මට දෙයක් කරන්න ඕනේ වුණොත් ඒක කරලාම තමයි පස්ස බලන්නේ
කටහඬත් රූපයත් එක ලෙසම තිබෙන සජී මොහොට්ටිගේ කියන්නේ ලංකාවේ ජනප්‍රියම ගුවන්විදුලි නිවේදිකාවක්. හිරු එෆ්.එම් සහ හිරු ටී.වී නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන සජී නිරූපිකාවක්ද වනවා. සජීගේ රූපයත් කටහඬත් නිසාම ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඉතින් සජී අප සමග සාරවිට කතාබහකට එකතු වුණේ මේ විදිහටයි.
මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද?
මේ දවස්වල වැඩ කටයුතු හොඳයි. හොඳින් කරගෙන යනවා. ටිකක් කාර්යබහුලයි. ෂූටින් එක්කයි රේඩියෝ එකේ වැඩයි, ටීවී එකේ වැඩ එක්ක ටිකක් කාර්යබහුලයි. ඒවාත් එක්ක තමයි කාලය ගත වෙන්නේ.
සජී ගුවන්විදුලියට එකතු වෙන්නේ කොහොමද?
ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට ගමන ආරම්භ වන්නේ උසස් පෙළින් පස්සේ. මම පොඩි කාලේ ඉඳලාම ආස වුණේ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න. හැබැයි දැන් රූපවාහිනී නිවේදිකාවක් දක්වාම ඇවිත් තියෙනවා. ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට තමයි ගමන පටන්ගත්තේ. ඉතින් මේ හැමදේම පටන් අරගෙන දැන් අවුරුදු නවයක්.
ඔබව මේ දවස්වල දකින්න ලැබෙනවා අළුත්ම ගීත රූප රචනාවකින්. ඒ ගැන කිව්වොත්?
ඔව්. ළඟදීම කරපු සිංදුව තමයි තිවංක දිල්ශාන් ගායනා කරන ‘නේනා’ ගීතය. ඒක මේ වෙද්දි මිලියනයක පිරිසක් නරඹලා ට්‍රෙන්ඩින්වල පළමු තැනට ඇවිත් තිබෙනවා. ඒ ගැන සතුටුයි. මියුසික් වීඩියෝවලට ඉන්න එකත් මම ආස දෙයක්. මියුසික් වීඩියෝවලට නම් ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ අස්සෙන් තෝරලා බේරලා මම කැමති විදිහේ කන්සෙප්ට් එකක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම කරනවා.
‘නේනා’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඒක දැන් ට්‍රෙන්ඩින්වල පලමු තැනට ඇවිත් තිබෙනවානේ. ගීතයට ප්‍රතිචාර ගොඩාක් හොඳයි.
ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස ක්ෂේත්රයට පැමිණ රූපවාහිනියට දොර විවර වෙන්නේ කොහොමද?
රූපවාහිනියේ දොර විවර වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි. ටිකක් පහුවෙලා තමයි ඒ චාන්ස් එක ලැබුණේ. හිරු එකට ආවට පස්සෙයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඒකට මං අනිවාර්යයෙන් හිරු එකේ සභාපතිතුමා ඇතුළු හැමෝටම ස්තූතියි කරනවා. හිරු නාලිකාවේ ‘හිරු වින්දනීය උදෑසන’ වැඩසටහන හරහා මම ආලින්දයට එනවා.
සජී කියන්නේ ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදිකාවක්. ඒ ජනප්‍රියත්වය දැනෙන්නේ කොහොමද?
ඇත්තටම මට වෙලාවකට හිතාගන්න බැහැ එච්චරටම මිනිස්සු මට ආදරේද කියලා. මට ඒක මාරම මාර විදිහට දැනෙනවා. හරිම සතුටුයි. හෙමින් හෙමින් දවසින් දවස ආපු ගමන ගැන පස්සට හැරිලා බලද්දි මාරම සතුටුයි. ඒ වගේම ඒක මාර හොඳ හැඟීමක් විදිහට දැනෙනවා.
කටහඬ වගේම රූපයත් ලස්සන සජී රූපය පවත්වාගෙන යන්නේ කොහොමද?
රේඩියෝ එකේ අපේ රූපය පේන්නේ නැහැ. අපේ වොයිස් එක විතරයි ඇහෙන්නේ. හැබැයි රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවාට අමතරව මම මොඩ්ලින් කරනවා, මියුසික් වීඩියෝ කරනවා, කමර්ෂල් කරනවා, රූපවාහිනී නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා. ඒ දේවල්වල ඉන්න නිසා මම ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම මුලින්ම මං ගැන තමයි හිතන්නේ. ඒ නිසා හැමදේම බැලන්ස් එකේ කරගෙන යනවා.
සජී නිදහසේ ඉන්න වෙලාවට මොනවා කරන්නද වැඩිපුරම කැමති?
මම වැඩිපුරම ආස කෙනා තමයි මගේ බල්ලා. එයා golden retriever කෙනෙක්. එයාගේ නම බෙලා. පොඩි හරි නිදහසක්, නිවාඩුවක් ලැබෙන හැම මොහොතෙම මම කැමතියි බෙලා එක්ක ඉන්න. මම සතියේ දවස් පහම කොච්චර වැඩ කළත් සති අන්තයේ මම කිසිම වැඩක් දාගන්නේ නැහැ. ඒ දවස් දෙකම මම කැමතියි මගේ බල්ලත් එක්ක ඉන්න.
ඔබට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
හිරු ටී.වී එකේ shadow කියලා ඩ්‍රාමා එකකට රංගනයෙන් දායක වුණා. දැන් විකාශය වන දළදාගමනය ඩ්‍රාමා එකෙත් රඟපානවා. හැබැයි හිරු ටී.වී එකෙන් කරන ටෙලි නිර්මාණවලට විතරයි දැනට සම්බන්ධ වෙලා ඉන්නේ.
සජී නිවේදිකාවක් නොවුණා නම් කවුරු වෙන්නද ඉඩ තිබ්බේ?
ඒක ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක්. මම පොඩි කාලේ ඉඳලාම දෙයක් කරන්න ඕනේ වුණොත් ඒක කරලාම තමයි පස්ස බලන්නේ. ඒ නිසා මම පොඩි කාලේ ඉඳලාම ආස කරපුම දේ තමයි රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක. මම දන්නේ නැහැ ඒක කොහොමද ආවේ කියලා. මම පොඩි කාලේ ඉඳලාම මීඩියා පැත්තට සම්බන්ධයි. ඉස්කෝලේ කාලේත් මීඩියා ම තමයි. ඕලෙවල් කාලෙත් ඒලෙවල් කාලෙත් මීඩියා ම තමයි. එහෙම්මම ඇවිත් අන්තිමට මීඩියාවලටම සම්බන්ධ වුණා.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
ඉස්සරහට අළුත් වැඩ ගොඩක් එන්න තියෙනවා. මියුසික් වීඩියෝ දෙකක් එන්න තිබෙනවා. අළුත් ඩ්‍රාමා දෙකකත් වැඩ තියෙනවා. වැඩ ගොඩක් ඉස්සරහට තියෙනවා. ඒවා ගැන දැන්ම කියන්නේ නැතුව ඉන්නම්.
ආරම්භයේ ඉඳලාම ළඟ හිටපු අයවත් මතක් කරමු?
අම්මෝ.. ගොඩාක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බැරි තරම් ගොඩක් ඉන්නවා. ටික දෙනෙක්ව මතක් කළොත් අනෙක් අය තරහා වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම හදවතේ ඉන්නවා. මගේ ගෙදර අය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. අම්මා මගේ ළඟ නැතත් දුරට වෙලා හිටියත් හැමතිස්සේ කතා කර කර ළඟින් ඉන්නවා. තාත්තා, මල්ලි, අක්කා ඇතුළු පවුලෙන්ම ලැබෙන සහයෝගය මාර දෙයක්. ගොඩක් වෙලාවට එයාලා ළඟ නැහැ. ඒත් ෆෝන් එකෙන් කතා කරද්දි දුර හිටියත් ළඟින් ඉන්නවා වගේම තමයි දැනෙන්නේ. ඒ හැමෝවම ආදරයෙන් මතක් කරනවා.
සාකච්ඡා - කැළුම් දේවින්ද