘ඔයා තව ටිකක් හිත තද කරගෙන හිටපන් අයියේ මුළු රටම උඹ ගැන කතා කරන දවසක් ඒවි කියලා’’ මම එදා කිව්වා. මම දන්නේ නෑ ඒ වචන ටික මගේ කටින් පිටවුණේ ඇයි කියලා. ඊට දවස් දෙකකට පස්සේ ඔහු ගැන මුළු රටම කතා කළා. මට ඒක මානසිකව ලොකුවට බලපෑවා. ප්‍රාණ චිත්‍රපටය තිරගතවන දවසේ අඳින්න මට ලස්සන ඇඳුම් ටිකක් තෝරගන්න ඕන බං කියලා අයියා කිව්වා. අවසානයේ මට තෝරන්න වුණේ මගේ සිනමා ගමන් සගයාගේ අවසන් ගමනට අඳින ඇඳුම.
මට හිත හදාගන්න තාම අමාරුයි. සිනමාවේ මගේ පාර හැදුනේ දර්ශන් අයියා නිසා. අපි දෙන්නා දශකයක් එකට රඟපාලා අපි දෙන්නගෙම බලාපොරොත්තුව වූ ප්‍රාණ තිරගත වෙන්න කලින් මගේ සගයා සදහටම සමුගත්ත එක දරාගන්නේ කොහොමද? මම තාමත් හිත හදාගන්න උත්සාහ කරනවා. ශ්‍රී ලාංකේය සිනමාව ඇතුළේ දමිළ නළුවෙක් රජෙක් විදිහට වැජඹුණානම් ඒ දර්ශන් අයියා විතරයි. ඉදිරියට මගේ සහය නළුවා විදිහට කොයි දෙමළ නළුවෙක් ආවත් දර්ශන් අයියාගේ හිඩස පුරවන්න බැහැ.
දර්ශන් අයියාගේ පවුල සමඟ ඔබ සමීපයෙක්. ඔහු වෙනුවෙන් මොනයම් හෝ දෙයක් සිදුවෙමින් පවතිනවද?
ඇත්තටම දර්ශන් අයියාගේ දුව කොළඹ පාසලකට ඇතුළත් කරන්න සියලු වැඩකටයුතු සූදානම් කරගෙන යනවා. ඒ වගේම දර්ශන් අයියාගේ බිරිඳ ගුරුවරියක් ඇයටත් කොළඹට ස්ථාන මාරුවක් අරන් දීලා දර්ශන් අයියා වෙනුවෙන් අක්කාවත් දුවවත් සුරක්ෂිතව බලාගන්න අපි සියලුම දේවල් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් බිමල් අයියා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. දර්ශන් අයියාට දුව ගැන තිබුණ හීනය අපි ඔහු වෙනුවෙන් සැබෑ කරනවා.
ඉතින් මොනවද නිරාගේ ඉදිරි වැඩකටයුතු?
පසුගිය දවස්වල සෝමරත්න දිසානායක මහත්මයාගේ ‘‘සිංහබාහු’’ චිත්‍රපටයේ ගරු චරිතයක් කළා. ඊට අමතරව නිවේදන කටයුතු තමයි පූර්ණකාලීනව කරගෙන යන්නේ. අලුත් නිර්මාණ කිසිම දේකට මම අත ගැහුවේ නැහැ.
දැන් පරස්තාවටත් කාලේ හරි නේද?
මම ආදරවන්තියක්. විවාහයකට දැන් කාලේ හරි. නමුත් විවාහය ගැන හිතන්න තව ටික කාලයක් යාවි.
නදීශා අතුකෝරළ / ඡායාරූප - සජීව ලක්ෂාන්