‘මෙගා’ වල රඟපාන්න ගියොත් මගේ රස්සාව මඟහැරෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමහර නළුවෝ ඉන්නවා රඟපානවා කියලා නොහිතෙන තරමට චරිතවලට පණ දෙන. එවන් චරිතාංග නළුවන්  අතර ඔහුටම ආවේණික වූ රංගන කෞෂ්‍යලයකින් ප්‍රේක්ෂකාගාරය ඇද බැඳ ගත් තුන්පනේ විකුම්සිරි වෙනුවෙන් අද අපි ඉඩකඩක් වෙන් කරන්න සිතුවා. ඔහු තමයි මධුර ප්‍රභාශ්වර බාලසූරිය. ඔහු රංගන ශිල්පියකු ලෙස ඒ ලෙවල් ඉවරයි. අඩෝ මෙට්‍රෝ හීන වැනි නිර්මාණ තුළින් අපිට සමීප වූ චරිතයක්. සුවිශේෂී චරිතයක් හරහා කාලෙන් කාලෙට මුණගැහෙන මධුර මේ දිවල තුන්පනේ විකුම්සිරි හරහා ගෙන එන්නේ විශිෂ්ට රංගනයක්. මේ විකුම්සිරි ගැන කතා කරන්න මධුර ප්‍රභාශ්වර එක්ක මුණගැහුණු හෝරාවක්. අපි විකුම්සිරිගෙන්ම කතාව පටන් ගමු.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. විකුම්සිරිට ලැබෙන්නේ වෙනස්ම ආදරයක්. විකුම්සිරි කියන්නේ වෙනස්ම චරිතයක්. ඔහු අවුරුදු 35ක තරුණ කොල්ලෙක්. විකුම්සිරි වැඩ කරන්නේ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයක. ඔහු මේ අවුරුදු 35ටම ගෑනු ළමයෙකුගේ අතින්වත් අල්ලලා නැහැ. විකුම්සිරි ජීවත් වෙන්නේ එයාම හදා ගත්ත ලෝකයක. ගෑනු ළමයි 75කට වැඩිය අම්මා එක්ක බලන්න ගිහින් තියෙනවා. එක ගෑනු ළමයෙක්වත් කැමති වෙලා නැහැ. විකුම්සිරි ආදරය ගැන හිතන්නේ වෙනස්ම විදියකට. ඇත්තටම විකුම්සිරි තුළින් එම වෙනස්ම අත්දැකීමත් ලබා ගත්තා.

මම කරපු නිර්මාණ අතුරින් ඒ ලෙවල් විතරයි. අඩෝ වලින් පස්සේ මට හොඳම ප්‍රතිචාර ලැබුණේ තුම්පනේ විකුම්සිරිගේ චරිතයට. තුම්පනේ කියන්නේ සැබෑවටම සුපිරි වැඩක්.

තුන්පනේ කියන්නේ  කතන්දර ගොඩක් ආදරය, දේශපාලන, බොහෝ දේ මේ තුළින් කතා කෙරෙනවා?

ඇත්තටම ඔව්. අපිට තියෙන්නේ ජාරාජීර්ණය වෙච්ච දේශපාලන ඉතිහාසයක්. මොන පාටින් මොන ප්‍රතිපත්ති එක්ක ආවත් අවසානයේ අපිව හූරගෙන කාලා හරි ගොඩ යන එක තමයි එයලාගේ ප්‍රතිපත්තිය. මේක ඇතුලේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන හැටි. පිටට නොපෙනෙන ඇතුලෙන් ගේම් ගහන, පැත්තක ඉඳන් මේ වැඩවලින් ගොඩයන මේ කුණු ගොඩත් එක්කම ගොඩ නගපු ලස්සන කතන්දරය තමයි තුන්පනේ.

මධුර ගේ කලා ගමන පටන් ගන්නේ කොතනින්ද?

මම පාසල් කාලේ ඉඳලම නාට්‍ය කළා. උසස් පෙළින් පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට එනවා. ඒ වෙද්දිත් මම නාට්‍ය කරමින් තමයි හිටියේ. ඔය අතරේ විශ්වවිද්‍යාලය තුළත් වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. සමාජවාදී කලා සංගමය හරහා නාට්‍ය පාඨමාලවකුත් හැදෑරුවා. විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉන්නකොට 2010දී චෙනිස් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ත්‍රීවීල් ඩයරිය’ කියලා චිත්‍රපටයක් ඒක හරහා තමයි මුලින්ම කැමරාවක් ඉදිරියේ මම රඟපෑවේ. ඒ චිත්‍රපටයෙන් පස්සේ ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. එතකොට මම නීතිපීඨයේ අවසන් වසරේ. නීතිඥවරයෙක් වුණේ ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍ය විකාශය වුණාට පස්සේ.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වුණු මධුරට කලාවට හිත ගියේ ඇයි?

මගේ ගම නිකවැරටියේ කොබෙයිගනේ මොරවැව. මුලින්ම ඉගෙන ගත්තේ තඹරඹුව කදරවලිය කනිෂ්ඨ විද්‍යාලයෙන්.  පස්සේ කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට ගියා. ඉස්සර අපේ ගම්වල තිබුණ නාට්‍ය සංදර්ශන බලලා තමයි මට ඇත්තටම රඟපාන්න ආසාවක් ඇති වුණේ. නීතිඥරයෙක් වුණත් රඟපාන්න මම හරිම ආසයි. මට හරියන විදිහේ නාට්‍යයක් ලැබුණොත් කරගෙන යනවා.

වෘත්තීන් දෙකම සමබරව කරගෙන යාම අසීරු නැද්ද?

මට රඟපෑමට ආරාධනා ගොඩක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට ටෙලි නාට්‍ය දෙකක තුනක වගේ තමයි මම රඟපාන්නේ. මම මෙගා නාට්‍ය භාර ගන්නේ නැහැ. විශේෂයෙන් කොටස් 100 එහා යන ටෙලි නාට්‍යවලට මම දායක වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මට මගේ වෘත්තිය මග ඇරෙනවා.

නීතිඥ වෘත්තියේ ඔබ වැඩිදුරට කටයුතු කරන්නේ මොන අංශයෙන්ද?

මම කොළඹ මහාධිකරණයේ නීතිඥවරයෙක් විදියට වැඩ කරනවා. ඊට අමතරව ලංකාව පුරාම අපරාධ නඩුවලට අදාල නඩු කටයුතුවලට සහභාගි වෙනවා. විශේෂයෙන් මගේ සේවාදායකයින්ගෙනුත් රංගනයට ඉහල ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ඒ ආදරයට හිස නමා ආචාර කරනවා. කලාව රැඳෙන්නේ ප්‍රේක්ෂක ආදරය මත.  එක තැනකදී මාව මේ ක්ෂේත්‍ර දෙක ඇතුලේ  හිර  වුණ අවස්ථා තියෙනවා. මොකක් තෝරා ගන්නවාද කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න කලාව අවශ්‍යයි. ඒත් ලංකාවේ කලාව කරලා විතරක් ජීවත් වෙන්න බැහැ.

කොහොම වුණත් මේ දවස්වල ප්‍රේක්ෂක ජනතාව කලාව රසවිඳින්න පුළුවන් මානසික මට්ටමක නැහැ?

ඇත්තටම ඔව්. මම මේ ටිකේ ඉන්නේ අරගල බිමේ. දැන් තියෙන තත්ත්වය එක්ක අපට ඉදිරිය ගැන හිතන එකත් භයානක තත්ත්වයක්.

මේ වෙනකොට ටෙලි නාට්‍ය සියල්ල පාහේ නතර වෙලා තියෙනවා. සියල්ලටම මිල ඉහළයි. නිෂ්පාදකවරුන්ට ඒ පිරිවැයත් දරාගෙන නිර්මාණ කරන්න අමාරුයි. ඩීසල් නැති නිසා රූපගත කිරීම් නතර වෙලා. ප්‍රේක්ෂකගාරය අන්ත අසරණ වෙලා. පාරට වැටිලා. ඉන්න මොහොතක අපිට එයාලට රසවින්දනය දෙන්න විදිහක් නැහැ. අපි හැමෝම අසරණයි. චිත්‍රපටයක් බලන්න, සින්දුවක් අහන්න වාතාවරණයක් මේ වෙනකොට අපිට නැහැ.

තුන්පනේ කුසුම්සිරිගේ ඇත්තම ජීවිතේ දැන ගන්න ප්‍රේක්ෂකයෝ කැමති ඇති.

මගේ අම්මා ගුරුවරියක්. අප්පච්චි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කළේ. ඒ දෙන්නාම දැන් විශ්‍රාම සුවෙන් ඉන්නවා. මට ඉන්නේ අයියයි, නංගියි. ඒ අයත් විවිධ වෘත්තීන් වල නියැලෙනවා. මම විවාහකයි. ඇයත් නීතිඥවරියක්. අවුරුදු 3ක පුංචි දුවක් ඉන්නවා. මගේ කලා ගමනට බිරිඳගෙන්  හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ නිදහස මට දෙනවා. ඇය විශ්වවිද්‍යාලයේ කාලේ ඉඳලම මගේ පෙම්වතිය නිසා මගේ කලා ජීවිතේ ගැන ඇය හොඳින් දන්නවා. ඇය තමයි මගේ හොඳම රසිකයා.

නදීශා අතුකෝරළ