මට ආවේණික සංගීත ශෛලියක් ගැන හිතපු නිසා අලුත් දේ ගැන සොයා බැලුවා
හොලිවුඩ් හෙවත් බටහිර සිනමාව, බොලිවුඩ් හෙවත් හින්දි සිනමාවට පසුව ලෝකයේ ඊළඟට විශාලතම සිනමා කර්මාන්තය වන්නේ කොලිවුඩ් හෙවත් දකුණු ඉන්දීය සිනමාව කිව්වොත් එය වඩා නිවැරැදිය. ලොව පුරා විසිරී සිටින දමිළ, තෙලිඟු, මරාටි, ගුජරාටි ජනයා නරඹන සිනමා නිර්මාණයක රංගනයට හෝ ගායනයට අවස්ථාවක් ලබන්නේ නම් ඔහු සැබැවින්ම වාසනාවන්තයෙකි. තාරුණ්‍යයේ අපූරු දක්ෂතා ඇති, ගායන හා සංගීත ශිල්පියකු වන රවි රොයිස්ටර් යනු එවැනි අවස්ථාවක් ලැබූ වාසනාවන්තයෙකි. කොලිවුඩ් සිනමාවේ දැවැන්තයකුගේ නිර්මාණයක ගීතයක් ගැයීමට පසුගියදා ඔහු ඒ අවස්ථාව හිමිකර ගත්තේය. ඒ ඔහු ගැයූ යූ-ටියුබය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ ‘‘පස්ස’’ නමැති ගීතය නිසාය. කොලිවුඩයේ ජනප්‍රිය නළු විජේ ඇන්තනි, ඔහුගේ නවතම කොලිවුඩ් සිනමා නිර්මාණය වන ‘‘රෝමියෝ’’ චිත්‍රපටයේ ගීතයක් සඳහා රවි රොයිස්ටර් හට අවස්ථාව උදා කර දුන් අතර, ‘‘පස්ස’’ ගීතය දමිළ සහ තෙලිඟු භාෂාවෙන් (වෙතලා - වෙතලා) Vethala රවි රොයිස්ටර් විසින්ම ගැයීම නිසා අද ඔහු සුවිශාල ප්‍රේක්ෂකාගාරයක ප්‍රතිචාර ලබන බව කිව හැකිය. පස්ස ගීතය නැරඹුම් වාර මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් නරඹා ඇති අතර, දමිළ සහ තෙලිඟු භාෂාවෙන් ගැයූ එම ගීතය සතියක් ඇතුළතදී මිලියන තුනකට එහා පිරිසක් නරඹා තිබීම නිසා අද දෙස් විදෙස් වශයෙන් රවී රොයිස්ටර් ගැන බොහෝ පිරිසක් කතාවන මොහොතක අපි ඔහු සඳැල්ලට කැඳවීමු.
මුලින්ම අපේ සුබපැතුම් රවිට?
අනේ බොහොම ස්තුතියි.
රවි රොයිස්ටර් සම්පූර්ණ නම කියමු.
රවි විදානආරච්චිගේ.
කොහොමද එතකොට රොයිස්ටර් වුණේ?
මම ආසම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ඉන්නවා. එයාගෙ නම ටෝනි රොයිස්ටර්. පාසල් ගිය කාලයේදී එයාගේ ඩ්‍රම්ස් වාදනයට මම බෙහෙවින් ආසා කළා. ඒ ආසාව නිසාම තමයි ඒ නම දාගත්තේ. සංගීත ලෝකයේදී මම දැන් භාවිත කරන්නේ ‘‘රවි රොයිස්ටර්’’ කියලයි.
එතකොට අපි රවි කියන්නද රොයිස්ටර් කියන්නද?
‘‘රොයිස්ටර්’’ කියලා කියන්න. යාළුවො එහෙම ‘‘රවි’’ කියලත් කියනවා.
රොයිස්ටර්, එහෙම නම් මේ අවස්ථාව ලැබුණ විදිය ගැන කියමු?
මම සහ දිමිත්‍රි ගයන ‘‘පස්ස’’ සිංදුව විජේ ඇන්තනි සර් අහලා තිබුණා. එයාගෙ සහාය අධ්යක්ෂවරයා තමයි මට කතා කළේ. මේ සින්දුව එයාගේ ෆිල්ම් එකට ගන්න කැමැතියි කියලා විජේ ඇන්තනි සර් කිව්වලු. ගිය අවුරුද්දෙ මැද වගේ අපි අතර මේ කතා බහ ඇති වුණේ. ඉන්පසුව මේ ගීතයේ මියුසික් නිර්මාණය වගේම ගැයුම කළේ මම.
මේ විදියට සංගීත ක්ෂේත්රයේ ඔබ පැමිණි ගමන, අරමුණක් ඇතිව ආ ගමනක්ද? අහම්බයක්ද?
පොඩි කාලයේ ඉඳලම මගේ උනන්දුව තිබුණේ සංගීතයට. ගෙදර ලොකුවට සංගීත පදනමක් තිබුණෙ නැහැ. මම ඉගෙන ගත්තෙ මාතර රාහුල විද්‍යාලයේ. මගේ ආදරණීය ගුරුතුමිය විශාඛා රාජපක්ෂ තමයි සංගීතයට මාව පුරුදු කරලා ගත්තෙ. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගියා. විශ්ව භාරතීය (ශාන්ති නිකේතන) සරසවියෙන් උපාධිය ගත්තෙ. ඉන්පසුව ශබ්ද තාක්ෂණය පිළිබඳව රංග දසනායක මහතා යටතේ හැදෑරුවා. ඉන්දියාවේ යාමට පෙර මෙහිදී ටෙලිවිෂන් සහ ෆිල්ම් ගැන ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ විදියට ආ ගමන තමයි මේ.
ඒ කියන්නෙ බාහිරව පෙනෙන, දකින චරිතයට වඩා ‘‘රොයිස්ටර්’’ කියන්නෙ සංගීතය හා කලා විෂයෙන් දැනුම ඇති චරිතයක්.
ඉගෙනගෙන යමක් කිරීම අරමුණු කරගෙන හිටියෙ. ඒ නිසා විෂය ගැන හදාරන්න පටන් ගත්තා.
සංගීතය නොකළේ නම්?
එහෙම නම් මම චෙෆ් කෙනෙක්. (සුපවේදියෙක්).
ඒ කියන්නෙ හොඳට උයන්න පුළුවන්?
හොඳට පුළුවන්.
රොයිස්ටර්, සංගීතය ඔබට හැඟෙන විදියට විග්රහ කළොත්?
සංගීතය කියලා කියන්නෙ මම හිතන විදියට විශ්වීය වින්දනයක්. විශ්ව භාෂාවකට එහා ගිය වින්දනයක්. භාෂාව කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. නමුත් සංගීතය අහන කෙනාට එය විඳින්න පුළුවන්.
‘‘රවි’’ රොයිස්ටර් ගායන ජීවිතයේදී මිනිසුන් වැඩි දෙනෙක් අතරට ගියේ?
මම හිතන්නෙ ‘‘හමාර බණවර’’ ගීතයෙන්. ඊට පස්සෙ තමයි ‘‘පස්ස’’ ගීතය කළේ. ඒ ගීතයට වෙනමම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණෙ.
රොයිස්ටර්ගෙ පවුලෙ විස්තර කියමුකො?
අම්මයි තාත්තයි අයියලා දෙන්නයි, මල්ලියි. තාත්තා විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක්. අම්මා විශ්‍රාමික ගණකාධිකාරිවරියක්. ලොකු අයියා මානව සම්පත් කළමනාකරණ අංශයේ. දැන් එයා පදිංචිය ඕස්ට්‍රේලියාවේ. දෙවැනි අයියා, ඩී.එෆ්.සී.සී. බැංකුවේ කළමනාකරුවකුව සිට දැන් පදිංචිය නවසීලන්තයේ. මම තුන්වැනියා. මල්ලි MAS එකේ මානව සම්පත් කළමනාකරණ අංශයේ සහාය කළමනාකරුවෙක්.
ඔබටත් අදහසක් තියෙනව ද රට හැර යන්න?
අදහසක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී හිතලා බලනවා.
රොයිස්ටර් විලාසිතා කරන විදිය වෙනස්. කොහොමද එය හිතලම ද කරන්නෙ?
මට අවශ්‍ය වුණේ, මගේම විදියක්. ක්‍රමයක් හදාගන්න බාහිර පෙනුම එක්ක මගේ වැඩවලදී යොදා ගන්න. ඒ නිසා තමයි සරම ඇඳලා සපත්තු දාලා, ඔළුවට බදි එක පලඳින්නෙ. ඒ වගේම මම කරන සංගීතය වෙනසක් තියෙන්නත් ඕනෑය කියලා හිතුවා. මට ආවේණික සංගීත ශෛලියක් ගැන හිතපු නිසා අලුත් දේ ගැන සොයා බැලුවා. හැබැයි මට හදිසියක් තිබුණෙ නැහැ. මට අවශ්‍ය වුණේ හරි දෙයක් කරලා එළියට දාන්න.
මේ හැඩයට පෙනුමට, විදියට ඔබගෙ ආදරණීය පෙම්වතිය මොනවද කියන්නෙ?
ඒකට උත්තරයක් නොදී ඉන්න එක දැනට හොඳයි.
හේතුව?
ඉස්සරහට දැන ගන්න ලැබේවි.
‘‘ආදරේ’’ කියලා ඔබ හිතන්නෙ?
හොඳ අවබෝධයක් සහ තේරුම්ගැනීමක් තියෙන්න ඕනෑ. එතකොට ඒ ආදරය හරිම ජොලි. එකිනෙකාට ගරුත්වය කර ගන්නවා නම් ඒක තමයි හොඳම දේ.
‘‘ජීවිතය’’ කියන්නෙ?
ජීවිතය කියන්නෙ උපත සහ විපත මැද සැප හොයන්න කන කට්ටක්.
රොයිස්ටර්, මේ විදියට ජාත්‍යන්තරය සමග කටයුතු කරන්න ලැබුණු මොහොතේ, ඔබ දමිළ – තෙලිඟු භාෂාවෙන් මෙම වෙතලා (Vethala)ගීතය ගැයූ හැටි සහ ඒ සියලු දේ කළ විදිය ගැන අපට කියන්න?
ඒ වෙනුවෙන් මම ඉන්දියාවට ගියාම විජය ඇන්තනි ෆිල්ම් කෝපරේෂන් එකේදි මෙය පටිගත කළේ. එහිදී පළවැනිම අභියෝගය වුණේ භාෂාව. මම දමිළ දන්නෙ නැති නිසා. ඒත් ඒක ප්‍රශ්නයක් වුණේ නැත්තෙ මම ඒ වචන සිංහලෙන් ලියා ගත් නිසයි. එතැන සිටි ශබ්ද පටිගත අංශයේ කළමනාකාරවරයා මට සියලු දේ ගැන කියා දුන්නා. ඒ දේවල් එක්ක ලොකු අභියෝගයක් වුණා. ඒ අභියෝගය මට ජයගන්න පුළුවන් වුණාය කියලා හිතනවා. ඒ පිරිසත් මට දුන්නෙ ලොකු සහයෝගයක්. දැන් මේ ගීතය මුදාහැර ඇති නිසා ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවේ යූටියුබයේ ට්‍රේන්ඩින් වන් ඇවිත්.
එතකොට මේ ගීතය ඇතුළත් ෆිල්ම් එක දැක ගන්න පුළුවන් කවදද?
බොහෝ විට රාමසාන් කාලයේදී වගේ රිලීස් වේවි.
සඳුන් ගමගේ