මට ඇත්ත ජීවිතේ ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. අපි නිවුන්නු.
පුංචි තිරයට අලුතින්ම එකතු වූ ටෙලි නිර්මාණ අතරින් ස්වාධීන රූපවාහිනි නාළිකාවේ රාත්‍රී 9ට විකාශය කෙරෙන ‘‘මන්දාරම් කතාවේ’’ මේ වනවිට ප්‍රේක්ෂක ආකර්ෂණය අවධානය දැඩි ලෙස ලබා තිබෙන ටෙලි නිර්මාණයක්. ඒ තුළ ප්‍රධාන චරිතයෙන් දායක වන නවක රංගන ශිල්පී අශාන් ධනංජය සමගින් කතාබහක් කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් වෙනවා.
නුවර අහස යට මැවෙන සුන්දර ආදර කතාවේ අරුන් විහඟ බණ්ඩාර. කොහොමද මේ චරිත රංගනය?
ඇත්තටම අභියෝගාත්මක චරිත රංගනයක් කිව්වොත් හරි. මොකද මේ චරිතය කාල පරාස දෙකකට වෙන් වෙනවා. අරුන්ගෙ අවුරුදු 18 පමණ තරුණ වයසට රංගනයෙන් දායක වෙන්නෙ මම. එතැනින් පසු කාලයට රංගනයෙන් එකතු වෙන්නේ ගයාන් වික්‍රමතිලක අයියා. ඇත්තටම එවැනි ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියකුගේ තරුණ කාලෙට රංගනයෙන් එකතු වෙන්න ලැබීමම ලොකු වාසනාවක්. ඒ සම්බන්ධව ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඉතින් අරුන්ගෙ චරිත රංගනය ගැන තවත් ටිකක් කතා කළොත් මට ඒ තුළ පුංචි පවුලක් තියෙනවා. ඒ පවුලෙ ඉන්නෙ අම්මයි, අක්කලා දෙන්නයි. ඉතින් ඒ අයත් එක්ක ජීවත් වෙන ටිකක් දඩබ්බර කොල්ලෙක් තමයි ඔහු. මේ තුළ ඉතින් ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා. කතාව පටන් ගත්නෙම ඒ ආදර සම්බන්ධතාවය හැදෙන තැන ඉඳලමයි.
අශාන්ට ආදරේ සම්බන්ධ අත්දැකීම් තියෙනවද?
තවම මට අවුරුදු 22යිනෙ. ඒ නිසා ලොකුවට නැහැ.
අවුරුදු 22 කියන්නෙ නැති වෙන්නත් බැහැ නේද?
ඒ ගැන සඳහන් නොකර ඉමු නේද?
අශාන් කියනවනම් නොකර ඉමුකො. එහෙනම් මේ කතාවෙ ආදර අත්දැකීම් ගැන කතා කරමුද?
මේ කතාවෙ රූගත කිරීම් සිදු වෙන්නෙ නුවර. ඉතින් නුවර කියන්නෙ ඇත්තටම මගේ ගම් ප්‍රදේශය. ඒ නිසාම මට මේ රංගනය ගොඩක් පහසු වුණා කියන්න පුළුවන්. මොකද මම පාසල් යන කාලෙ යාළුවොත් එක්ක වැඩිපුරම කාලය ගත කරපු, ඇවිදපු තැන්වල තමයි මෙහි රූගත කිරීම් කෙරෙන්නෙ. ඉතින් රූගත කිරීම් සිදුවන අතරතුර පරණ මතකයන් ගොඩක් එළියට එනවා. ඒවා ඉතින් හරිම සුන්දර මතකයන් අතීතයට එකතු වුණු.
මේ තුළ වැඩි වශයෙන් අශාන්ට රංගනයෙන් එකතු වෙන්න තියෙන්නෙ අක්කලා දෙන්නෙක් එක්කනෙ. කොහොමද ඒ අත්දැකීම? අශාන්ට අක්කල ඉන්නවද?
මට ඇත්ත ජීවිතේ ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. අපි නිවුන්නු. ඉතින් අක්කලා එක්ක ඒ ගෙවන පවුල් ජීවිතයක් මට හුරු නැහැ. මගේ අක්කලා දෙන්නට රංගනයෙන් එකතු වෙන්නෙ ඉසුරින්දි අක්කා සහ දර්ශි අක්කා. එතකොට අම්මාට ඉන්නෙ නයනා හෙට්ටිආරච්චි මහත්මිය. ඉතින් දැන්නම් ඒ අයත් එක්ක ඇත්තටම පවුලක් වගේ ලොකු බැඳීමක් තියෙනවා. ඒ කණ්ඩායමේ හැමෝම හරිම එකමුතුයි. ඒ නිසා වැඩ කරන්නත් හරිම පහසුයි. දැන් නම් මට ඇත්තටම අක්කලාත් හිටියනම් හොඳයි කියලා හිතෙනවා මේ රංගනයත් එක්ක. අක්කලා ඉන්න මල්ලිලාගේ ඒ පවුල්වල බැඳීමත් ලොකු වෙනසක්. හරි ආදරණීයයි.
කොහොමද අශාන් මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ?
මම රංගනයට ගොඩක් කැමැතියි. පුංචි කාලෙ ඉඳන් යම්කිසි හැකියාවකුත් තිබුණා. මම පාසල් ගියේ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට. පාසලේත් යම්කිසි ප්‍රමාණයකට කලා කටයුතුවල නිරත වුණා. ඒ කාලේ කෙටි චිත්‍රපට කළා. කැමරාවට හුරු බවක් තිබුණා. ලොකු බයක් තිබුණෙ නැහැ. නමුත් වේදිකා නාට්‍ය පැත්තට නම් ලොකු සම්බන්ධයක් තිබුණෙ නැහැ. පාසලෙන් ඉවත් වුණාට පස්සෙ තමයි කලා ක්ෂේත්‍රයට හරි විදියට සම්බන්ධ වුණේ. ක්ෂේත්‍රයට ආවට පස්සෙ මට ඒ ගැන දිගටම හදාරන්න අවශ්‍ය වුණා. ඒ සම්බන්ධ හොඳ තැනක් හොයද්දි තමයි ‘විණාවි’ රංගන පාසල ගැන දැනගන්න ලැබුණෙ. මම ඒ තැනට ගියා. එහිදී ගුරුවරු රැසකගෙන් ඉගෙන ගන්න ලැබුණා රංගනය සම්බන්ධව. ‘මන්දාරම් කතාවේ’ අධ්‍යක්ෂවරයා ධනුෂ්ක රත්නායක අයියත් එහි මගේ ගුරුවරයෙක්. ඉතින් ඒ රංගන පාසල හරහා තමයි මට මේ චරිත රංගනයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණේ.
මේ සැබෑ වුණේ බලාපොරොත්තු වුණු හීනයක්ද?
අනිවාර්යයෙන්ම ඔව්. මට නළු උණ කොහොමත් තිබුණා. විශේෂයෙන් කියන්න ඕනෑ මම ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ මීට පෙර නරඹලා තියෙනවා. ඔහුගේ නිර්මාණවලට මම ගොඩක් කැමැතියි. ඇත්තටම මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඉතින් මේ අවස්ථාව ලැබීම මගේ ජීවිතේ සැබෑ වුණු ලොකුම හීනයක්. ඒ හීනයට මෙතරම් ඉක්මනට එන්න ලැබෙයි කියලා හිතුවෙ නැහැ. ඉතින් අද මම ගොඩක් සතුටු වෙනවා මේ සම්බන්ධව.
අද රංගන ශිල්පියෙක් විදියට ලබන ප්‍රතිචාර කොහොමද?
ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා වයස් භේදයකින් තොරව. මගේ ලොකුම ප්‍රේක්ෂකයො ඉන්නෙ මගේ ගෙදරම තමයි. මගෙ අම්මයි, අප්පච්චියි, අත්තම්මයි තමයි ලොකුම ප්‍රේක්ෂකයො. ඒ වගේම තව ලොකු පවුලක් ඉන්නවා. ඒ අයගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම මගේ අත්තම්මා තමයි මගේ රංගන කටයුතු දකින්න කැමැති. අත්තම්මට දැන් අවුරුදු 91ක්. ඉතින් උදේ ඉඳන්ම ටී.වී. එක ළඟට වෙලා බලාගෙන ඉන්නවා. මම සම්බන්ධ වෙලා ඉන්න දැන්වීම් පවා බලන්නෙ හරිම ආසාවෙන්. අම්මගෙන් අප්පච්චිගෙනුත් ලැබෙන්නෙ මේ ගමනට ලොකු ශක්තියක්. ඒ නිසා තමයි මට මේ වගේ ගමනක් එන්නත් ලැබුණෙ.
කලාව වෘත්තීමය විදියටම කරන්නද කල්පනාව?
ඇත්තටම මම විනෝදාංශයක් විදියට කලාව කරන කෙනෙක් නෙමෙයි. මම කලා ක්ෂේත්‍රයට ගරුත්වයක් ආදරයක් තියෙන කෙනෙක්. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට පෙර මම ක්‍රිකට් සහ ජිම්නාස්ටික් ක්‍රීඩාත් කළා. ඒත් කලාවට සම්බන්ධ වීමත් එක්ක ඒවායින් ඈත් වුණා. නමුත් ජිම්නාස්ටික් නම් කරගෙන යනවා. ඒ දේවල් එක්ක වෙනත් වෘත්තියක යෙදෙන ගමන් කලාවත් වෘත්තියක් විදියට කරන්න තමයි මම හිතන්නෙ. නමුත් ඒ සම්බන්ධව හැදෑරීමක් එක්කම තමයි. මොකද රංගනය කියන විෂය හදාරලාම ඒ පැත්තට ගියොත් හොඳයි. එවිට තමයි නළුවෙකුට පැවැත්මක් තියෙන්නෙ.
ධනු විජේරත්න