මගේ යූ ටියුබ් එකට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා
ලංකාවම දන්න නිවේදකයෙකු වීමට හීන දකින තරුණයෙක් අපට මුණ ගැහුණා. ඔහු නමින් එරංග මධුෂාන්. සමාජ මාධ්‍යය තුළ නිතරම තම හැකියාවන් විදහාපාන එරංග මේ වනවිට කලාවට සම්බන්ධව අලුත්ම යු ටියුබ් නාළිකාවක් ආරම්භ කර තිබේ. ඒ ආර්ට් විත් එරංග නමින්.
ආර්ට් විත් එරංග ඔබේ අලුත්ම යූ ටියුබ් චැනලය?
මම දැනට යූ ටියුබ් නාලිකා කිහිපයක් නිර්මාණය කරපු කෙනෙක්. මගේ අලුත්ම යූ ටියුබ් නාලිකාව තමා ආර්ට් විත් එරංග කියන්නේ. මේක කලාවට සම්බන්ධ යූ ටියුබ් නාලිකාවක්. මම සද්ධා මංගල සූරිය බණ්ඩාර ගුරුතුමන් මෙහෙය වන ඉම්ෆාස් ආයතනයෙන් නිවේදනය සම්බන්ධව පාඨමාලාවක් හැදැරූවා. එහිදි මා කලාකරුවන් සමග සම්මුඛ සාකච්ඡා කරන විදිහ ගැන ලොකු අධ්‍යයනයක් ලබාගත්තා. ඒ අත්දැකිම් පෙරදැරි කරගෙන තමයි මේ ආර්ට් විත් එරංග කියන යූ ටියුබ් නාලිකාව මා විසින් ආරම්භ කළේ කිව්වොත් හරි.
මේ නාලිකාවේ විකාශය වෙන්නේ මොන වගේ දේවල්ද?
ගොඩක් වෙලාවට මේ නාලිකාව හරහා වෙන්නේ කලාකරුවන් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා. ඊට අමතරව චිත්‍රපටවල මංගල දර්ශන මාධ්‍යය දර්ශන වගේම විශේෂ දර්ශන ආවරණය කරනවා. මම මේ නාලිකාව පටන් අරගන්න කලින් වසරක වගේ කාලයක් තුළ කලාකරුවන් සමග සම්බන්ධ වුණා. ඔවුන්ගෙන් තොරතුරු ලබාගත්තා. ඒ හැමදෙයක්ම සැළසුම් කරලා තමයි මේ ආර්ට් විත් එරංග කියන යූ ටියුබ් නාලිකාව ආරම්භ කළේ.
මේ වැඩේට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?
රසික ප්‍රතිචාර නම් ඉහළින්ම මේ වැඩේට ලැබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි කෙටි කාලයක් තුළදී මේ නාලිකාවට ඉහළ ප්‍රේක්ෂක සමූහයක් එකතු වෙලා තිබීම. ඒ වගේම මා විසින් ඉදිරිපත් කරන විඩියෝ අද වෙන කොට විශාල පිරිසක් නරඹලා තියෙනවා. මම හිතනවා ඒක හොඳම උදාහරණයක් මේ නාලිකාවට ලැබෙන රසික ප්‍රතිචාර එක්ක බලද්දි.
ඔබ ජනප්‍රිය යූ ටියුබ්කරුවෙක්?
වසර දෙකක කාලයක් තිස්සේ මම යූ ටියුබ් නාලිකා කිහිපයක වැඩ කළා නිවේදකයෙක් විදිහට. පසුගිය කාලේ මා විසින් ක්‍රීඩාවට සම්බන්ධ යූ ටියුබ් නාලිකාවක් කළා. ඒකටත් ඉහළ රසික ප්‍රතිචාර තිබුණා. මම රැකියාවක් කරන අතරතුර තමයි මේ වැඩත් කරන්නේ. ගොඩක් වෙලාවට කාලය කළමනාකරණය කරගන්න සිද්ධ වෙනවා මේ වැඩවලදී. දැන් මගේ ක්‍රීඩා වැඩසටහන මම තාවකාලිව නවත්වලා තියෙනවා. දිගටම මේ ආර්ට් විත් එරංග කියන යූ ටියුබ් නාලිකාව තමයි මම කරන්න සැළසුම් කරමින් ඉන්නේ.
මේ වගේ වැඩක් කරන්න හිතුවේ ඇයි?
මාධ්‍යකරුවෙක් විදිහට වැඩ කරන්න පොඩි කාලේම මට හීනයක් තිබුණා. විශේෂයෙන්ම නිවේදකයෙක් විදිහට වැඩ කරන්න. හැබැයි මගේ නිවේදන හැකියාව ඔප දමාගන්න පුළුවන් වුණේ ඉම්පාස් ආයතනයට සම්බන්ධ වීමත් සමග. විශේෂයෙන්ම සද්ධා මංගල හා චේතනි විජේතුංග ගුරු දෙපොළව ආදරයෙන් මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. ඔවුන්ගේ මඟ පෙන්වීම හරහා තමා අද මම මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. නිවේදකයෙක් වෙන වගේම මම රඟපාන්නත් ගොඩක් කැමති කෙනෙක්. අදටත් මම කලා නිර්මාණ කිහිපයක සුළු චරිත වෙනුවෙන් දායකත්වය සපයලා තියෙනවා. ඉතින් කලා ක්ෂේත්රයට තියෙන ආසාව තමයි මාව මේ වැඩේට උනන්ඳු කළේ කිව්වොත් හරි.
ආර්ට් විත් එරංග නාලිකාව ඔබ තනිවම පවත්වාගන යන එකක්?
ඔව්, මේ නාලිකාව මා විසින් තමයි තනිවම පවත්වාගෙන යන්නේ. නිවේදකයා ලෙසත් මෙහි විඩියෝගත කිරිම් වගේම සංස්කරණය කටයුතු කරන්නෙත් මා විසින්මයි. මගේම ජංගම දුරකතනයෙන් තමයි මෙහි සියලු විඩියෝගත කිරිම් සිදු කරන්නේ. කලාකරුවන්ගෙන් විමසන ප්‍රශ්න පවා මා විසින් හදාගත්තු ඒවා. ගොඩක් කලාකරුවෝ මට සුබවාදි ප්‍රතිචාර දක්වනවා. ඔවුන් කියන්නේ වෙනත් නාලිකාවලින් නොඅසන ප්‍රශ්න මා ඔවුන්ගෙන් විමසනවා කියලා. මම හිතනවා කෙටි කාලයක් තුළදී ආර්ට් විත් එරංග කියන යූ ටියුබ් නාලිකාව මෙච්චර ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙන්න හේතුව කියලා.
බුද්ධික සේනාධීර