මගේ පවුලේ කාටවත් සින්දු කියන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇගේ හඩ කොයි තරම් නම් අපූරැද ? ඇගේ හඩ ඔබේ හදවතට කොයි තරම් නම් කාවැදුනාද? මේ ඔබ ආදරය කරන ඒ හඩ ආක්ෂා චමුදි.  දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් බිහිවුණ පුංචි ගායන තරැවක් වන ඇය චමුදි මේ වන විට දෙස් විදෙස් ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබන ළමා ගායන ශිල්පිණියක්. ඇගේ හඩ මෙන්ම ගායන විලාසය සුවහසක් රසික ප්‍රජාව ආදරයෙන් වැළඳ ගනිද්දී දෙරණ ලිටිල් ස්ටාර් වේදිකාවේ ජනප්‍රියම තරැව වන්නට භාග්‍යවන්තියක් වූ ඇයට  ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ගීත  මහත් ආශිර්වාදයක් විය. ඇන්ජලින් මහත්මිය දෙව් මව් තුරැලට නික්මෙන්නට පෙර සැමරෑ අවසන් උපන්දිනය දා තම රිදී සීනු හඩ අනාගතයට රැගෙන යා හැකි මැණිකක් හමු වූවා යැයි  යන අපේක්ෂාව දුටු ඒ පුංචි ඇන්ජලීන් ,ආක්ෂා චමුදි සමගයි මේ කතාබහ.

ඇත්තටම කොහෙන්ද මේ  තරම් ලස්සන  හඩක්  ලැබුණේ ?

මගේ පවුලේ කාටවත් සින්දු කියන්න බැහැ. මගේ අම්මා කියනවා මට ගායන හැකියාවක් තියෙනවා කියලා  අදුරගෙන තියෙන්නේ අවුරැදු 3දි. පුංචි පුංචි ළමා ගීත කියද්දි අම්මා තමයි ලිටිල් ස්ටාර් වැඩසටහනට අයදුම් කරලා තියෙන්නේ. මම හිතනවා සින්දු කියන්න තරම් මට මිහිරි හඩක් ලැබිලා තියෙන්නේ සසරේ කරපු පිනකට කියලා.  

ඉතින් කියන්නකෝ ආක්ෂාගේ විස්තර ටිකක්? 

දැන් මගේ වයස අවුරැදු 12යි. මම ඉගෙන ගන්නේ හම්බන්තොට කටුවන ජාතික පාසල 7 ශ්‍රෙණියේ . මගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තයි අයියායි අක්කායි. එයාලා මගේ ගමනට ලොකු ශක්තියක්. අදත් මම ප්‍රසංගයකට ,වැඩසටහනකට, උත්සවයකට යනවානම් අම්මායි තාත්තායි දෙන්නාම මාත් එක්ක යනවා. 

ආක්ෂා ඇන්ජලීන් මහත්මියගේ  ගීත වලට ප්‍රිය කිරීමට විශේෂ හේතුවක් තිබුණද ? 

පොඩි කාලේ ඉඳලාම මම ඇන්ජලින් මහත්මියටයි ජෝතිපාල මහත්මාටයි හරිම ආසයි. ඇන්ජලින් අත්තාම්මාව සියැසින් දැක ගන්න ලැබීම වාසනාවක්.  ජෝතිපාල මහත්මාගේ සොහොන බලන්න එක්ක යන්න කියලා මම තාත්තාට කිව්වා. අන්තිමට ඇන්ජලින් අත්තම්මාගේ අවසන් කටයුතු දවසේ අම්මායි තාත්තායි මාව බොරැල්ල කනත්තට එක්ක ගියා. එදා මාව ජෝතිපාල මහත්මාගේ සොහොන ලගටත් එක්ක ගියා.  

ආක්ෂා චමුදි ගේ නමට ඇන්ජලීනා කෑල්ල එකතු වුණේ කොහොමද?

මම ලිට්ල් ස්ටාර් තරඟයට ගොඩාක්ම කිව්වේ ඇන්ජලින් අත්තම්මාගේ ගීත.  දවසක් ඇන්ජලින් අත්තම්මා මට ෆෝන් කරලා එයාලගේ ගෙදර එන්න කිව්වා. එන්න කියන්නේ මට එතුමියගේ ගීත ගයන්න එපා කියන්න වෙන්න ඇති කියලා බයට ගියේ නැහැ. ආයේ දවසක් ඇන්ජලින් අත්තම්ගේ 79 වෙනි උපන් දිනය දවසේ කතා කරලා එන්න කිව්වාම අම්මායි තාත්තයි මාව එක්ක ගෙන ගියා. එදා ලතා වල්පොල අත්තම්මත් හිටියා. ඇන්ජලින් අත්තාම්මා එක්ක එදා සිංදු කියලා එයාගේ උපන්දින කේක් එක කපන්න දුන්නෙත් මට.  
එදා ඇය ගොඩාක් සතුටු වුණා.  එදා ඇන්ජලින් ආත්තම්මා මට කිව්වේ මගේ පොඩි ඇන්ජලින් කියලා.  මට ඇන්ජලින් අත්තම්මා එයාගේ නමේ කොටසක් දීලා මගේ නමට ඇන්ජලිනා නම එකතු කරන්න කියලා කිව්වා. ආක්ෂා චමුදි ඇන්ජලීනා විදිහට මගේ නම වෙනස් වුණේ ඒ විදිහට . ඒ වගේම එදා ඇන්ජලින් ආත්තාම්මාගේ ගීත ගයන්නත් මට අවසර දුන්නා. ඒ වගේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවිණම කෙනෙකුගෙන් ඒ වගේ දෙයක් ලැබෙන කොට ලොකු සතුටක්  දැණුනා. 

ආක්ෂාට ඇන්ජලින් මහත්මියගේ ගීත යම් පවරා දීමක් සිදුකරලා තියෙනවාද?

ඇයගේ උපන්දිනය දවසේ මට එතුමියගේ ගීත ගයන්න කියලා වාචික අවරසයක් දුන්නා. ඒ ගීත වලට හානියක් නොකර එතුමියව සිහිපත් කරලා මම එතුමියගේ ගීත ගායනා කරනවා. ඇන්ජලින්  අත්තම්මාට උපහාර ගීතයකුත් මම ගායනා කළා ලගදීම එය පටිගත කරනවා. 

අද ඇය ජීවමානව නැතත් ඔබ ඇයව සිහිපත් කරන්නේ කොහොමද?              

අදටත් මම එතුමියගේ ගීතයක් ගයද්දි ඇයට පිං දෙනවා. අද ඇය දෙව්මව් තුරැලේ වුනත් මම එතුමියව සිහිපත් වෙන්න මගේ ගෙදර එතුමියගේ ජායාරෑපයක් තියලා තියෙනවා. ගොඩාක් වෙලාවට  ප්‍රසංගයකට යද්දි ඒ ජායාරෑපයට මලක් තියලා ආශිර්වාද අරගෙන තමයි යන්නේ.   

මේ දවස් වල පාසල් නිවාඩු නිසා ප්‍රසංග වලට ආරාධනා වැඩි ද?

පාසලේ වැඩ පාඩු නොවන විදිහට සෙනසුරාදා ඉරිදා දවස් වලට විතරයි මම ප්‍රසංග වලට සහභාගී වෙන්නේ.  ඔව් මේ දවස් ප්‍රසංග වලට ලැබෙන ආරාධනා වැඩියි. ඒවායිනුත් තෝරා බේරාගෙන තමයි ප්‍රසංග වලට සහභාගී වෙන්නේ. ප්‍රසංග නිසා ලංකාවේ ගොඩක් තැන් වලට මට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලංකාවේ නම් යාපනේට විතරයි මම ගිහින් නැත්තේ. පිටරට ප්‍රසංග වලටත් ගොඩාක් ආරාධනා ලැබෙනවා. ඒත් ඒ ප්‍රසංග වලට මාස ගණන් එහේ රැඳෙන්න ඕන. මාස ගණනක් රැදෙද්දි අධ්‍යාපන වැඩ පාඩු වෙන නිසා ගොඩාක් විදෙස් ප්‍රසංග මගඇරනෙවා. 

කාලයක් නිහඩ වෙලා වගේ හිටපු ආක්ෂාගේ හඬට පහුගිය දවස්වල ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා?

නිහඬ වෙලාම හිටියේ නැහැ වරින් වර මම ගීත ගායනා කළා.ප්‍රසංග වලටත් සහභාගී වුණා. අධ්‍යාපන කටයුතු නිසා කලා කටයතු වලට ලොකු කාලයක් වෙන් කළේ නැහැ. ඒත් මම පුළුවන් හැම වෙලාවකම කලා කටයුතු වලට දායක වුණා. මම පහුගිය දවස් වල ප්‍රවීණ ශිල්පින්ගේ ගායනා කරපු ගීත වලට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. මම ගීත ගායනා කරන්න පටන් ගත් දා ඉඳලා මට ශක්තියක් වුණ ප්‍රේක්ෂකයෝ අදටත් මාත් එක්ක ඉන්නවා. ඒ වගේම ඉස්සර මට ආස නැති මම ලොකු අයගේ සින්දු කියනවා කියලා බැනපු අයත් දැන් මගේ ගීත වලට ආදරය කරන්න පටන් අරන් තියෙනවා. ඒවා ගැන හිතද්දි ගොඩක් සතුටුයි.  

දැන් රංගන කටයුතු වලින් ඈත් වෙලාද?

මම තාම සංගීතේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. රංගනයට ගොඩාක් ආරාධනා ලැබෙනවා. පාසලේ වැඩ  අතපසු වෙන නිසා ඒ කිසිවක් භාරගත්තේ නැහැ. සංගීතේ ටෙලි නාට්‍යයෙත් නිවාඩු දවස් වලට වැටුනොත් විතරක් ෂුටිං යනවා. සංගීතේ ටෙලි නාට්‍යයෙත් මම වැඩිය පේන්න නැහැ.

ප්‍රසංග වේදිකාවේ ආක්ෂාට අමතක නොවන සිදුවීම් නැද්ද?

කුවෙට් වල ප්‍රසංගයකදි එක පාරක් මම සින්දු කිය කිය ඉන්න කොට එකපාරටම ස්ටේජ් එකට නැගලා නැන්දලා මාමලා කට්ටියක් මාව වඩාගන්න ආවා.  එදා අම්මායි තාත්තායිත් බය වුණා. අදටත් තාත්තායි අම්මායි මම සින්දු කියනකම් ස්ටේජ් එක ලගට වෙලාම ඉන්නවා.   

මොනවද ආක්ෂාගේ බලාපොරොත්තු?

සංගීතය තමයි මගේ ජීවිතේම. ඒ පැත්තෙන් මගේ දක්ෂතා දැනුම වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න තමයි එකම බලාපොරොත්තුව. මම හැමදාමත් සංගීත ශ්‍රාස්ත්‍රය උගන්වපු ගුරුවරුන්ට පිං දෙනවා. මගේ දක්ෂතා අඳුරගෙන මට ඉදිරියට යන්න ශක්තියක් වුණාට. මම මුලින්ම සංගීතය ඉගෙන ගත්තේ ඇඹිලිපිටියේ ප්‍රේමනාත් සර්ගෙන්. මේ දවස්වල මම විශාරද දෙවන අදියරයේ විභාගයට සූදානම් වෙනවා. ඒ සඳහා  මට මගපෙන්වන්නේ ආශා වීරසිංහ මිස්. මේ වෙලාවේ මගේ පාසල කටුවන පාසල ජාතික පාසල වගේම විදුහල්පති තුමා උපාලි ප්‍රතාපගේ මහත්මාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ කලා ගමනට පාසලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට මම ප්‍රසංග වලට සහභාගී වෙන්නේ නිවාඩු දවස් වලට විතරයි. ඒත් පාසල් වැඩ අතපසු වුනත් මට ගුරුවරු යාළුවෝ මග ඇරුන පාඩම් ටික කියලා දෙනවා. 

මම දෙරණ ලිට්ල් ස්ටාර් ජනප්‍රිය තරුව වුණා. ඒ තත්වයට ගෙනොවේ රසිකයෝ. ඒ අය වෙනුවෙන් මම හැමදාමත් ගීත ගායනා කරනවා. මම ලොකු අයගේ සින්දු කියනවා කියලත් සමහරු හරියට දෝෂාරෝපණය කරපු අවස්ථා  තියෙනවා. ඒවාට දුක හිතුනත් ඒ දෝෂාරොපණය කරපු අයත් දැන් මගේ ගීත වලට ප්‍රිය කරනවා.  

නදීශා අතුකෝරළ