මචං ප්‍රේමය කියන්නේ නිවිච්ච දෙයක්
ප්‍රේමය නම් කවරක්ද? ප්‍රේමණීය මිනිසුන්ගෙන් විමසමින් අපි “ප්‍රේමය” නම් මේ චාරිකාවේ ඇවිද යමු. ප්‍රේමය නම් වූ හැඟුමේ ඇති අපූර්වත්වය, එම හැඟුම උපදින බහාලන හදවත්වල හැඩය ගනී. එබැවින්ම ප්‍රේමණීය හදවත්වලට, ප්‍රේමයෙන් එබී බලා ප්‍රේමය පිළිබඳ විමසා සිටීමට “හදසර” අපි මෙම ඉඩකඩ වෙන් කරමු.
කෝරළගේ සමන්, මේ ප්‍රේමණීය චාරිකාවේ සති අග ඉසිඹුවේ අපට හමුවන සොඳුරු සිතැති පළමු ප්‍රේමණීය මිනිසාය. ප්‍රේමය පිළිබඳ සමන්ගේ හැඟුම් අවදි කරගනු රිසියෙන් ප්‍රේමය නම් වදනත් සමඟින්, සමන් මත උපදින හැඟුම කවරේදැයි අපි විමසා
සිටියෙමු.
“මචං, ප්‍රේමය කියන්නෙ නිවිච්ච දෙයක්. ප්‍රේමය කියන වචනයත් එක්ක මට ඇතිවෙන්නෙ එහෙම හැඟීමක්.”
කෙටි නමුත් සන්සුන් විරාම සහිත මේ පිළිතුර ප්‍රේමය පිළිබඳ වන අප කතාබහට සෙත් පිරිතක්ම වූ බව හැඟුණි. නිවුණු බව හඟවන ප්‍රේමය නම් හැඟුමේ ස්වභාවය පිළිබඳ බොහෝ දෑ අප සංවාදයේ තේමාව බවට පත්වූයේය. අපි ඊළඟ පැනයට සූදානම් වීමු.
මිනුම් නැති ප්‍රේමය වෙනුවෙන් නොකළ මනා විමසුමකි, ප්‍රේමයේ පරිමාව කවරක්ද? අප සමන්ගෙන් විමසා සිටියේ එවන් පැනයකි. සමන් තුළ වන ප්‍රේමයේ පරිමාවත්, සමන් ලෝකයට ප්‍රේමය බෙදා දෙන අයුරුත් දැන කියාගැනීම අපගේ සැඟවුණු අභිලාෂය විය. සැබවින්ම පිළිතුර අපූරු එකකි.
“ඇත්තටම මගේ ප්‍රේමය සොයා ගැනීම අනිත් අයට අයිති දෙයක් මචං. මට පුළුවන් ප්‍රේමය බෙදා දෙන්න.”
සිනහව, වචනය, ගෞරවය, බෙදාගැනීම, ප්‍රතිචාරය ආදිය මිනිසුන්ට ප්‍රේමය මුදා හරින්නට ඇති අපූරු මෙවලම් බව කෝරළගේ සමන් නම් ප්‍රේමණීය මිනිසා විශ්වාස කළේය.
“හැම වචනයකම, හැම හිනාවකම, හැම ඉරියව්වකම ප්‍රේමය හැංගිලා තියෙන්න පුළුවන්.”
එය ප්‍රේමය නම් හැඟුම පිළිබඳ සොඳුරු අරුත් දැක්වීමකි.
අහෝ එසේ නම් සියුම් ලෙස මිනිසුන් මතින් හැමතැනකම විසිර රැඳී පවතින ප්‍රේමය, අනෙකා මත තවරන විට අප කොතරම් ප්‍රවේසම් විය යුතුද? සිනහවක, වචනයක, ඉරියව්වක ප්‍රේමය රඳවන විට ඒවා අප කොතරම් පරිස්සම් කරගත යුතුද?
හද නැගුණු ඒ හැඟුම අපි පෙරළා සමන් මත මුදා හළෙමු.
“මචං ප්‍රේමය ග්ලාස් මිනාචරි වගේ. නිකං හිතන්නකෝ වැටෙන බිඳෙන වීදුරු බෝලයක් අපේ අතේ තියෙනවා කියලා. අපි ඒක පරිස්සම් කරගන්න ඕනෑ මචං. ඒක ගිලිහෙන මොහොතක, වැටෙන මොහොතක කුඩු වෙනවා. ප්‍රේමය එකතු කරලා බට් කරන්න අමාරුයි.”
ප්‍රේමණීය සිත් ඇති මිනිසුන් ප්‍රේමයට රූපක උපමා නිතැතින්ම සොයන්නෝය. සමන් ප්‍රේමය වීදුරුවෙන් සකසන ලද අපූරු වූ යමකට අරුත් ගන්වන්නේ එම නිසාම විය යුතුය. ප්‍රේමය වටිනා එකක් බවත්, ප්‍රවේසම් කරගත යුතු බවත් ඔහු සන්තානගත හැඟුමකින් කියා සිටී.
“ඒ රූපය සදාකාලිකයි මචං. නමුත් ප්‍රේමය කියන එක පරිස්සම් කරගන්න ඕනෑ වටිනා එකක්. ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ අනෙකා මත. මොකද මගේ ප්‍රේමයේ දී අනෙකාත් සමඟයි ගනුදෙනු කරන්න තියෙන්නෙ. අනෙකා කියලා කියන්නෙ එක්කෝ තවත් මනුෂ්‍යයෙක්, සතෙක්, නැත්නම් හෞතික භාණ්ඩයක් වෙන්න පුළුවන්.”
කෙමෙන් සංවාදය ගලා ගියේ ප්‍රේමයේ ගැඹුරුතම ඉසව්වක් සොයාය. ප්‍රේම කරන්නට අපට හමුවෙන අනෙකා හෝ අනෙකුන්, ප්‍රේමයට කොතරම් වැදගත් වේද? ප්‍රේමයේ යථා ස්වභාවය කුමක්ද?
කෝරළගේ සමන් නම් චලන රූ සිත්තරා කිහිප වරක් සිතා බැලිය යුතු වදන් පෙළක් අප හමුවේ තැබීය.
“අපිට ප්‍රේම කරන්නට හමුවෙන දේවල් ක්ෂණිකව වෙනස් වෙන සුළුයි. නමුත් ප්‍රේමය සදාකාලිකයි. ඒ නිසා අපිට ප්‍රේම කරන්න වෙන්නෙ ක්ෂණිකව වෙනස් වෙන දේවල්වලට.”
සදාකාලික ප්‍රේමය වෙනස් වෙන දෑ මත තවරන අතරේ ජීවත් වීම විටෙක සොඳුරු විය හැකිය. තවත් විටෙක රුදුරු ලෙස දැනිය හැකිය. එහෙත් ප්‍රේමය මුණගැසෙන සෑම තැනකම ඊට අනන්‍ය හැඩයක් පවතින බව අපගේ හැඟුම විය. එකම ප්‍රේමය දෙතැනක හමු නොවන බැවින් හමුවන ප්‍රේමයේ හැඩය පිළිබඳව සංවාදයට අපි ඊළඟ ඇසිල්ල වෙන් කළෙමු.
“මම මනුස්සයෙක් විදිහට මට තියෙනවා ඉතිහාසයක්. ප්‍රේමයට තියෙනවා අත්දැකීම්. එය අත්දැකීම් ඉතිහාසය එක්ක ගොඩනැගෙන දේ මත තමා ප්‍රේමයේ හැඩය නිර්මාණය වෙන්නෙ. ඇත්තටම තම තමන්ගේ ඉතිහාසය, තම තමන් ගනුදෙනු කරන වටපිටාව, ලෝකය දකින විදිය එක්ක ලබාගන්න අවබෝධය මත තමා බං, තමන්ගේ ප්‍රේමයේ හැඩය නිර්මාණය වෙන්නෙ.”
ප්‍රේමය පිළිබඳ සංවාදයේදී මතුවන හැඟුම්, වදන් බවට හැරෙද්දී, ඊට සවන් දීම ඉතා අපූරු අත්දැකීමකි. එනමුදු එම හැඟුම් මත විනිශ්චයන් සලකුණු කිරීමට ප්‍රේමණීය මිනිසුන්ට අයිතියක් නොමැති බැව් අපගේ විශ්වාසයයි. සමන් සිය ආත්මීය අංශුවක් අප හමුවේ දිගහරින්නට වූයේය.
“මචං මම බොහෝ වෙලාවට මිනිස්සු, යාළුවෝ සෑහෙන්න හම්බ කරලා තියෙන මිනිහෙක්. මට ඇතිවෙන්න යාළුවෝ ඉන්නවා. මම හම්බ කරලා තියෙන්නෙ සල්ලිත් නෙවෙයි, මිනිස්සුන්ව. යාළුවො, හිතවත්තු, සෑහෙන්න ප්‍රේමය හම්බවෙලා තියෙනවා. මම ගෑනු ළමයි එක්කත් ප්‍රේම කරලා තියෙනවා. මට ඒ කාත් එක්කවත් තරහක් නෑ. මම දන්නෑ මචං, ඒ කාත් එක්කවත් තරහක් නෑ.”
ප්‍රේමයේ මඟහැරීම්, හැරයාම් අත් නොවිඳි මිනිසකු නැති තරම්ය. එහෙත් මඟහැරුණු, අතහැරුණු, හැරගියපු තැන්වල පැවති ප්‍රේමය එතැනින්ම අවසන් වේද? ප්‍රේමයේ මතක පෙළ රැඳි හැඟුම කවරක්ද? කෝරළගේ සමන් සමඟින් අපි ප්‍රේමයේ තවත් ඉසව්වකට ඇවිද ගියෙමු.
“නෑ මචං මෙහෙමනේ, ප්‍රේමය කියන දේ අපි කපලා දැම්මට එහෙම කරන්න බැහැ. ප්‍රේමයේ අංශු මුල් අපි ඇතුළෙ තියෙනවා. උදාහරණයක් ගමුකෝ මචං. එක ගෑනු ළමයෙක් දෙනවා එයාගේ සුවඳක්. ඒ සුවඳින් අපි සමහර තැන්වලදී සමහර දේවල්වලදී අපි ඔටෝමැටිකලි ස්පාර්ක් වෙනවා. ඒ ප්‍රේමයේ එක අංශුවක් මචං.”
ප්‍රේමය විටෙක හමුවූ සුවඳක්, ප්‍රේමය විටෙක හමු වූ වර්ණයක්, විටෙක විදුලි සැරයක්ව අප තුළ සියුම් කම්පනයන් ඇති කරනු සමන් අප සමඟ පවසන්නට විය. එය ලෝකයා තුළ ප්‍රේමය පිළිබඳ ඇති පොදු නමුත් සොඳුරුතම අත්දැකීමකි.
“සම්බන්ධතා නවත්තන්න පුළුවන්. ඒත් ප්‍රේමය කියන්නෙ එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රේමයේ අංශු මුල් අපි ඇතුළේ තියෙනවා. ඒ මුල් සීයට සීයක් ඉවත් කරන්න බෑ.”
සංස්කෘතිය, නීති, අණ පනත්, ආගමික විශ්වාස ආදී දහසක් දෑ මතින් ප්‍රේමයට සීමා බන්ධන පනවාලීමට ලෝකයා කටයුතු කොට තිබේ. මේ සීමා වාරණ දරා, ඉවසා තරණය කරමින් මිනිසුන් ප්‍රේම කරන්නේ කෙසේද? සමන් ළඟ අපගේ ඊළඟ පැනය එයයි.
“සීමාවක් නෑනෙ බං ප්‍රේමය කියන එකට. ප්‍රේමය අසීමාන්තිකයි. කවුරු හරි ප්‍රේමයට සීමාවක් දාලා තියෙනවා නම් මචං, එයාගේ තරාතිරම තමා ඒක ඇතුළේ නිරූපණය වෙන්නෙ. අනික කොහොමද ප්‍රේමය කියන එකට ඉරක් ඇඳලා සීමාවක් පනවන්නෙ. ඒක නොපෙනෙන එකක්.”
සංස්කෘතික සාධක, කුල ගෝත්‍ර කිසිවක් ප්‍රේමයට අදාළ නොවන බව කෝරළගේ සමන් නම් රූපණවේදියාගේ විශ්වාසයයි. මිනිසුන් මනුෂ්‍ය වර්ගයාට අයත් වීම නිසාවෙන් ප්‍රේමය පාලනය කර ගැනීමට උත්සාහ දරනවා විය හැකිය. එහෙත් එය සමන්ට අනුව ලොකු අවුලකි.
මේ ප්‍රේමණීය සංවාදයේ අවසාන වදන් පෙළ ගලපාලන්නට අප සමඟ සහෘද හැඟුමෙන් බැඳුණු, ප්‍රේමණීය මිනිසාට අපි අවකාශය ලබා දුන්නෙමු.
ඉඳින් අවසන ඔහු ප්‍රේම කරන්නන් හට ප්‍රේමය වෙනුවෙන්ම ප්‍රේමයෙන් මෙසේ කීය.
“ප්‍රේමය තියෙන්නෙ විඳින්න. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලය තුළ ප්‍රේම කරනවා හැරෙන්න කරන්න වෙන දෙයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ජීවත්වීම තියෙන්නෙ ප්‍රේමය ඇතුළේ. ප්‍රේමය නැහැ කියන්නෙ රෝගියෙක්. ඒ නිසා ලෝකයේ සල්ලිවත් භෞතික භාණ්ඩවත් ලොකු වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ ප්‍රේමය තමයි ලොකුම දේ. ප්‍රේමය තියෙනවනම් බං, අපි හැමදාම නිරෝගියි කියලා තමයි මට කියන්න තියෙන්නෙ.”
• චමිඳු නිසල්