මගේ පංතිවල හිටපු යාළුවෝ ඔක්කෝම වගේ අද වන විට විවාහ වෙලා තාත්තලා වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි නම්? ඒ ගැන මේ හැඩකාර තරුණ රංගන ශිල්පියා වන කැලුම් ශ්‍රී අපට කියන්නෙ මොනවද බලමු. ඔහු තමයි අද  ‘‘තාත්තයි - පුතයි’’ විශේෂාංගය වෙනුවෙන් අදහස් දක්වන්නෙ. මේ තරුණ ‘‘තාත්තා’’ ඒ භූමිකාව අර්ථවත් කරන විදිය මොන වගේ දැයි ඔහුගේ අදහස්වලින් අපට දැනගත හැකි වේවි.

කැලුම් ශ්‍රී මේ දිනවල රඟපෑම් ගැන සඳහන් කළොත්?

‘‘දිවිතුරා’’ නාට්‍යයේ රඟපානවා. ‘‘විශාල්’’ නමැති ගායකයාගේ චරිතය එහි රඟපාන්නෙ. ඊට අමතරව ‘‘සික්ස්පැක්’’ නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව ‘‘යන එන මං’’ නමින් අලුත් නාට්‍යයක රඟපානවා. එය විකාශයට නියමිතයි. එහි රූගත කිරීම් සිදුවෙනවා.

මේ වන විට වෘත්තිය රංගනය ද?

කලින් ව්‍යාපාරික කටයුත්තක යෙදුණා. දැන් නම් ෂූටිං දිගටම කරන නිසා ඒ ව්‍යාපාරයේ වැඩ ඔන්ලයින් හරහා පටන් ගන්න ඉන්නේ. ව්‍යාපාරයක් කරගෙන යෑම තමයි ඉදිරි අරමුණ.

ජීවිතේ කොහොමද?

ජීවිතේ ගෙදර අය එක්ක සතුටින් ගෙවනවා. මාසයකට දවස් 10ක් 15ක් විතර සමහර වෙලාවට ඉන්න ලැබෙනවා. ඒක ඇත්තටම මට ලොකු සතුටක්. බිරිඳ සහ පුතා එක්ක උපරිම සතුටින් ඒ කාලය ගත කරන්න උත්සාහ ගන්නවා.

කොහොමද බිරිඳ ‘දුලී’ ගැන කිව්වොත්?

කලා ක්ෂේත්‍රයේ ගමනක් යන්න මට අත දුන්නෙ අම්මයි - තාත්තයි. ඉන්පසුව ‘‘දුලී’’ ලොකු සහයෝගයක් ලබා දෙනවා. එයා දෙන ඒ නිදහස නිසා මට නිදහසේ, හොඳ නිරවුල් මනසකින් කලා කටයුතු කරගෙන යෑමට ඉඩ ලැබී තිබෙනවා. එයා කිසි විටෙක මට බලපෑම් කිරීම් කරන්නෙ නැහැ. අපි දෙන්නම එකතුවෙලා මහන්සිවෙලා ජීවිතේ මේ දක්වා ගොඩනගා ගත්තෙ.

කතා කරමු ‘‘තාත්තයි - පුතයි’’ ගැන. තාත්තා වූ පසු ජීවිතය වෙනස් වුණේ කොහොමද?

තාත්තා කෙනෙකු වීමට පෙර මට එහෙම ලොකු වගකීමක් තිබුණෙ නැහැ. මගේ අප්පච්චිව මට හරියටම තේරුම් ගියේ මම තාත්තා කෙනෙක් වූ පසුවයි. අපෙ අප්පච්චි මට ආස දේ මට ලබා දෙන්න කොච්චර නම් කැප වෙන්න ඇතිද කියලා හිතෙනවා.

පුතා එක්ක ජීවිතය ගෙවන විදිය?

අපි දෙන්නා නිතරම සෙල්ලම් කරන එක කරන්නෙ. එයා ක්‍රිකට් ගහන්න හරිම ආසයි. ඒ වගේම බොක්සිං ගහන්නත් ආසයි. මට ඉතින් ඒවා කරන්න වෙනවා. දැනට ගෙදර ටී.වී. දෙකත් කැඩිලා. 

ලොකු වියදමක් නේද?

ඒකනෙ. 

මේ විදියට ටී.වී. කැඩෙන නිසා ගේ ඇතුළෙ ක්‍රිකට් නතර කළොත් නේද හොඳ?

දරුවකුගෙ මානසිකත්වය වෙනුවෙන් එයාගේ මුල් ළමාවිය වර්ධනය ගැන හිතලා කටයුතු කරන්න වෙනවා. ඒක නොදැනුවත්වනෙ වෙන්නෙ. ටී.වී. එක කැඩුන වෙලාවේ මම පුතාවත් අරන් කාමරයෙන් එළියට ගියා. ‘‘දුලී’’ ගෙන් බැනුම් කෝටියයි. දින දෙක තුනක් යනකල් ඉතින් බැනුම් තමයි. එහෙම කළාට එයා ඉතින් අපි දෙන්නට පණ වගේ ආදරෙයි.

පුතාගෙ වයස?

අවුරුදු 3යි. අලුත් - අලුත් වචන මුමුණන අවදිය. ඇහෙන – ඇහෙන දේ කියනවා. සාමාන්‍යයෙන් අපට යාළුවෙක් කතා කළොත් එහෙම, ආ. මචං කියපං වගේ කියලනෙ අපි කතා කරන්නෙ. හැබැයි දැන් ඒ වගේ වචන කියද්දි අපි හරි පරිස්සම් වෙන්නෙ ඒවා නොකියා ඉන්න. එක වතාවක අපි ටී.වී. ප්‍රෝග්‍රෑම් එකකට ගියාම එය සජීවී වැඩසටහනක්. වැඩ සටහන අතරතුර පුතා ‘‘අනං මනං වානා’’ කිව්වා. අපි ඔක්කෝටම හිනා නතර කර ගන්න බැරිව ගියා. කොහෙන් හරි ඇහිච්ච වචනයක් එයා ඒ විදියට කියන්න ඇත්තෙ.

පුතාට කෑම කවන්නෙත් මේ තාත්තද?

ඒක නම් ටිකක් අමාරු වැඩක්. අපි දෙන්නම එකතු වෙලා ඒ වැඩේ කරන්නෙ. ස්පයිඩර් මෑන් කියලා මම පුතාව බිත්තියෙන් බිත්තියට ඔසවාගෙන යනවා. ඒ අතරේ දුලී හරි මම හරි බත් කටකුත් කවනවා. ඒ විදියට තමයි බොහෝ වෙලාවට එයාට කෑම කවන්නෙ.

පුතා වැඩියෙන්ම යන්න කැමති?

‘බීච්’’ එකට. බීච් එකේ වැල්ලෙ දුවන්න හරි ආසයි.

දැනෙන විදියට පුතා මේ වන විට දක්ෂයි කියලා හිතන්නෙ?

ක්‍රිකට් ගහන්න හරිම ආසයි. හොඳ රිද්මයක් තියෙන බව පෙනෙනවා. බෝල් කළාම කොහොමහරි ඒකට ගහනවා. ඒක හරියට සහජයෙන්ම ගෙනා දක්ෂතාවක් වගෙයි.

මේ පුංචි හපනගෙ නම?

ශ්‍රී ආර්ය දසිස්.

තාත්තෙකුගේ වගකීම ලෙස කැලුම් ශ්‍රී හිතන්නෙ?

දරුවගෙ සියලු දේ ගැන සොයා බලන්න වෙනවා. මවට විතරක් වගකීම් පවරා සිටිය යුතු නැහැ. මොන දේ කළත් පළමු රාජකාරිය විය යුත්තේ එයයි. එයාලා එක්ක සිටින මොහොත සතුටින් ඉන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම වගකීම. බිරිඳට විතරක් පුතාගේ වගකීම් පවරන්නෙ නැතුව සැමියත් බාගෙට – බාගෙ ඒ වැඩ කරන්න උදව් වීම කළ යුතු දෙයක්.

කැලුම් ශ්‍රී කැමති කවදාහරි පුතාව මොන වගේ තැනකට යොමුවෙනවා දකින්නද?

එයාගෙ දක්ෂතා අනුව කරන සැම දෙයකටම මම කැමතියි. මට හිතෙන විදියට එයා කවදාහරි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි. ඒ විෂයයටම ඉලක්ක කරගෙන, අරමුණක් ඇතිව ගිහින්, හොඳ ක්‍රිකටර් කෙනෙක් වෙනවා දකින්න මම කැමතියි.

ලංකාවේ සමාජයේ සිටින ඔබගෙ වයසෙ තාත්තලා දිහා බලද්දි ඔබට ඇති වන හැඟීම මොන වගේද?

මගේ පංතිවල හිටපු යාළුවෝ ඔක්කෝම වගේ අද වන විට විවාහ වෙලා තාත්තලා වෙලා. සමාජය දිහා බැලුවොත් අද සමාජ මාධ්‍ය පුළුල් වෙලා. ඒ නිසා තරුණ විවාහක පිරිස් ඒවා බහුලව භාවිතා කරන බව පෙනෙනනවා. ඒකෙ ඉතිං වරදක් මම දකින්නෙ නැහැ. ඉස්සර තාත්තලාට සාපේක්ෂව මේ තාක්ෂණය එක්ක සැසඳුවාම ‘‘නවීන’’ තාත්තලා තමයි දැන් සිටින්නෙ. ඒකට වරදක් කියන්න බැහැ.

මේ තාක්ෂණික මෙවලම් පුතා පරිහරණය කරනවට කැලුම් ශ්‍රී කැමති ද?

අපේ පුතා ෆෝන් එක බලන්න, කාටුන් බලන්න එච්චර කැමැත්තක් නැහැ. අපි තහංචි දාලා නෙවෙයි. එයාට අවශ්‍ය දුවන පනින දේ කරන්න. කාටුන් එකක් බලන්න එහෙම කියලා අපි එයාට කියනවා. ඒක සමහර විට අපිම කරන වරදක් වෙන්නට පුළුවන්. ඒත් පුතා ටික වෙලාවයි ටී.වී. එක ළඟ ඉන්නෙ. මොකක් හරි දුවන පනින වැඩකට යොමු වෙනවා. ඒක හොඳ දෙයක්. තාක්ෂණික මෙවලම්වලින් දරුවන් ඈත්වන තරමට හොඳයි. මට නිවාඩු තියෙන දිනවල පුතා එක්කගෙන අපි බීච් එකට යනවා. දිග නිවාඩු ලැබුණාම නුවර ගිහින් එන්න යනවා. කොහොමටත් අපි සංචාරයට ප්‍රියයි.

තාත්තෙක් වූ පසුවත් බිරිඳට ඇති ආදරය වෙනසක් වුණේ නැද්ද?

බැන්දට පස්සෙ දෙන්නා වෙනස් වෙනවාය කියලා බොහෝ දෙනා කතා වෙනවා මට ඇහිලා තියෙනවා. හැබැයි අපි දෙන්නා නම් වෙනස් වෙලා නැහැ. අපි එදා වගේම තමයි. සමහර දාට ‘‘බබාව’’ අම්මට දීලා අපි දෙන්නා වෙනමම එළියට ගිහින් කාලා බීලා එනවා. ඒ විදියට එදා වගේම අපි දෙන්නගෙ ඒ බැඳීම වෙනස් වෙලා නැහැ. වගකීම් ඇති බව ඇත්ත. ඒක වටහාගෙන කටයුතු කළාම ඇති. අපි දෙන්නා ගිහින් ෆිල්ම් එකක් එහෙම බලලා එනවා.

ගෙදරදි බිරිඳට කියලා පැවරිලා තියෙන වැඩවලට ඔබ සහාය දෙන්නෙ නැද්ද?

අපෝ උදවු කරනවා. මට හිතුණොත් රස කෑමක් හදන්න, මම ඒකට ‘‘දුලීට’’ උදවු කරනවා. ගෙදර පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම එහෙම කරන්න තියෙනව නම් මම ඒක කරනවා.

තාත්තෙකු ලෙස ඔබ – ඔබගෙන් දකින අඩුපාඩු?

ගෙදර වැඩිපුර කාලයක් ඉන්න බැරි වෙන එක. සමහර දවස්වලට ෂූටිං නිසා හවසට ගෙදර එන්න බැරිවෙනවා. ඒක තමයි මම අකින මගේ දුර්වලකම. 

හොඳම තාත්තෙක් වීමට නම් තිබිය යුතු ගුණාංග මොනවද? ඔබ ඒ ගැන හිතන විදිය?

ගෙදර ගැන හිතෙන විදිය, මුදල් උපයන විදිය, දරුවා ගැන බලන විදිය වගේම, බිරිඳටත් පෙර ලෙසට ගෞරවනීයව සැලකීම, ආදරය කිරීම වැදගත්. එහෙම වෙන්න සහ එහෙම කරන්න මම උපරිම උත්සාහ ගන්නවා. සමහර තාත්තලාට ඒ වැඩ ටික කරගන්න බැරි වුණත්, එයාලා පුළුවන් විදියට පවුල රකිනවා. මුදල් නැතත් එයාලා කැප වෙනවා. ඉතින් එහෙම තාත්තලාත් සමාජයෙ සිටිනවනෙ. ඒ නිසා හොඳම තාත්තෙක් කියන දේ ගැන මට එක් වරම නිර්වචනය කරන්න බැහැ. සෑම සැප සම්පතක්ම දෙන්න බැරි වුණත් යහපත්ව සිටින තාත්තලා ඉන්නවනෙ.

ඔබගෙ වයසෙ සිටින තාත්තලා වෙතින් දකින අඩුපාඩු මොනවද?

සමහර අය වඩාත් කාර්යබහුල වුණාම, ගෙදර අමතක කරදමා තමන් විතරක් යාළුවො එක්ක සතුටු වෙනවා. පාටි දාලා ගෙදර යනවා. අන්න ඒ වගේ දේ තමයි මම දකින අඩුපාඩු.

තාත්තා මාතෘකා කරගෙන මෙතෙක් ගයා ඇති ගීත අතරින් කැලුම් ශ්‍රී වඩා කැමති?

හිමාලයට වඩා උසයි..... ඒ ගීතයට මම ආසයි.

පුතා නළවන්න ඔබ ගීත ගයලා තියෙනවද?

අපොයි ඔව්......

ඔබ හොඳ තාත්තෙක්ද?

ඔව්. මට එහෙම හිතෙනවා. සමහර තැන්වලදි අඩුපාඩු වුණාම මට දුක හිතෙනවා.

සඳුන් ගමගේ