මට කලාව කියන දේ ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල කලා නිර්මාණ කිහිපයක් ඔස්සේ දකින දසුන් පතිරණ ප්‍රේක්ෂකයින් අතර අද වනවිට වැඩිපුරම කතා බහ වන තරුණ නළුවා වී තිබේ. වෙනස්ම විදිහේ කලා නිර්මාණ ඔස්සේ අපි නිතර දකින නළුවෙකුද වන දසුන්ට මෙවර අපි සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා.

මේ දිනවල ඔබ නිර්මාණ කිහිපයකින්ම අපි දකිනවා?

ඔව්, ස්වාධින රූපවාහිනියේ දිග හැරෙන හියුමන් එරර්  ටෙලි නාට්‍යයේ වගේම මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ සහෝ කියන චිත්‍රපටය හරහා මාව මේ දිනවල ප්‍රේක්ෂකයින්ට දකින්නට පුළුවන්. ඒ වගේම මේ නිර්මාණ හරහා මට ඉහළ රසික ප්‍රතිචාරත් අද වෙන කොට ලැබෙමින් පවතිනවා.

හියුමන් එරර් කියන්නේ වෙනස්ම විදිහකට හැඳුන ටෙලියක්?

ඔව්, හියුමන් එරර් කියන්නෙ වැඩිහිටියන් වෙනුවෙන් කරපු නිර්මාණයක්. ඒක කොටස් අටක  ටෙලි කතාමාලාවක්. අපිට අවශ්‍ය වුණා ප්‍රේක්ෂකයින්ට වෙනස්ම විදිහේ  කතා මාලාවක් දෙන්න. හැබැයි මේක අපි දෙන්න හිතුවේ පොඩි අයට නෙමෙයි අවුරුදු දහ අට පැනපු වැඩිහිටි අයට. මොකද, මේ ටෙලිය ඇතුලේ සෙක්ස් තියෙනවා. ඒ වගේම ප්‍රචණ්කාරිත්වය තියෙනවා. ඉතින් මේක ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකිමක්. මම හිතනවා ඉදිරියට මේ වගේ නිර්මාණ තවත් අපිට දකින්න පුළුවන් වේවි කියලා. වෙනස්ම නිර්මාණයක් නිසා ප්‍රේක්ෂකයින්ටත් මේ වැඩේ හොඳට හිතට අල්ලලා තියෙනවා. ඒක හොඳින්ම පෙන්නේ මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක කිව්වොත් හරි.

සහෝ චිත්‍රපටය ගැනත් අපි කතා කරමු?

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ මුල්ම අධ්‍යක්ෂණය තමයි සහෝ කියන්නේ. ඒකට දායකවීම සම්බන්ධයෙන් ඇත්තටම මට ලොකු සතුටක් තියෙන්නේ. ඒක වෙනස්ම විදිහේ ආකෘතියකට නිර්මාණය වුණ චිත්‍රපටයක්. කොටින්ම කිව්වොත් අධ්‍යක්ෂකතුමාට අවශ්‍ය විදිහට මම ඒ චරිතය පණ දුන්නා. දැනට මම චිත්‍රපට කිහිපයකම රඟපාලා තියෙනවා. නමුත්, සහෝ කියන්නේ මට වෙනස්ම විදිහට අත්දැකිමක් ලැබුණ එකක්. ලංකාවේ විශ්වවිද්‍යාලයක තරුණ පිරිස් අතරේ තියෙන ආදරය, විරහව, අරගලය මේ හැමදෙයක්ම සහෝ චිත්‍රපටයේ ඇතුලේ කතා වෙනවා. මම හිතනවා සරසවි සිසුවෙක්ට ඒක හොඳටම දැනෙන චිත්‍රපටයක් වෙයි කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹලා හොඳ රසාස්වාදයක් විඳගන්න කියලා.

ලංකාවෙ ලිංගීකත්වය කියන මාතෘකාව යටතේ කලා නිර්මාණ කරනවා අඩුයි නේද?

ලංකාවේ සෙක්ස් කියන්නෙ අපේ සංස්කෘතිය ඇතුලේ විවෘතව කතා කරන්න ලැජ්ජ මාතෘකාවක්. ඒක හංගලා කරන දෙයක්. ඒත් සෙක්ස් කියන එක මිනිස්සුන්ට අවශ්‍යයි. ඒක මිනිස්සුන්ට තදින්ම දැනෙන දෙයක්. අපිට කෑම වගේම සෙක්ස් කියනදෙත් අපේ ඇඟට ඕනා දෙයක්. අපේ සංස්කෘතිය ඇතුලේ වහගෙන ඉන්න දෙයක් නිසා තමා ඒක මාර වෙන්නේ. ලංකාවේ නිළියක්ගේ පියයුරක් දැක්කත් ඒක මාර දෙයක් වෙන්නේ අන්න ඒ නිසා. හුස්ම චිත්‍රපටය දුවන්න ප්‍රධානම හේතුව තමයි එකේ තිබුණ සෙක්ස් දර්ශන. ඉතින් ලංකාවේ මිනිස්සු ඉන්නේ යම් පීඩනයක් එක්ක. ඒකට හේතුව තමා ලිංගිකත්වය කියන එක හැංගිලා කරන මාතෘකාවක් නිසා. පාසලේ හරි ජිවත්වෙන පවුල ඇතුළේ හරි මේ ගැන එළිපිට කතා කරන්න පුළුවන් නම් මේක මේ විදිහට මාරම දෙයක් වෙන්නේ නැහැ. මම නම් කියන්නේ සෙක්ස් කියන මාතෘකාව ලෝකෙ තියන හොඳම මාතෘකාවක් කියලා.

සීමාවෙන් ඔබ්බට ගිය රංගන ශිල්පියෙක් ඔබ. විවිධත්වයකින් යුත් නිර්මාණ තෝරාගැනීම ගැන ඔබේ අදහස?

මම ආසයි මට සීමාවන් නෑ කියලා කියන්න. මම නළුවෙක්. තවත් විදිහකින් කියනවා නම් මම කලාකරුවෙක්. ඒ නිසා මට සීමාවක් තියෙන්න බෑ. එකම රාමුවකට කොටුවෙන්න බෑ. මම විවෘතයි. ඉතින් මට කලාව කියන දේ ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ සීමාව දාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයෝ. ඒකයි ඒ අය කියන්නේ සීමාව පන්නනවා කියලා. හැබැයි මගේ සීමාවක් නෑ. කලාකරුවෙක්ට සීමාවක් තියෙන්න බෑ. ඔහු පොදු වස්තුවක්. ඒ ගොල්ලන්ට කුලකයක් තියෙන්න බෑ. ඉතින් මම කලාකරුවෙක්. මමත් පොදු වස්තුවක්. ඉතින් මටත් සීමාවන් නෑ.