මට ඒකට සම්මානයක් නැතිවුණාම ධර්මසේන පතිරාජ පුදුම වුණා
ටෙලි තිරයේ දශක දෙකක පමණ කාලයක් පෙම්වතා වූ ඔහු විටෙක පිටපත් රචකයෙකි, තවත් විටෙක අධ්යක්ෂවරයෙකි, ගීත රචකයෙකි, ගායකයෙකි, නවකතා රචකයෙකි, නාට්‍ය ගුරුවරයෙකි. සිනමාව ගත් කල වීරයා, දුෂ්ඨයා සේම විකට ශිල්පියා ලෙසද චරිත ගණනාවකින් ඔහු තම ප්‍රේක්ෂකයන් අතරට ගියේය. ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී පාලිත සිල්වාය. අද හදසර My story තුළින් අප කියවන්නේ ඔහු කියන ඔහුගේම කතාවයි.
පාලිතගේ මවත් පියාත් දෙදෙනාම මාතර වුවද පාලිතගේ උපන් බිම ගල්කිස්සය. ඔහුට සිටින්නේ එක් වැඩිමහල් සහෝදරයකු පමණය. පියා එවක ප්රමුඛ පෙළේ සංචාරක හෝටලයක රැකියාව කළ අතර මව දෙදරුවන් රුක බලාගෙන නිවසේ සිටියාය. හේනපාර කණිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාලිත දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලැබීය. කුඩා කල සිහින දුටුවේ, කැමැත්තෙන් සිටියේ කවරකු වන්නටදැයි ඔහුගෙන් මම මුලින්ම ඇසුවෙමි. පුංචි කාලේ ඉඳන් මම ඉගෙනීමට ගොඩක් දක්ෂයි. පහ ශ්‍රේණිය දක්වාම මම පන්තියේ පළමුවැනියා. හැබැයි ඊට පස්සෙ මේවා ටිකක් වෙනස් වුණා. ඒකට වැඩියෙන්ම බලපෑවේ ක්‍රීඩාවට වැඩි වැඩියෙන් යොමුවීමයි. මම ක්‍රිකට් සහ පිහිනුම් ක්‍රීඩාවට ගොඩක් කැමැත්තෙන් එකතු වුණා. ක්‍රිකට්වලින් ඉදිරියට යන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒත් ඒක ඒ දවස්වල හිතූ තරම් ලේසි වුණේ නැහැ. පවුල් පසුබිම ඒකට සෑහෙන්න බලපෑම් කළා. ඒ වගේම ආර්ථික ශක්තිය මේ හැමදෙයක්ම වැදගත් වුණා ඒ ගමන යන්න. ඒ වගේම පිහිනුම් ක්‍රීඩාවටත් මම ගොඩක් කැමැත්තෙන් හිටියා. ඒත් මට ඒ වෙනුවෙන් පිහිනීම් පුහුණු වෙන්න සතියකට පැය දෙකයි. දවසකට පැය දහය පහළොව පිහිනුම් තටාකවල ක්‍රීඩකයන් පුහුණු වෙද්දි සතියකට පැය දෙකක් පුහුණුවෙලා මම මොනවා කරන්නද? මේ දේවල් සමඟ මගේ ගමන වෙනස් වුණා.
ජාතික තරුණසේවා සභාව සමඟ එක්ව කළ තවත් එක් විරෑපයෙක්^ නාට්‍ය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම දෙවැනි ස්ථානය දිනාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 16 කි. එහි රචනය සහ නිෂ්පාදනය ඔහුගේය. ඉන්පසු වයස අවුරුදු 17 දී ඔහු යෞවන සම්මාන උළෙලේ අවසන් වටයටද සුදුසුකම් ලැබීය. මෙහිදී ඔහුට ඉතා වටිනා අවස්ථා දෙකක් හිමිවිය. එනම් ප්‍රවීණ නාට්‍යවේදීන් වූ දයානන්ද ගුණවර්ධන සහ සුගතපාල ද සිල්වා හමුවීමය. දයානන්ද ගුණවර්ධනයන් ඔහුගේ ආනන්ද ජවනිකා^ නාට්‍ය සඳහා පාලිතට අවස්ථාවක් ලබා දුන් අතර සුගතපාල ද සිල්වා ඔහුගේ මරාසාත්^ නාට්‍යයටද කැඳවීමක් කළේය. ඒ 1984 වසරේදීය. ඒ හෙරොයින් නම් මත්ද්‍රව්‍ය ලංකාවට පැමිණ ජනතාව අතර පැතිර යමින් තිබුණු කාලයකි. ඒ ගැන කතා කළ ප්‍රවේශම් වනු^ නම් නාට්‍යය එලෙස යෞවන සම්මාන උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබීය. නාට්‍ය පිටපත් රචකයකු සේම රංගන ශිල්පියකු ලෙසද ඔහුගේ හැකියාව දුටු ප්‍රවීණයන් එවක තමන් කළ නිර්මාණයන්හි පාලිත සිල්වා හට අවස්ථාවක් ලබා දුන්නද ඒ වන විටත් වේදිකාවේ කාර්යබහුල වූ බැවින් ඔහුට එම වටිනා අවස්ථා ද්විත්වයම ගිලිහී ගිය වේදනාව දරාගන්නට සිදුවිය. අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ නෙයිනගෙ සූදුව^ ආදී නාට්‍යවලට පාලිත තම රංගන හැකියාව එක් කරමින් සිටියේය. අදටත් ඔහු එම අවස්ථාව සිහිපත් කරනුයේ වේදනාවෙනි.
1983 වසරේදී ඔහු සාජන් නල්ලතම්බි හි ඥානපාල ලෙස වේදිකාව තුළ අතිශය කාර්බහුල විය. එසේම එහි පිටපත සංස්කරණයටද දායකත්වය ලබා දුන්නේය. අද වනවිට සංස්කරණයේ පවතින්නේද පාලිත සිල්වා කළ අවසන් සංස්කරණයයි.
පුන්තිලා, ගිම්හානයේ සිහින රුයක ආදී නාට්‍ය සඳහා ද ඔහු රංගනයෙන් එක් විය. වේදිකාව මගේ ප්‍රියතම තැනක්. ඒ දවස්වල මේ නාට්‍ය සමඟ අප රට වටා ගියා. ඒ වගේම සිනමාවේ දැවැන්තයන් මේ වේදිකා නාට්‍ය නරඹන්න ආවා. විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා වගේ සිනමා නළුවන් මේ විදියට වේදිකාවෙදි හමුවුණා. හැබැයි කවුරුත් පාලිත සිල්වා කියන රංගන ශිල්පියකු දැන සිටියාට මගේ සැබෑ ස්වරෑපයෙන් මා හඳුනාගෙන සිටියේ නැහැ. අනික ඒ වනවිට මම වේදිකාවේ පමණයි රංගනයේ යෙදිලා තිබුණේ. බොහෝවිට මාව සැබෑ ස්වරෑපයෙන් පාලිත සිල්වා කියා හඳුනාගත්තම පුදුමයට පත්වෙලා මේ ඒ වේදිකාවේ දක්ෂ රංගන ශිල්පියා පාලිත සිල්වා ද කියලා ඇසූ අවස්ථා තිබුණා. දවසක් ප්‍රවීණ රංගන ශිල්පී නීල් අලස් මහතාව හමුවූ අවස්ථාවකදීත් එහෙම වුණා. මම පාලිත කියා හඳුන්වා දුන්නාම පාලිත කිව්වේ.. ආ මේ මම, පාලිත සිල්වා කියලා නැවත හඳුන්වා දුන්නාම ආ... මල්ලි ඔයා මේ සාජන් නල්ලතම්බි එකේ රඟපාන පාලිත සිල්වාද? කියලා ඔළුවේ අත තියාගෙන කතා කළා. පාලිත ඔහුට වඩාත් සුපුරුදු සිනහවෙන් පැවසීය.
මේ අතරතුර ඔහුට විදෙස් සිනමාවේදීන් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් හිමිවිය. ඒ 1987 වසරේදීය. ඒ කාලේ සුදර්ශියේ නාට්‍ය වැඩ කටයුතු කරගෙන යන අතරතුර එහි ආ කෙනෙක් මට පණිවුඩයක් ලබා දුන්නා. ඒක තමයි Casting director^ කෙනෙක් එන වග. සිනමාවේදී ප්‍රධාන නළු නිළියන් තේරීමට පමණයි බොහෝවිට චිත්‍රපට අධ්යක්ෂවරයා සම්බන්ධ වුණේ. මොහු තමයි චිත්‍රපටයට අදාළ චරිත සඳහා ශිල්පීන් තෝරන්නේ. මවුන් බැට්න් සාමි කියලා චිත්‍රපටයක් කළා. මමත් එයට තේරුණා. ටෝනි රණසිංහ, රිචඩ් ද සොයියා වැනි රංගවේදීන්ද එම චිත්‍රපටයට එක්ව සිටියා. නමුත් අවාසනාවකට එහි අවස්ථාවන් අවසාන මොහොතේ ගිලිහී ගියා. ඔහොම ඉන්න අතරේ නැවත Casting director කෙනෙක් ලංකාවට ආවා. එහිදී මට අවස්ථාවක් ලැබුණා Shadow of the cobra සඳහා එක්වන්න. එහි ප්‍රධාන නළුවාත් සමඟ තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ආර්ට් මලික්, ආතර් ඩිග්නම්, මයිකල් වුඩ්ස් වැනි ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබීම ඇත්තටම භාග්‍යයක්. මම වේදිකාවේ කොතරම් වැඩ කළත් සිනමාවට ඒ වනවිට එක්වෙලා නැහැ. අතිරේක ශිල්පියෙක් වුවත් එම විදෙස් සිනමාවේදීන් අතිරේක ශිල්පීන්ට කියලා අඩු සැලකිල්ලක් තිබුණේ නැහැ. ඒ දවස්වල වායු සමීකරණය කළ බස් එකක් තිබුණා. ඒකේ තමයි රෑගත කිරීම් අතරේ රැඳී ඉන්නේ. ඒ කාලේ අපි වායු සමීකරණ බස්වල ගිහිල්ලවත් නැහැ. ඉතින් ඔවුන් මටත් කිව්වා එන්න.. මේ ඇවිත් විවේක ගන්න කියලා. ඇත්තටම කිව්වොත් ලංකාවේ මට එතරම් අපහසුවක් නැහැ. හිනාත් යනවා.* සැබෑ ලෙසම පුළුල් සිනහවකින් ඔහු පවසයි.
චිත්‍රපටයේ රෑගත කිරීම්හි විවේකයක් ලද වේලාවන්වල මෙම විදෙස් රංගන ශිල්පීහු පාලිත සිල්වා වේදිකාවේ කරන රංගනයන් දකින්නට එක්වූහ. ඔහුගේ රංගනය දුටු ආර්ට් මලික් නම් ප්‍රවීණ රංගන ශිල්පියා එංගලන්තයේ පාඨමාලාවක් හදාරන්නට එන ලෙස ඔහුට පැවසීය. අවශ්‍ය වනුයේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කර ගැනීම පමණක් බව ඔහු පවසා තිබුණි. ඒ අනුව පාලිත බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ඉංග්‍රීසි භාෂාව හදාරනු ලැබුවද පැවති අධික කාර්බහුලත්වය මත එංගලන්තයට යාමට නොහැකි විය. එහෙත් පසු කලක ඔහු එම අවස්ථාව ලබා ගත්තේය. ජර්මනිය එලෙස ඔහු ගිය රටකි. 1988 වසරේ ඔහු එලෙස ජර්මනියේදී රඟපෑ Kaspar අදට ද එහි සංරක්ෂණය කර ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය කවුන්සිලය තුළද ඔහුට ඉංග්‍රීසි නාට්‍යයක් කරන්නට අවස්ථාවක් හිමිවූ අතර එලෙස සිංහල උගත් අයකු ලද ප්‍රථම අවස්ථා එය විය හැකි බව පාලිත පවසයි.
මට ගොඩක් විරෝධතා එහෙමත් ආවා. මම කළේ Hot cake^ කියලා නාට්‍යයක්. අධ්‍යාපන අමාත්‍යංශයේ පටිගත කරලා තියෙනවා. මේ සමඟ මම නාට්‍ය වැඩමුළු රාශියක් කළා. මේ වෙද්දි මම රෑපවාහිනියටත් එක්වෙලා හිටියේ. යූ. ආරියවිමල් මහතා තමයි මුලින්ම ආටක නාටක කියන ප්‍රහසනය සඳහා මාව රෑපවාහිනියට සම්බන්ධ කර ගත්තේ. පසුව 1988 වසරේදී රොහාන් වැලිවිටගේ නත්තල් සීයා වෙතටයි^, හරි දැකීම^ වගේ නාට්‍යවලට එක්වුණා. ඉන්පසු තමයි ඔහුගේ සුසීමා^ හි රංග චරිතය මට ලැබුණේ. මැණික් කුලකුලසූරිය සමඟ මම එහි ප්‍රධාන චරිතය නිරෑපණය කළා. 80 දශකයේ අග පහන් වැට^ නාට්‍යයේ තමයි මට මුල්ම ප්‍රධාන චරිතය ලැබුණේ. සුනිල් රත්නායක මහතා තමයි ඒ අවස්ථාව මට ලබා දුන්නේ. එහි අචලා අලස් සමඟින් රඟපෑවා. ඉන්පසු දිගින් දිගටම මට ටෙලි තිරයේ ප්‍රධාන චරිත ලැබුණා. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ^ගොළු හදවත^ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. කරුණාසේන ජයලත් මහතා වැනි අය ද ඇසුරු කරන්න ඉඩ ලැබුණා. ලෙස්ටර් මහතාගේ ඇසුර සමඟ නාට්‍ය පිළිබඳ විශාල දැනුමක් ලැබුණා. එතුමා සතුව ඉතා පුළුල් නාට්‍ය දැනුමක් තිබුණා. එය මා ලැබූ ඉතා සුවිශේෂ අවස්ථාවක්.
මේ විදිහට ඉතා දිගු කාලයක් මම ටෙලි තිරයේ පෙම්වතා ලෙස රංගනයේ යෙදුණා. ඒ කාලේ ටෙලිනාට්‍ය සඳහා සම්මාන උළෙලක් තිබුණේ නැහැ. 1993 වසරේ පැවැත්වුණා, විජය රෑපවාහිනී උළෙල. එහි මා ජනප්‍රියම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ දක්වා දෙසිය වතාවක් පමණ හොඳම නළුවා ලෙස නිර්දේශ වෙලා තියෙනවා. රෝද හතරේ මනමාලයා^ වෙනුවෙන් තමයි හොඳම නළුවා සම්මානය ලැබුණේ. කටු ඉඹුල වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානය ලැබුණා. අපේ රටේ ප්රමුඛ අධ්යක්ෂවරුන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර කියන හතරදෙනා යටතේම මා වැඩ කරලා තිබෙනවා. ඉඳුරු දොර, දුර්ගාන්තය, කම්පිත විල, පිටගම්කාරයෝ ඔස්සේ මා ලද අත්දැකීම් සුවිශේෂයි. ධර්මසේන පතිරාජයන් වරක් මට අසීරු වගකීමක් ලබා දුන්නා. දුර්ගාන්තය කරද්දි පිටු එකහමාරක් පුරා ලියැවී තිබූ දෙබසක් විනාඩි හතහමාරක් පමණ කාලයක් තනිවම කියන්න තිබුණා. මේක කට් නොකර එකම ෂොට්^ එකක දෙන්න පුළුවන්ද කියලා. මම එතකොට දෙබස් පාඩම් කරලා නැහැ. ඔහු මට විනාඩි 45ක් දුන්නා, මුළු දෙබසම එකම ෂොට් එකකින් කරන්න. වන් ටේක් ගත්තා. හැබැයි එහි අනික් සියලුම ශිල්පීන් සම්මාන ලබා ගත්තා. පතිරාජයන් පවා පුදුම වුණා. ඒත් ඔහු එහිදීත් මට ලොකු පාඩමක් කියා දුන්නා. රංගනය තුළ සම්මාන ගැන බලාපොරොත්තු තබාගැනීම අනවශ්‍ය බව මම තේරුම් ගත්තා.
සුදත් රෝහණගේ වන වදුලේ වසන්තයට පෙර මම දඹානේ ගුණවර්ධනගෙන් වැදි භාෂාව ඉගෙන ගත්තා. ඒ වගේම ටෙලිනාට්‍ය බොහොමයක විශාල ජලාශවලට, දියඇලිවලට පනින දර්ශන රැසකටම මම එක්වෙලා තියෙනවා. සිකුරු උදානය^ රෑගත කිරීම් කරද්දි නාච්චාදූව වැව වාන් දමනවා. වේගයෙන් ගිහින් පනින්න තිබුණේ මහා ජල කඳක්. මගේ පසුපසින් දුවගෙන ආවේ චාන්දනී. (චාන්දනී සෙනෙවිරත්න) මහා ජල කඳ දකින චාන්දනී දුවගෙන එන්නේ පාලිත පනින්න එපා.. පාලිත පනින්න එපා කියලා. ඒ තරම් බය හිතෙනවා. ඒත් ඉතින් රංගනයක්නෙ. ඉතින් පැන්නා. ඒ වගේම කළු දිය පොකුණ, වන වදුලේ වසන්තය, දිය සුළිය හොල්මන්, මහතලා හටන කියන නාට්යවලදිත් වලවේ ගඟ, කළු ගඟ, කැලණි ගඟ, දූවිලි ඇල්ල අසල තව ඇල්ලකට ආදී ලෙස පනින්න තිබුණා. හරිම ත්‍රාස්‍යජනකයි. මම හිතන්නේ වැඩියෙන්ම එහෙම පනින්න ඇත්තෙත් මම තමයි. පාලිත සිය රංගන ජීවිතයේ සුවිශේෂී අවස්ථා සිහිපත් කරමින් පවසයි.
සිනමාව තුළ ද වීරයා, දුෂ්ඨයා, හාස්‍ය රංගන ශිල්පියා ලෙස පාලිත විවිධ චරිත නිරෑපණය කළේය. සිහින දේශය, ක්ෂේම භූමිය, සීත සමීරේ, නොහඬන් ළඳුනේ, මාරුතය, මහ රජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ආදී සිනමා නිර්මාණ රුසකට ඔහු තම රංගන දායකත්වය ලබා දුන්නේය. ආචාර්ය සලමන් ෆොන්සේකා ශූරීන් ඇසුරේ ලද ආභාෂය ඊට හේතු වන්නට ඇත.
පාසල් කාලයේ පෙම්වතිය වූ නාමලී සමඟ විවාහ වූ පාලිත ගායකයෙක්, ගීත රචකයෙක් ලෙසද නවකතාකරුවෙක් ලෙසද කලා ලොව සැරසූ නිර්මාණ ශිල්පියෙකි. ඈ දීගෙක ගියාය^, ඇතෙක් බරට හැන්ඳෑවක් එම නවකතා ද්විත්වයයි. පාලිත - නාමලී කැදැල්ලේ දරුවන් සිව් දෙනෙකි. ඒ දියණිවරුන් තිදෙනකු සහ පුතෙකි. ඔවුහු මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරති. කලාවේ විවිධ දිශානතීන් ඔස්සේ දිගු ගමනක් ආ ප්‍රවීණ රංගවේදී පාලිත සිල්වාට හදසර අපි ආදරයෙන් සුබ පැතුම් එක් කරමු.
මොනිකා සේරසිංහ
ඡායාරූප අන්තර්ජාලෙයන්