මගේ පියා කවදාවත් කියලා නැහැ මට රඟපාන්න එන්න කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිණියක් මෙන්ම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වර්තමානයේ කටයුතු කරන ඉෂාරා අතුකෝරළ ප්‍රවිණ රංගන ශිල්පි ආනන්ද අතුකෝරළගේ දියණිය වෙයි. මේ දිනවලද ටෙලි නිර්මාණ කිහිපයකම දකින ඉෂාරා අපි මෙවර සාරවිට තරු කතාබහට මෙසේ සම්බන්ධ කර ගත්තේමු.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම නිවේදිකාවක් විදිහට ස්වර්ණවාහිනි නාළිකාවේ වැඩ කරනවා දැනට. සද්ධා මංගල සූරියබණ්ඩාර කියන තිර පිටප්ත රචකයාත් අපිත් සමග එකම නාළිකාවේ වැඩ කරන්නේ. එතුමා හරහා තමයි රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ මට අවස්ථාව ලැබුණේ. නිවේදිකාවක් විදිහට නම් කාලයක සිට මම වැඩ කළත් රංගනයට නම් එකතු වෙන්නේ මෑතකදී.

දැනට දායක වුණ කලා නිර්මාණ මතක් කළොත්?

ස්වර්ණවාහිණි නාළිකාවේ විකාශය වුණ ආත්මා, සිරසේ නීල පබලු, අනුරුද්ධ ගාම්භිරආරච්චිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන අලුත් ටෙලියක ප්‍රධාන චරිතයට රඟපානවා මම. ඒ සමගම මේ දිනවල අතිශය ජනප්‍රිය පාර දිගේ ටෙලි නාට්‍යයේ මම ඉන්නවා.

ඔබේ පියා රංගන ශිල්පියෙක්. මේක කලාවට එන්න පහසුවක් වුණාද?

ඔව්, රංගනයට යොමු වෙන්න ඒක පහසුවක් වුණා. මගේ පියා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ කෙනෙක් නිසා ඔහුගෙන් මට රංගනය ගැන බොහෝ දේ දැනගන්න ලැබුණා. මගේ පියාට අදටත් ආදරය කරන හා ගෞරවය කරන බොහෝ පිරිසක් ඉන්නවා. මටත් ඒ ආදරය අද භුක්ති විඳින්න ලැබිලා තියෙනවා. හැබැයි මාගේ පියා කවදාවත් කෙනෙකුගෙන් අවස්ථාවක් ඉල්ලලා නැහැ මාව කලා නිර්මාණයකට සම්බන්ධ කරගන්න කියලා. ඒ වගේම තමා මගේ පියා කවදාවත් මට කියලා නැහැ කලාවට එකතු වෙන්න කියලා. මගේම දක්ෂතාවය මත තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.

රංගනය ගැන හැදෑරිමක් ඔබ කරලා තියෙනවාද?

නැහැ. එහෙම හැදෑරිමක් කරලා නැහැ. මගේ පියා වැඩමුළු කරනවා රංගනය සම්බන්ධයෙන්. මගේ පියා ගාව තියෙන පොත්පත් එහෙම කියවනවා. ඊට අමතරව මම විශේෂ හැදෑරිමක් කරලා නැහැ. හැබැයි නුදුරේම ඒ වගේ දේකට යොමු වෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ කලා ක්ෂේත්‍රයට එන්නේ නිවේදිකාවක් විදිහට කිව්වොත් හරි?

ඔව්, කාලයක ඉඳලා මම නිවේදිකාවක් විදිහට වැඩ කරනවා ස්වර්ණවාහිනි නාළිකාවේ. මේ දවස්වල කොෆි විත් ස්ටුඩියෝ මුදිත ඇන්ඩ් ඉෂු කියලා වැඩසටහන කරනවා. ඊට අමතරව හද රැඳි පැය කියලා සංගීතමය වැඩසටහනක් තම මම කරනවා.

රංගන ශිල්පිණියක් වුණාම කාගෙත් හීනේ තමයි සිනමාවට එකතු වෙන එක?

ඔව්, මගෙත් ඒ හීනේ තියෙනවා. දැනට මට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. උදයකාන්ත වර්ණකුළසුරිය මහත්මයාගේ චිත්‍රපටයක මම රඟපෑවා. නුදුරේම ඒ නිර්මාණය හරහා මාව සිනමා තිරයෙන් දැකගන්න පුළුවන් වෙයි.

තරුණ පිරිස දැන් වැඩිපුර කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා නේද?

ඔව්, ගොඩක් තරුණ අය මේ ක්ෂේත්‍රයට එනවා. ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නවා ඒ අතර. හැදෑරිමක් කරලා තමන්ගේ දක්ෂතාවය ඔප මට්ටම් කරගෙන මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තමන්ගේ ස්ථාවරත්වය ගොඩ නගා ගන්න කියන දේ තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන තරුණ පිරිසට කියන්නේ.

බුද්ධික සේනාධීර