මගේ හිතේ කොණක තිබ්බා වේදිකා නාට්‍යයක රඟපාන්න ඕනි කියලා
සම්මානනීය නළු රොෂාන් රවීන්ද්‍ර
දශක දෙකකට පසු සම්මානලාභී නළු රොෂාන් රවීන්ද්‍ර අද(09දා) වේදිකාවට පිවිසීමට නියමිතය.ඒ යෞවන සම්මානලාභී අධ්යක්ෂ ගයාන් කණිෂ්ක රාජපක්ෂගේ ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ වේදිකා නාට්‍යය හරහාය. අද(09දා) සහ හෙට(10දා) සවස.07.00ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකාගත වීමට නියමිත මෙම නාට්‍යයේ රොෂාන් රවීන්ද්‍ර සමග ප්‍රියන්ත සිරිකුමාර,කළණ ගුණසේකර සහ සේවියර් කණිෂ්ක ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එය ශ්‍රී ලංකාවේ වේදිකාගත වන පළමු අවස්ථාව මෙයයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන කණිෂ්ක විසින් නිෂ්පාදනය කරන සිව්වැනි වේදිකා නාට්‍යයද මෙයයි.මේ ඒ සම්බන්ධයෙන් රොෂාන් සමග කළ කතාබහකි.
ඇයි ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ හරහාම නැවතත් වේදිකාවට පිවිසෙන්න හිතුවේ?
මගේ හිතේ කොණක තිබ්බා වේදිකා නාට්‍යයක රඟපාන්න ඕනි කියලා.මොකද මගේ පුහුණුව බැඳිලා තිබුණේ වේදිකාව එක්ක.ඒ අතරේ තමයි ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ පිටපත මගේ අතට ලැබෙන්නේ.නාට්‍යයේ අනික් ශිල්පීන් දැක්කමත් ඒ තෝරාගැනීම සාධාරණයි කියල හිතුණා.මගේ ජීවිතයටත් ඒ වැඩබිම අර්ථවත් වුණා. මොකද ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ නාට්‍යය නූතන සමාජ දේශපාලනමය යටි අරුත්වලින් පිරුණු අර්ථවත් නාට්‍යයක්.
මොකක්ද ඔබ රඟපාන චරිතය ?
මම මේකේ රඟපාන්නේ රංගගේ චරිතය.ඔහු ත්‍රීවිල් රියදුරෙක්.ඔහු විශාල අධ්‍යාපනයක් නොලබපු එදිනෙදා ජීවිතය ගැටගහ ගන්න පුද්ගලයෙක්.
‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ ඔබ කියවගත්තේ කොහොමද?
මේක කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නාට්‍යයක් නෙමෙයි.මිනිස්සු හැමෝටම එක සේ රස විඳින්න පුළුවන් නාට්‍යයක්.අවසානයේ හිතන්න යමක් ඉතුරු කරන නාට්‍යයක්.නාට්‍යයේ එන සියලුම සංවාද සමාජයේ සියලුම කොටස්,විවිධ දේශපාලන සංස්කෘති නියෝජනය කරනවා.ඒ වගේම නව අදහසක් සමාජයට අරන් එනවා.මෙහි පිටපත උපමා,යටි අරුත්වලින් ගහණයි. ඒ නිසා මම රඟපාන වේදිකා නාට්‍යයක් ගැන අහ අහ හිටපු අයට ඔන්න හොඳ අවස්ථාවක් මේක.
කාලෙකින් වේදිකාවට ආපු කෙනෙක් හැටියට දැන් වේදිකා නාට්‍ය සංස්කෘතිය ගැන දැනෙන්නේ කොහොමද?
අනූ ගණන්වල වේදිකා නාට්‍ය සම්ප්රදාය ටිකෙන් ටික දැන් සමාජයෙන් බැහැර වෙමින් යන්නේ.ගෙවල්වල මිනිස්සු ඔක්කොම එකට එකතුවෙලා වේදිකා නාට්‍යයක් බලල තමන්ගේ රසවින්දනය දියුණු කර ගත්තු ඒ යුගයත් ගැලවිලා ගිහින් තියෙන්නේ. විශේෂයෙන් ඒ හරහා සමාජ දැනුම දියුණු කර ගත්තු යුගය ගැලවිලාම ගිහින් තියෙන්නේ.ආපු ආපු රජයන් විසින් තමයි මේ කොටස ගලවල දැම්මේ. ඒ නිසා වේදිකා නාට්‍යවලට ඇල්ම තියෙන සහ වේදිකා නාට්‍ය තාමත් සමාජීය වශයෙන් මිනිස්සුන්ට වැදගත් කියල හිතන අධ්යක්ෂවරු හින්දා තමයි වේදිකා නාට්‍ය කලාව පණ ගහගෙන ඉන්නේ.ඉස්සර තිබ්බ වේදිකා නාට්‍ය ශාලා දැන් වැහීගෙන යනවා.කිසිම දේශපාලන පක්ෂයක් වේදිකා නාට්‍ය කලාව සමාජ අවශ්‍යතාවයක් විදිහට දකිනවා කියලවත් මම හිතන්නේ නෑ. අලුතින් ගත්ත ඉඩම්වලවත් අලුත් ශාලා ඉදිවෙනවා අපි දැක්කෙ නෑ.ඒ නිසා සමාජය වෙනස් කරන්න නම් කලාව දායක කර ගත යුතුමයි.
මාලන් විදානපතිරණ