මට ලැබෙන්නෙම තරුණ, විසේකාර, පොඩි ළමයින්ගෙ චරිතම තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේ පියවරෙන් පියවර ඉදිරියට යමින් අද වනවිට ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම් ගත් ආදරණීය චරිතයක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඒ කැලුම් ශ්‍රී සමගින්.

කැලුම් කොහොමද ජීවිතේ?

මේ දවස්වල නම් ඉතින් හැමෝම වගේ ප්‍රශ්න ගොඩකනෙ ජීවත් වෙන්නෙ. හැම මනුස්සයටම වගේ ලොකු අරගලයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා, රටේ ඇතිවෙලා තියෙන දේවල් එක්ක. ඉතින් ඒ දේ මටත් එසේමයි. රට යන පැත්ත දැක්කම ලොකු කලකිරීමක් තියෙන්නෙ. මොකද අපේ එදිනෙදා වැඩ කටයුතු එක තැන. නිර්මාණ කටයුතු පවා අවලංගු වෙලා තියෙනවා. ට්‍රාන්ස්පෝට් ප්‍රශ්න නිසා. ඉතින් මේ හැමදේම විසඳෙනකම් දරාගෙන බලාගෙන ඉන්නවා.

 එතකොට මේ දිනවල රංගන කටයුතු සිද්ධ වෙන්නෙ නැද්ද?

දිගටම කරගෙන ආපු නිර්මාණ කිහිපයක් මේ වෙද්දි  විකාශය වීම සිද්ධ වෙනවා. ඒවගෙත් සමහර නිර්මාණවල රූගත කිරීම් මදකට නතර කරන්නත් සිද්ධවෙලා තියෙනවා, ඉන්ධන ප්‍රශ්න නිසා. නමුත් මේ දිනවල මම සම්බන්ධ වුණු නිර්මාණ අතරින් ස්වර්ණවාහිනියෙ විකාශය ආරම්භ කරපු ‘ඇස්’ ටෙලි නිර්මාණයත්, Vibe TV හි Black Pool  නිර්මාණයත් හිරු නාළිකාවෙ දිවිතුරාත් දකින්න පුළුවන්. ඇස් කියන්නෙ ඇත්තටම මේ  දිනවල ගොඩක් ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. හසුන් සමීර අධ්‍යක්ෂණය කරන්නෙ. ඒ වෙනුවෙන් ඇත්තටම හොඳ කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්නවා, ප්‍රවීණ, නවක දොගොල්ලන්ම. ඉතින් මේ වෙද්දි මගේ චරිතයටත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ඇස්’ නිර්මාණයේ ඔබේ චරිතය ගැන කතා කරමු?

‘ඇස්’ නිර්මාණය තුළ මම රංගනයෙන් දායක වෙන්නෙ පාසල් ශිෂ්‍යයෙක්ගෙ චරිතයක් කරන්න. ඔහු සුභාෂ්. ඇත්තටම මේ චරිතය ගැන තවම මිනිසුන්ට හඳුනාගන්නට බැහැ. සුභාෂ් අහිංසකද? කොහොමද කියන දේ ඉදිරියෙදි  තමයි හරියටම දැකගන්න පුළුවන් වෙන්නෙ. මොකද චරිතයෙ තවත් ඉදිරියට තමයි ඔහුගෙ සැබෑ ගති ලක්ෂණ එළියට එන්නෙ. ඉතින් සැඟවුණු දේවල් එක්ක වෙනස්ම විදියෙ චරිත රංගනයක් මේ හරහා රසවිඳින්න අවස්ථාව ලැබෙයි මේ නිර්මාණයට ආදරය කරන හැම දෙනාටම.

ආයෙත් ඉස්කෝලෙ යන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

අම්මෝ ඒ හැඟීම් නම් වචනවලින් කියන්න අමාරුයි. පාසල්  නිල ඇඳුමක් ආයෙත් අඳින්න ලැබුණ එක මාරම සතුටක්. ආයෙත් අපිව අපේ අතීතයට ගෙනිච්ච නිර්මාණයක් මේ. කොහොමත් මේ ටෙලිනාට්‍ය නිර්මාණය සහ චරිතය මට  මාරම විශේෂයි. මොකද මේ ටෙලි නිර්මාණය රූගත කිරීම් සිදු කරන්නෙ නුවරනෙ. නුවර කියන්නෙ මගේ ගම් ප්‍රදේශය. ඉතින් අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ O/L , A/L පන්ති ගිය ඒ පාරවල් දිගේ තමයි මේ නිර්මාණයේ රූගත කිරීම් සිදුවෙන්නෙ. ඉතින් එදා අපි පන්ති කට් කරලා යාළුවොත් එක්ක පිස්සු නටපු ඒ සුන්දර අතීතයට ආයෙත් මාව ගෙනියනවා මේ නිර්මාණය  හරහා. ඒක  මාරම සතුටක්. විශේෂයෙන්ම වැව රවුමෙ අපි ගත කරපු ඒ කාලෙ ගොඩක් මතක් වෙනවා. මේ චරිතය ජීවිතේ අලුත් කිරීමක්ද කියලාත් හිතෙනවා. මොකද ඉස්කෝල ඇඳුම ඇඳලා අපි මීට අවුරුදු 10කට පමණ පෙර ගත කරපු අතීතයම තමයි රංගනයකින් ඉදිරිපත්  කරන්න වෙලා තියෙන්නෙ. ඉතින් මේ රූගත කිරීම් සිදු කරද්දි මට හිතෙන්නෙම මම එදා හිටපු ඒ පොඩි කොල්ලාම තමයි කියලා. එදා  ඒ හැඟීම තමයි අදටත් දැනෙන්නෙ.

එදා ඒ හැඟීම අදටත් දැනුණට, කැලුම් අද තාත්තා කෙනෙකුත් වෙලා නේද?

ඔව්, ඇත්ත ජීවිතේ මම තාත්තා කෙනෙක්. නමුත් ඉතින් තවමත් මට ඉස්කෝල චරිතනම් ලැබෙනවා.

 

ඇත්ත ජීවිතේ තාත්තා කෙනෙක් වෙලාත් ඇයි කැලුම්ට මෙවැනි චරිත ලැබෙනවා ඇත්තෙ?

ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නය මගෙන් අහනවා. මොකද මට නිර්මාණ කිහිපයකම තවමත් ඉස්කෝල චරිත කරන්න අවස්ථාව ලැබුණු නිසා. ඉතින් මම හිතන්නෙ මගේ පෙනුම  නිසා වෙන්න ඇති. ඉස්කෝල චරිත මට තවමත් කරන්න පුළුවන් ඇති කියලා පේනවා ඇති.

තාත්තා කෙනෙක් වුණත් ලාමක පෙනුම තියෙනවා ඒ කියන්නෙ?

එහෙම ඇති කියලා හිතෙනවා. මොකද  මට ලැබෙන්නෙම තරුණ, විසේකාර, පොඩි ළමයින්ගෙ චරිතම තමයි. විශේෂයෙන්ම කියන්න ඕනෑ මට ලැබුණු නිර්මාණ කිහිපයකම මගේ අම්මට රඟපාපු කිහිප දෙනෙක්ම මට වඩා වයසින් බාලයි. සිද්ධාර්ථ ගෞතම, රැස් ටෙලි නිර්මාණයේත් තව නිර්මාණ කිහිපයකම ඒ දේ සිද්ධ වුණා. ‘ඇස්’  නිර්මාණයේත් අපිත් එක්ක එකට පන්ති ගිය අපේ යාළුවෙක් රංගනයෙන් දායක වෙනවා. නයනතාරා කියලා. ඇය ගුරුවරියකගේ චරිතයක් කරන්නෙ. ඉතින් අපි මේ තුළ අපේ අතීතය ගැන ගොඩක් දේවල් කතා බහ කරනවා. අපේ ඒ යාළුවොත් එක්ක ගත කරපු අතීතය. ඉතින්  ඒ මතකයන් එක්කත් මේ වැඩ කටයුතු ලස්සනට කරගෙන යන්න හැකිවෙලා තියෙනවා. හරි ආසයි ඉතින් මේ චරිත රංගනයට.

මීට අමතරව මේ දිනවල දකින්න ඉන්නෙ?

‘‘දිවිතුරා’’ සහ ‘‘Black Pool’’හරහා තමයි. දිවිතුරා හි විශාල්ටත් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කරපු නිර්මාණ  තුළින් විශාල චරිතය ප්‍රේක්ෂකයෝ ගොඩක් වැළඳගත් චරිතයක් මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. ඒ චරිතය අදටත් කොහේ ගියත් ගොඩක් දෙනෙක් ඒ ගැන කතා බහ කරනවා. මගේ ඇත්ත නම කැලුම්ටත් වඩා විශාල් කියලා තමයි කට්ටිය කතා කරන්නෙ. ඊට අමතරව ‘‘Black Pool’’ හි ආයුෂ්ට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. ඉතින් මේ නිර්මාණත් එක්ක තමයි මේ දිනවල ප්‍රතිචාර ඒ අාදරය ලබමින් ඉන්නෙ.

රංගනය පැත්තෙන් වගේම නර්ථනයෙන් අතිවිශාල ප්‍රතිචාර ලැබුණු කෙනෙක් නේද කැලුම් ශ්‍රී කියන්නෙ?

ඔව්, ඇත්තටම පසුගිය කාලෙ හිරු නාළිකාවෙ පැවැත්වුණු තරගාවලියක් හරහා මට නර්ථන දක්ෂතාවයන් පෙන්වන්න හැකියාවක්  ලැබුණානෙ. ඇත්තටම ඒ වේදිකාව නිසා ගොඩක් දෙනෙක්  මාව නර්ථන ශිල්පියෙක් විදියට හඳුනාගත්තෙ. ඉතින් අදටත් ගොඩක් දෙනෙක් කොහේදි හමුවුණත් මගේ නර්ථනය ගැන කතා බහ කරනවා. මම ඒ තරගාවලියෙ ඉද්දි විශේෂයෙන් ප්‍රවීණ කලාකරුවන් පවා මට කතා කරලා දිරිමත් කළා. ආශිර්වාද කළා. ඒ හැමදේම මාගේ  නර්ථන ගමනට ලොකු පිටිවහලක් වුණා. ඉතින් ඒ දේවල් එක්ක මටත් හිතෙනවා. මගේ ඒ  ගමන සාර්ථකයි කියලා.

නර්ථනය වැඩිදුර හදාරලා තියෙනවද?

නර්ථනය මම කවදාවත්ම අමතර පන්ති ගිහින් ඉගෙනගෙන නැහැ. ඒක මගෙ ඇඟේම තිබුණු දෙයක්. නර්තනය මම ඉගෙන ගත්තෙ තනියම. මයිකල් ජැක්සන්ගේ සිට ගොඩක් දෙනාගෙ වීඩියෝ බලලා ඉගෙන ගත්තු දේවල් තියෙනවා.

ඒ වීඩියෝ බලලා අලුත් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම චිත්‍රපට ගොඩක් නරඹනවා. ඒ තුළිනුත් දේවල් ඉගෙන ගෙන ඒ හැමදේම  අත්හදා බලලා තමයි ඉගෙන ගත්තෙ. කොහොමත් මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම දෙයක් ඉගෙන ගන්න නම් ඒ වෙනුවෙන් උපරිම කැමැත්ත  තියෙන්න ඕනැ. ඒ වගේම කැප කිරීම, මට ඒ දෙකම තිබුණු නිසා තමයි මේ අංශයෙන් ගමනක් යන්න  හැකිවුණේ. ඉතින් අදටත් ගොඩක් දෙනෙක් මගෙන්  දකින්න  බලාපොරොත්තු වෙනවා නර්ථනය පැත්තෙන් අලුත් දෙයක්.

ඒ නිසාම මගේ පොඩි සැලසුමක් තියෙනවා ඉදිරියෙදි  U Tube හරහා අලුත් දෙයක් කරන්න‘‘Dancing Covers’’ කිහිපයක් මේ වෙද්දි කරගෙන යනවා. ඒ හැමදේම ඉතා නුදුරේම දැකගන්න හැකිවෙයි මගේ නර්ථනයන්ට ආදරය කරන හැමදෙනාටම.

නර්ථන ශිල්පියෙක් විදියටත්  රංගන ශිල්පියෙක් විදියටත් මේ ආපු ගමන් මඟ ගැන ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ?

ලොකු සතුටක් තියෙනවා මේ ආපු ගමන් මඟ ගැන.  ඇත්තටම අවුරුදු 10ක් වගේ ලොකු කට්ටක් කාලා තමයි අද ඉන්න යම් මට්ටමකට හෝ එන්න ලැබුණෙ. මේ ක්ෂේත්‍රයේ මට ඇත්තටම සතුටුයි අවංකවම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඒ ආශිර්වාදයන් ගැන. මම මේ ආවෙ  හිමින් ගමනක්. ඒ පොඩි දේ සිට හැමදේම ඉගෙන ගෙන ඉතින්  තව ඉදිරි ගමනක් යන්න තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ඒ ගමනත් හිමින් ලස්සනට යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

ධනු විජේරත්න