මට චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා
රංගනයට නුදුරේම පිවිසෙන්නට සූදානමින් සිටින පසිඳු සඳකැළුම් සමගින් මෙවර අප කතා කළා. රංගනය ගැන දැනට හදාරමින් සිටින ඔහු, වර්තමානයේ සිනමා ක්ෂේත්රය තුළ ප්‍රසිද්ධ සිනමා අධ්යක්ෂවරයෙකුගේ නිර්මාණයකට එක්වීමට සූදානමින් සිටියි. ඒ නිසාම මෙවර අප පසිඳුට මෙසේ ඉඩක් වෙන් කරන්නට හිතුවා.
පසිඳුට පාසල් කාලය මතකද?
පාසල් කාලයේ මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කළා. හැබැයි රංගනයට පැත්තට නෙමෙයි සංගීතය පැත්තට. විෂයක් විදිහටත් මම පාසල් කාලයේ සංගීතය හැදැරූවා. නමුත්, මගේ හිත තිබුණේ කවදාහරි රංගනයට පැත්තට යොමු වෙනවා කියන එක.
පාසල් කාලයෙන් පස්සේ ඔබ රංගනයට පැත්තට යොමු වුණාද?
අවස්ථා නම් ආවා. හැබැයි මම ගොඩක් හිතන දෙයක් තමයි ඕනෑම දෙයක් භාරගනිද්දි ඒ පිළිබදව යම් හැදෑරිමක් තියෙන්න ඕනා කියන දේ. ඉතින් මම රඟපාන්න කලින් ඒ ගැන ඉගෙන ගන්න ආස කළා. ඔය විදිහට තමයි මම රුවන් පෙරේරා හා චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද යටතේ රංගනය ගැන හදාරන්න ගත්තේ. දැනට මම මාස හයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් සමග රංගනය ගැන ඉඟෙන ගනිමින් සිටිනවා.
තවමත් රඟපාන්න අවස්ථාවක් ඔබට ලැබුණේ නැද්ද?
චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. මම හිතන්නේ නොබෝ දිනකින් මෙහි වැඩ කටයුතු ආරම්භ වෙයි කියලා. ඇත්තටම මුලින්ම චිත්‍රපටයක රඟපාන්න ලැබීම ගැන මට සතුටක්. මොකද, ඕනෑම කලාකරුවෙකුගේ ලොකුම හීනේ තමයි සිනමාවට එකතු වෙන්න එක.
අද ගොඩක නවකයෝ ක්ෂේත්රය තුළ රැඳීලා ඉන්නේ නැහැ?
අන්න ඒ කාරණය මගේ හිතේ ලොකුවටම තිබුණ දෙයක්. ඒ හින්දා තමයි මම හැදෑරිමක් කරලාම මේ ක්ෂේත්රයට එන්න හිතුවේ. ගොඩක් නවකයෝ මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්නේ නැති හේතුව මම දකින්නේ ඕක. මෑත කාලයේ නවකයෝ ගොඩක් මේ ක්ෂේත්රයට ආවා. නමුත්, දැන් රැඳිලා ඉන්නේ ඒ ප්‍රමාණයෙන් අතළොස්සක පිරිසක් පමණයි.
රංගන ශිල්පියෙක් විදිහට ඔබට ලොකු ඉලක්කයක් තියෙනවා?
ඇත්තටම තියෙනවා. මගේ මුල්ම ඉලක්කය තමයි මේ ක්ෂේත්රය තුළ ස්ථාවර වීම. ඊට පස්සේ මම කැමතියි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන්න. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සුපිරි තරුවක් වෙන හීනෙකුත් මට තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ඒකපාර මට ලබාගන්න බැරිවුණත් මම මේ හැම එකක්ම කාලයක් යනකොට ලබාගන්න උත්සාහ කරනවා කිව්වොත් හරි. රංගන ශිල්පියෙක් වෙන්න හැමෝටම බැහැ. කොතරම් දක්ෂතාවය තිබුණත් ඒකට වාසනාවත් බලපනවා. ඉතින් මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න ලැබුණ එකම මම දකින්නේ මගේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් විදිහට.
ඔබ හිතනවද ඔබට රඟපාන්න පුළුවන් කියලා?
ඔහු මම හිතනවා මට රඟපාන්න පුළුවන් කියලා. ඒ නිසානේ මට දැන් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මම හිතනවා ඒක මගේ රංගන දිවියේ හොඳ ආරම්භයක් වේවි කියලා. බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ ලැබුණ අවස්ථාව උපරිමයෙන් කරලා පළමු නිර්මාණය හරහාම නමක් හදාගන්න. සිනමාවට වගේම ටෙලි නාට්‍යය පැත්තටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න මම හිතාගෙන ඉන්නවා. ඒකත් මගේ එක්තරා හීනයක්.
බුද්ධික සේනාධීර / ඡායාරූප - සුපුන් උදයංග