මට රංගනයෙන් පමණක්ම ජීවත්වෙන්න වුණානම් මේ වෙද්දි වෙනත් රැකියාවක් හොයාගන්න වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයට අලුතින්ම එකතුවුණු නිර්මාණ අතරින් ‘‘මැස්සා’’ කියන්නේ කාගෙත් අවධානයට ලක්වුණු ටෙලි නිර්මාණයක්. ඒ නිසාම මෙවර සඳැල්ලෙන් ‘‘මැස්සා’’ ගැන කතා කරන්නට එහි ප්‍රධාන චරිතයෙන් දායක වන ‘‘දස්සා’’ එකතු කරගන්න හිතුවා. මේ දස්සා හෙවත් දසුන් පතිරණ.

දස්සා මොකද කාලයක් නිහඬවෙලා හිටියේ?

මේ රට තුළ කාලයක් තිස්සේ ඇතිවුණ ප්‍රශ්නත් එක්ක ඇත්තටම වැඩ කෙරුණෙ නැහැ. කොහොමත් මම නිර්මාණයක් භාරගද්දිත් තෝරා බේරාගෙන තමයි කරන්නෙත්. වැඩ භාරගන්නෙත් ඉතාම අඩුවෙන්. මොකද හැම වෙලේම පේන්න හිටියම අගයකුත් නැහැනෙ. පසුගිය කාලෙ කොහොමත් හොඳයි කියලා හිතෙන දෙයක් කෙරුණෙත් නැහැ. කරපු නිර්මාණ ආවෙත් නැහැ. මම සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ කිහිපයක් තියෙනවා එන්නත්. ඉතින් ඒ හරහා ඉදිරියෙදි දකින්න ලැබෙයි.

ඒ කියන්නේ නිර්මාණ හිඟයක් නැහැ?

එහෙම හිඟයක් නැහැ. නමුත් පසුගිය කාලෙ අපේ රටේ සිදුවුණු දේවල් එක්ක නිර්මාණ කෙරුණෙ ගොඩක් අඩුවෙන්. හොඳ නිර්මාණ ඇත්තටම මට ලැබුණෙත් නැහැ. මුලින්ම පාස්කු සිදුවීමත් එක්ක නිර්මාණ කරන්න අපහසුවක් තිබුණා. එතැනින් පසුව රටේ ඇතිවුණු වසංගත තත්ත්වය. ඒ හැමදේම සාමාන්‍ය වෙලා එද්දි ඊළඟට රටේ ප්‍රශ්න වුණා. තෙල් ප්‍රශ්නය ගොඩක්ම බලපෑවා. ඒ දේවල් එක්ක අපේ කාලය ගොඩක් අපෙන් ගිලිහුණා. වැඩ කරන්න පුළුවන් කාලය නාස්තිවෙලා ගියා.

ඇත්තටම ඒවා අපේ ප්‍රශ්නත් නෙමෙයිනෙ. ඒවා රටේ ප්‍රශ්න නමුත් ඉතින් මේ දේවල් දරාගෙන ඉන්න වෙලා තියෙනවා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. මොකද රංගනය කියන්නේ මගේ වෘත්තිය. මේ දේ ඇර මම කවදාවත් වෙනත් රැකියාවක් කරලාත් නැහැ. නමුත් ඉතින් රටේ ප්‍රශ්න නිසා අපිට අපේ වෘත්තියවත් කර ගන්න බැරිව ගෙදරට වෙලා ඉන්න සිදුවෙලා තියෙනවා.

එහෙනම් පසුගිය කාලෙ ලංකාවෙ බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න වුණු ආර්ථික ගැටලුවලට දසුන්ටත් මුහුණදෙන්න සිදුවෙන්න ඇති.

ඇත්තටම ඔව්. ඒ ගැටලුවලට අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවුණානෙ. ඇත්තටම මට පොඩි හරි සහනයක් ලැබුණෙ මගේ බිරිඳ නිසා. ඇයත් මුදල් උපයන නිසා ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සහයෝගයත් එක්ක අපි ජීවත් වෙලා හිටියා. මට රංගනයෙන් පමණක්ම ජීවත්වෙන්න වුණානම් මේ වෙද්දි වෙනත් රැකියාවක් හොයාගන්න වෙනවා. නමුත් බිරිඳගෙ සහයෝගය තිබුණ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ.

ඒ කියන්නේ වෘත්තිය විදියට රංගනය කරගෙන යන්න බැරි දැඩි අර්බුදකාරි තත්ත්වයක් මේ වෙද්දි තියෙනවා.

ලංකාවේ දැන් තියෙන තත්ත්වය එක්ක මිනිස්සුන්ට ගැටලුකාරි බව වැඩියි. හැමදේකම මිල ගණන් ඉතා ඉහළයි. ඒ නිසා අපි උපයන මුදල් ඉක්මනින් නැති වෙනවා. ඒ ප්‍රශ්නය මේ වෙද්දි බරපතළ සිදුවීමක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න කියලා අපිට අපේ කලාව කරගෙන යන්න නොහැකිවුණොත් වැඩකුත් නැහැනෙ. ඒ නිසා අපිට සිද්ධවෙනවා ආර්ථික හිඟයට වඩා කලාව ගැන හිතන්නත්. ඒ නිසා රටේ අර්බුද මැද්දෙ වුණත් අපේ අරගලය අපි කරගෙන යනවා. මොකද රංගනය කියන්නෙත් මගේ ජීවිතේ වගේ නිසා.

දැන් ඉතින් සෙල්ලම් නැහැ දරුවො දෙන්නෙකුත් ඉන්නවනෙ නේද?

ඒකනෙ දැන් තනිකඩ ජීවිතේ ගෙව්වා වගේ නෙමෙයිනෙ දුවලා දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් විදියට ජීවිතේ වගකීමකුත් තියෙනවා.

 

දැන් ඒ දෙන්නගෙ වයස කොහොමද?

ලොකු දුවට අවුරුදු හතර හමාරයි, පොඩි දුවට තුන හමාරයි. තවම දෙන්නා පොඩියි. ඉතින් ඒ ආදරණිය බව හරි සුන්දරයි. මම මේ දිනවල ඒ සුන්දරත්වය විඳිමින් ඉන්නවා.

ඒ සුන්දරත්වය වචනවලට පෙරළුවොත්?

ඇත්තටම දරු සෙනෙහස කියන දේ ලැබෙන්නම ඕනෑ ඉතාම ආදරණිය හැඟීමක්. ඒ බැඳීම මාරයි. මට දැන් මොන දේ වුණත් බබාලා දෙන්නා නොබලා ඉන්න බැහැ. ජීවිතේ මොන ප්‍රශ්නකාරී ගැටලුකාරී බවක් තිබුණත් බබාලා දැක්කම ඒ හැමදේම මඳකට හරි නැතිවෙනවා. මෑතකදි මම ගෙදරින් තරහවෙලා ගිහින් දවසෙන් ගෙදර ආවා. මොකද දැන් බබාලා නොදැක ඉන්න බෑ. ඒ බැඳීම් නිසා තමයි පවුල කියන දේ තවත් බැඳෙන්නෙ. දැන් මගෙන් ඇහුවොත් ජීවිතේ අංක එක මොකද්ද කියලා මම කියන්නෙ මගේ දුවලා දෙන්නා කියලා. මම කොහොමත් කැමැත්තෙන් හිටියෙත් දුවෙකුට තමයි. ඒ නිසාමද කොහෙද මට දැන් දුවලා දෙන්නෙක්ම ඉන්නෙ. බිරිඳත් මට ඒ දේ කියනවා. ඉතින් දැන් පවුලක් විදියට ඒ ආදරේ ලබමින් සතුටින් ඉන්නවා ඒ දෙන්නා එක්ක.

දස්සා මැස්සා විදියට මේ දිනවල ජනප්‍රිය වෙලා ඉන්නවා නේද?

ඔව්නෙ. ඒ මගේ අලුත්ම ටෙලි නිර්මාණ රංගනය. මෙහි අධ්‍යක්ෂවරයා ඉන්දික ධර්මතිලක සහ පිටපත් රචක කෞශල්‍ය පතිරණ තමයි. දස්සා මැස්සා කළේ. ඉතින් ‘‘මැස්සා’’ කියන්නෙ වෙනස්ම විදියෙ නිර්මාණයක්. මේ වෙනුවෙන් ප්‍රවීන, නවක හොඳ කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහි ට්‍රේලර්ස් යද්දිම ගොඩක් දෙනෙක් මේ පිළිබඳව කතා කළා. මෙහි ටැග් ලයින් එක වුණේ ‘‘යන එන තැන් නොදන්න උන්’’ කියලා. ආතක් පාතක් නැතිව අනාථ වෙලා තමන්ගෙ ජීවිතේ ගැට ගහන්න ගේමක් දෙන කොළඹ ජීවත්වෙන කොල්ලෙක් සහ මිනිසුන්ගෙ කතාවක් මේ. අපිට වුණත් රූගත කිරීම් සිදු කෙරෙද්දි තේරුණා මේ නිර්මාණ කටයුත්ත හොඳ වැඩක් විදියට පත්තු වෙයි කියලා. වෙනම හැඩයක් තියෙයි කියලා විශ්වාසයක් තිබුණා. ඉතින් මේ නිර්මාණය පටන් අරන් දවස් කිහිපයක් ගතවුණේ. ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා මේ වෙද්දි.

ඉතින් මේ මැස්සා ගැන පොඩ්ඩක් කියමු.

මැස්සා කියන්නෙ මගේ චරිතයෙ නම. කුණු කාණුවක හමුවන ළමයෙක් ඔහු. ඉතින් මේ අනාථ ළමයා සමාජයේ නරක පැතිවලට යොමු වෙනවා. ජීවත් වෙන්න විවිධ ගේම් ගහන චරිතයක්. මොන දේ කළත් ඔහු මනුස්සකමත් එක්ක තමයි ජීවත් වෙන්නේ.  ඉතින් මේ කුණු කාණුවෙන් හමුවුණු මැස්සා උත්සාහ කරනවා ඒ කාණුවෙන් එළියට යන්න. තමන්ට කියලා නමක් හොයාගන්න. නමුත් හැදිලා තියෙන නම තමයි මැස්සා. ඉතින් ස්වර්ණවාහිනියේ සෙනසුරාදා, ඉරිදා රාත්‍රී 8.30 විකාශය වන ‘‘මැස්සා’’ බැලුවොත් මේ ගැන වැඩි විස්තර දැකගන්න ලැබෙයි.

ඉතින් මේ විදියට කාලෙන් කාලෙට චරිතවලින් දැඩි කතා බහකට ලක්වෙන දස්සාට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැනත් කියමු?

ඇත්තටම අද වෙද්දි රංගන ශිල්පියෙක් විදියට මට ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය සහ ඒ ආශිර්වාදය තමයි මේ ආපු කලා ගමනෙදි මම ලබපු ලොකුම ජයග්‍රහණය. මොකද මම නිර්මාණවලින් කාලයක් දකින්න හිටියෙ නැතත් පාරට බැස්සම මම කරපු නිර්මාණ ඔස්සේ හැමදාම ලැබුණු ඒ ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. මගෙ වටා එකතුවුණු රසික පිරිසක් ඉන්නවා. ඔවුන් ඇවිල්ලා කතාබහ කරනවා කොහේ දැක්කත් මාව දකින්න නැත්තම් අහනවා අලුත් නිර්මාණයක් නැද්ද? ඒ ආදි දේවල් ඉතින් මට ඒ ටිකම ඇති රංගන ශිල්පියෙක් විදියට තෘප්තිමත් වෙන්න. මොකද ප්‍රේක්‍ෂකයන්ගෙන් ඒ ලැබෙන ප්‍රතිචාරවලින් තමයි දිරිමත් වෙන්නේ. ඒ දේවල් මුදල්වලින් ගන්න බැහැ. සමහර වෙලාවට අපි වැටිලා ඉන්න වෙලාවකදි වුණත් පාරට ගිහින් එහෙම ඉද්දි කට්ටිය ඇවිල්ලා කතා බහ කරලා රංගන ශිල්පියෙක් විදියට දායක වුණු චරිත සහ ඒ නිර්මාණ පිළිබඳ අගයද්දි හැම ප්‍රශ්නයක්ම මදකට හෝ අඩුවෙනවා. ඇත්තටම ඒ හැමදේම එක්ක බලද්දි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර නැත්තම් ක්ෂේත්‍රයේ ඉඳලා වැඩකුත් නැහැ. ප්‍රේක්‍ෂකයො නැතිව කලාකාරයාගෙන් වැඩකුත් නැහැනෙ. ඉතින් අපි මේ කරන හැමදේම කරන්නෙ ඔවුන් වෙනුවෙන්.

ධනු විජේරත්න