මගේම කියලා කරපු දෙවැනි ගීතය. නමුත් මම ගායනා කරපු ගීත සම්පූර්ණයෙන් ගත්තම 600ක් වගේ තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෑස මගේ අල්ලා

හිත කව්ද හෙමින් හොල්ලා

ඔබ දැක්ක දිනේ එහෙම වුණේ.....

ඇහෙන් කොනෙන් බැලුවේ

ඔබ කව්ද නෑනේ දන්නේ.....

ඒ වුණත් ඉතින් තාමත් හිතෙන්

බලා බලා බලා බලා උන්නා......

 

තරුණියන් වැඩි වශයෙන් මුමුණන ආදරණීය ගීතයක් වන මෙය මේ දිනවල ඉතා ජනප්‍රියයි. හිරු Star වේදිකාවෙන් බිහිවුණු නව පරපුරේ දක්ෂ ගායිකාවක් වන අමන්දා පෙරේරාගේ මියුරු හඬින් තමයි මේ ගීය අසන්නට ලැබෙන්නේ. මෙවර සඳැල්ලෙන් මේ පිළිබඳ කතාබහක් කරන්න ඉඩක් වෙන් කරන්න හිතුවා.

අමන්දා කාට ද ‘‘බලා බලා උන්නා’’ කියන්නේ?

මගෙන් ගීතයක් බලාපොරොත්තුවෙන් හිටපු අයට තමයි මෙහෙම කියන්නේ. මොකද ඔවුන් මගෙන් ගීතයක් ‘‘බල බලා උන්නා’’ කියලා මම දන්නවා. ඒ දේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක්. ඉතින් මාව ‘‘බලා බලා උන්නු අයට මම ‘‘බලා බලා උන්නා’’ දුන්නා.

ඉතින් ඒ ගැන වැඩි විස්තර කතා කරමු.

මේ ගීතය එළි දක්වලා සති දෙකක් වගේ වෙන්නේ. ඇත්තටම කියන්න සතුටුයි. මේ වෙද්දි ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය එළිදක්වන්නට පෙර නම් මේ විදියේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. නමුත් කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්, සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් හිතාගන්න බැරි විදියට ප්‍රතිචාර ලැබෙනවා. සුභ පැතුම් එකතු වෙනවා. ඉතින් ඒ සුභපැතුම්, ආශිර්වාදයන් මැද තමයි මේ දවස්වල ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ.

ගීත දර්ශකවලත් දකින්න තියෙන ගීතයක් නේද?

ඔව්. ඇත්තටම ඒකත් ලොකුම සතුටක්. ඒක මගෙ ජීවිතේ හීනයක් වෙලා තිබුණා. සංගීතය මගේ ජීවිතේ වගේ. පුංචි කාලේ ඉඳන් මම ගීත ගායනයට සම්බන්ධ වෙලා හිටියා. නමුත් මාව යම් පිරිසක් ගායන ශිල්පිනියක් විදියට දැන හඳුනා ගත්තෙ හිරු ස්ටාර් වේදිකාවෙන්. මම හිරු ස්ටාර් තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තා. අද වෙද්දී රූපවාහිනී, ගුවන්විදුලි නාළිකාවල මගේ ගීතය ඉදිරියෙන් තියෙනවා. ගීත දර්ශකවල ප්ලේ වෙනවා. ඉතින් හරිම සතුටුයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැඩකටයුත්ත මම තනියෙන් කරපු වැඩක් නෙමෙයි. මේ නිර්මාණය වටා කණ්ඩායමක්ම හිටියා. ගීතය රචනා කළේ රොෂාන් වික්‍රමසිංහ. සංගීතය සහ තනු නිර්මාණයෙන් අමිල මුතුගල සම්බන්ධ වුණා.

ගීතයේ පද රචනය, සංගීතය ගායනයට වගේම මියුසික් වීඩියෝවටත් විශාල ප්‍රතිචාරයක් ලැබුණා. විශේෂයෙන්ම එහි ඇඳුම් නිර්මාණය ගැනත් කතා කළා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරන්න ඕනෑ. ඇඳුම් නිර්මාණය කළ රසික ප්‍රභාත්ට සහ වීඩියෝව කරපු සංදේෂ් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට. ඒ වගේම රංගනයෙන් දායක වුණු පැතුම් රුක්ෂාන් ඇතුළු ඒ පිරිසටත්. ඒ හැම දෙනාගේම උපරිම සහයෝගය නිසා තමයි අද මෙතරම් ප්‍රතිචාර ලැබෙන්නෙ සාර්ථක නිර්මාණයක් විදියට.

මේ කීවෙනි ගීත නිර්මාණයද?

මගේම කියලා කරපු දෙවැනි ගීතය. නමුත් මම ගායනා කරපු ගීත සම්පූර්ණයෙන් ගත්තම 600ක් වගේ තියෙනවා. ඒ අතර වැඩි වශයෙන් තියෙන්නෙ ටෙලිනාට්‍ය තේමා ගීත. අහස් මාලිගා, හුස්මක් තරමට, මහවිරු පණ්ඩු, සිහින ගෙනෙන කුමාරියේ වැනි ටෙලි නිර්මාණවල තේමා ගීත බොහෝ සංඛ්‍යාවක් කළා. විශේෂයෙන් කියන්න ඕන සිහින ගෙනෙන කුමාරියේ කියන්නෙ ගීතමය ටෙලිනාට්‍යයක්. ඒ ටෙලිනාට්‍යයේ පමණක් මම ගීත 500කට වඩා ගායනා කරලා තියෙනවා. ඒක මගේ ජීවිතේ ලැබුණු වටිනාම අවස්ථාවක්.

ගායිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක්ද අමන්දා?

ඔව්. ඇත්තටම මම පුංචිම කාලෙ පටන්ම මේ ක්ෂේත්‍රයට මාරම කැමතියි. ඒ වගේම ඉතින් මට යම් දක්ෂතාවයකුත් තිබුණා. මම පාසල් වේදිකාව තුළත් සංගීතය පැත්තෙන් දක්ෂතා දක්වලා තියෙනවා. මුලින්ම මම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට තමයි පාසල් ගියේ. ඒ පාසල කලා කෙතක්. එහි අවට පරිසරය ඒ ස්වභාව සෞන්දර්යය පවා හරිම සුන්දරයි. ඒ තමයි මගේ මුල්ම පියවර තබපු තැන. පෙර පාසල් යන කාලෙ පටන් වගේ දක්ෂතා ඒ ගුරුවරිය දැන හඳුනාගෙන තිබුණත් ඒ හැමදේම වැඩිදියුණු කරගන්න ලැබුණේ ශ්‍රීපාලි මහා විද්‍යාලයෙන්. ඒ තුළ පාසල් මට්ටමේ විවිධ තරගාවලිවලට සම්බන්ධ වෙලා ජයග්‍රහණ රැසක් ලබාගත්තා.

එහිදී මම සංගීතය, නාට්‍ය හා රංග කලාව, නර්ථනය හැම දේම කළා. ඉන්පසුව උසස් අධ්‍යාපනය හදාරන්න පානදුර අගමැති බාලිකා විද්‍යාලයට තමයි ගියේ. එය කාන්තා පාසලක්. ඒ පාසල තුළත් සංගීතය පැත්තෙන් ගොඩක් දේවල් කළා. ඒ නිසාම පාසල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා හිටියා. අපේ නම් කියපු ගමන් ගුරුවරු ශිෂ්‍යයන් හැම දෙනාම වගේ හඳුනනවා.

එතනින් පසුව මට වැඩිදුර අධ්‍යාපනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මගේ සංගීත ගමන විශාලම  විදියට ආරම්භ වෙන්නෙ එතැනින් තමයි.

යම්තාක් දුරට ඇවිල්ලා ඉන්න ගමන අද වෙද්දී ලැබෙන ප්‍රතිචාර එක්ක සුන්දරයි නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. අද වෙද්දී කොහේ ගියත් කවුරු හෝ කෙනෙක් මාව දැන හඳුනාගෙන කතා බහ කරනවා. ගීත ගැන කතා කරනවා. ඒ වගේම විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. අලුතින් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මේ කෙටි කාලය ඇතුළත මේ ලැබිලා තියෙන දේවල් ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ, මට ප්‍රසංග වේකාවේ ගීත ගායනා කරන්න මේ වෙද්දී ආරාධනා ලැබෙනවා. හිරු ස්ටාර් වේදිකාවෙන් පසුව එළිමහන් ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබුණා. තවමත් ලැබෙනවා සහ විදේශ රටවලින් ප්‍රසංගවලට ආරාධනා කිහිපයක්ම ලැබිලා ඒවටත් පසුගිය කාලයේ සම්බන්ධ වුණා. මේ හැම දේම ලබා ගැනීම ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. නමුත් ඉතින් කුමක් හෝ පෙර පිනකට මට ඒ දේවල් ලැබිලා තියෙනවා. අද වෙද්දි හිමින් හිමින් මේ ආපු ගමන ගැන මම ඉන්නේ ගොඩක් සතුටින්.

ගෙදර අයගෙන් ලැබෙන සහය ගැනත් මතක් කරමු නේද?

අනිවාර්යයෙන්ම. මගේ ගෙදර අය ලොකු ශක්තියක් වුණා ජීවිතේ හැම දේටම. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා විශ්‍රාමික නාවිකයෙක්. අපි පුංචි කාලෙදී තාත්තා වැඩිපුර ගෙදර හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් අපේ හැම ජයග්‍රහණයක් පිටුපසම තාත්තා හිටියා. ඒ හැමදේටම ගොඩක් සතුටු වුණා. ඒ වගේම මගේ සහෝදරිය. ඇයටත් හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්. ඇයත් මගේ වැඩවලට ගොඩක් උදව් කළා. දැන් නම් විවාහකයි. මගේ ස්වාමි පුරුෂයා කැමරා ශිල්පියෙක්. දැන් ඔහුගෙන් තමයි විශාලම සහයෝගයක් ලැබෙන්නේ මගේ මේ ගමනට.

ධනු විජේරත්න