මගේ නළු හීනයට හුඟක් අය සමච්චල් කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

- සිනමා වියමනෙන් ජීවිතයට ආදරයෙන් කතා කරන විචිත්‍රවත් සිනමාවේදී චන්න පෙරේරා

චන්න ඔබ දිලිසෙන දෙපයින් ගමන් කරන වන්දනා කරුවෙකි

මේ මොහොතේ ඔබ නැතුව ඔබ එක්ක රම්‍ය මිටියාවතක මම ඇවිද යමි. ආදරණීය අංජලිකා යන මඟ එක් තැනක ආදරයෙන් පෙරමං බලා හිඳී. එහෙත් නවතින්නට සිත් නොදේ. අහන්න චන්න මඟහරින්න සිත්වෙන නිසා නෙවෙයි කල්පාන්තේ සිහිනයක් සොයා තවත් දුරක් ඇවිදින්න සිත් වූ නිසාවෙන් නොනැවතුණේ මම කතා කරද්දිත් අංජලිකා මට...

ඒ තත්ත්පරයේ යුග යාත්‍රාවක කතාන්දරයක් අසන්නට මට අඬගසන ඔබ යුගාත්‍රා වෙත මා කැටුව ගොස් සමාධි හා ආත්මීය පාපොච්චාරණයකට ඉඩ හසර සැදූ හැටි...

සංසාර සරාගික
සුවිසැරියෙ ඉම තුරා
නොඉල්ලමි කිසිවක්ම
ආදරය හැරෙන්නට

චන්න... සමාධි මට කියන්නේ එහෙම දෙයක්. සාගරගේ ආදරය එයාට කල්පාන්තේ සිහිනයක්... චන්න.. සිහින අනන්තේ තනිවෙන්නට මා තවත් දුර යා යුතුයි... සාගරගේ පපුතුරට වාරු වී සමාධි මට කියන්නේ ආදරයෙන් ජීවිතය පාට කරන තවත් එක් විදියක් ගැනයි. අංජලිකා, සමාධි, එරන්දි, සාගර හැම කෙනෙක්ම පාට කරන්නේ ආදරයේ චිත්‍රයක්...

චන්න... ඉසියුම් ලෙස ප්‍රේමය, ආදරය, සුවඳ, පාට, ගැඹුර අමුතු අමුතු වෙසින් තවරා, සරසා ඔබ නිමැවූ අංජලිකා, කල්පාන්තේ සිහිනයක්, යුගාත්‍රා, සිහින අනන්තේ ලාංකික සිනමා වංශ කතාවේ ප්‍රේමණීය විචිත්‍රවත් පරිච්ඡේද වී හමාරයි... රංගධරයෙක්ට සැරිසැරිය හැකි සීමාන්තික අවකාශයෙන් එහා ඉමක සිනමා අධ්‍යක්ෂවරයෙකුට සැරිසැරිය හැකි අසීමාන්තික මිටියාවත් අතර ඔබේ සැරිසැරීම සැබැවින්ම සොඳුරුයි. ආදරය, ජීවිතය, ලෝකය සහ මනුෂ්‍යත්වය පිළිබඳව නවමු වෙසෙකින්, විචිත්‍රවත් වෙසෙකින් සිනමා වියමන් ගෙත්තම් කරන ලාංකික සිනමාවේ ප්‍රේමණීයම සිනමාවේදියා, සිනමා අධ්‍යක්ෂවරයා ලෙස මා ඔබ නිර්ලෝභීව නිර්වචනය කරන්නේ ඒ නිසයි. 

සදාතන ස්නේහය සම්මිශ්‍රණය වූ ද්වාරයන් විවර කරමින් සියුම්, ඉසියුම් ලෙස හදවත් භාවමය ප්‍රකම්පනයකට පත් කළ හැකි සිනමා රූපකාරක සිංහල සිනමාවට දායාද කරන්නට එදා මෙදා තුර ආත්මීය ආලයකින් ඔබ ගත් ඒ සොඳුරු වෙහෙස කෘතවේදිත්වයෙන් සිය දහස් වාරයක් අගයමු, ඉතින් අපි.

රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ළං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...

යුගාත්‍රාහි මට හමුවූ සමාධි සාගරට මිමිණූ ආත්මීය ගීතය එය යැයි මට සිතේ... ඒ ආත්මීය පෙම්වතිය සාගරට සසර සක්මනේදි අහිමි වුණත්, සංසාර ප්‍රේමණීය දියවරයන්හි උල්පත් භවයෙන් භවයට නොසිඳෙන වග මම විශ්වාස කරන සත්‍යයයි. එවන් ප්‍රස්තුතයක් මත දිගහැරෙන යුගාත්‍රා මේ මොහොතේ ඔබ අබිමුව. 

ඔබේ කතා ළඟ හිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමි... 

සැබැවින්ම අංජලිකා, කල්පාන්තේ සිහිනයක්, යුගාත්‍රා මට කියා දුන්නේම ප්‍රේමයේ අනේක දිශානතින්.

''මූට කන්න දෙන්න එපා ගෙදරින්...'' ඔබගේ තාත්තා ආදරය නැතිකමට නෙවෙයි ආදරය වැඩිකමට එහෙම කියපු අතීතයක් ඔබට තිබුණා. අපි එතනින් කතාව පටන් ගමු.

මම මේ ක්ෂේත්‍රයට එන කාලයේ මේ ක්ෂේත්‍රය, රංගනය හෝ කලාව තුළින් ලොකු ස්ථාවරයක් හදාගන්න පුළුවන් ක්ෂේත්‍රයක් කියලා පිළිගැනීමක් තිබුණෙ නෑ. ඒ කාලයේ රංගන ශිල්පියෙකුට ඉතාමත් අඩු අවස්ථා ගණනක් තිබුණේ. මම කලාවට ආවේ ඇත්තටම සිනමාවට ඉතා අඩු තක්සේරුවක් තිබුණු කාලෙක. ඒ අසූ ගණන් අග භාගයේ වගේ. ගෙදර තිබුණේ අපි පුංචි කාලයේ ඉඳන්ම අධ්‍යාපනික පසුබිමක්. පුංචි කාලයේ ඉඳන්ම චිත්‍රපට බලන්න ආසාවක් තිබුණත් නළුවෙක් වෙන්න ඕනෑ කියලා ආසාවක් ආවේ මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි. මගේ තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. අම්මා ගුරු උපදේශිකාවක්. ඒ පසුබිම තුළ මගේ මල්ලිලා තුන්දෙනා වුණත් අධ්‍යාපනයට යොමුවෙලා හිටියේ. ඒ පසුබිම තුළ තාත්තා මාව බලෙන්ම වගේ බැංකුවක රැකියාවට දැම්මා. 

දෛවය යන්න අහම්බයක්ද, සොබාදහමේ න්‍යායක්ද යන්න තවදුරටත් විමසන්නට ඉඩ හසර තබමින් ඒ බැංකු රුකියාවම චන්නගේ නළු සිහිනයට මඟ විවර කළේය.

බැංකුවේදි මට හමුවූ ආනන්ද කියන මිත්‍රයා මට කියන්න ගත්තා ඔයාට බැංකු රස්සාව හරියන්නේ නෑ. ඔයාට හරියන්නෙ නළුකම කියලා. අද ඔහු ජීවතුන් අතර නැතත් ආදරයෙන් සිහිපත් කරනවා. එයා අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් එහෙම දැනගෙන හිටියා. එයා මාව සති අන්තවලදි ඇදගෙන යනවා ''ලොකේෂන්'' වලට..

එසේ සැරිසැරූ තාරුණ්‍යයක නළු නැමියාව දැන හඳුනාගත් දයා විමලවීර සිනමාවේදියා චන්නට සුජාතා චිත්‍රපටයේ රඟපාන්න අඬගැසුවේය.

අවුරුදු තුනක් පමණ කළ බැංකු රැකියාවට තාත්තාටත් නොකියාම සමුදුන් චන්න රුකියාවට සමුදුන් වග තාත්තා දැනගත්තේ එයින් ඉවත් වීත් මාස දෙකක් පමණ ගතවෙද්දීය.

''මූට කන්න දෙන්න එපා ගෙදරින්...''

පුත්‍ර ප්‍රේමය අප්‍රමාණව තාත්තා කෙනෙක්ගේ පපුවට දැනෙද්දි පුතුට මඟ වරදීද යන හැඟීමෙන් උපන් ස්නේහයේ සහ ආවේගයේ නිර්ව්‍යාජම ප්‍රකාශනයක් ලෙස කැටි කොට මුදාහල වදන් අහුරක් නොවේද ඒ....

ආච්චි මට නාට්‍ය වැඩමුළුවලට එහෙම එළියට යද්දි හොරෙන් බත් එකක් බැඳලා දෙනවා ඒ කාලේ.

එහෙම පටන් ගත්ත ගමන ශක්තිමත් ගමනක් බවට පරිවර්තනය වෙන්න කොච්චර විතර කාලයක් ගියාද?

අවුරුදු 10 ක් විතර..

මඟ වැරදෙයි කියලා හිතපු තමන්ගේ පුතා ජනප්‍රියත්වයේ මුදුනෙහිම ඉන්නවා දකිද්දි, රංගවේදියෙක් ලෙස ඔබ ලැබූ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය දකිද්දි තාත්තාගේ ප්‍රතිචාරවල ස්වරූපය කොහොමද?

හරි හිතුවක්කාරයෙක් වෙච්ච මට, තාත්තා මුල්ම කාලේ ආදරය වැඩිකමට හෝ මගේ නළු සිහිනය ප්‍රතික්ෂේප කරද්දි ඇත්තටම මට හරි දුකක් දැනුණා. හුඟාක් අය ඇත්තටම මගේ නළු හීනයට හිනා වුණා. සමච්චල් කළා. ඒත් නළුවෙක් ලෙස මම ඇති කරගත් ස්ථාවරත්වය, ජනප්‍රියත්වය, ප්‍රේක්ෂක ආදරය දිහා පසු කාලෙක තාත්තා බැලුවේ පුදුමාකාර සතුටකින්. මම චන්න පෙරේරාගේ තාත්තා කියන තැන එයා මට දුන්න ලොකුම ගෞරවයයි.

මම චන්න පෙරේරාගේ තාත්තා..

ළය ලෙය කැකෑරෙන ආදරයක අප්‍රමාණත්වය නෙවෙයිද ඒ වචන අස්සේ තැවරිලා තිබුණේ ඇත්තටම...

ලේ නහර ඇට මිඳුළු විනිවිද
දැනෙන හැඟුමක් නොවෙද සෙනෙහස
තාත්තා කෙනෙක්ගේ....
ඔව් මගේ අම්මා තමයි ඒ අතීතයට හොඳම සාක්ෂිය... 

චන්නගේ නිවසේදී මා චන්න හමුවූ දින චන්නගේ ආදරණීය අම්මා පැමිණ සිටියාය. සැබැවින්ම චන්නගේ අතීත ජීවිතයෙහි අඳුරත් ආලෝකයත්. යම් තැනක රුඳී ඇත්ද ඒ සියල්ල උදෙසා ඇය තරම් සාක්ෂියක් තවත් තියෙන්නට විදිහක්ම නැත.

ගිම්හාන මඟහරිමින් අසිරිමත් වසන්තයක සුබ ඍතු මුණගැසෙන තෙක් දුෂ්කර මං මාවත්හි ඇවිද යා යුතුමය. ජීවිතය එහෙමය. මල් නෙලාගන්නට නම් රළු බිම් තීර ඔස්සේද පියමං කළ යුතුමය. සතුට රුඳී ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය.

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කළ එක ගෙයි කුරුල්ලෝ සිනමා සිත්තමෙහි රංගනය චන්න පෙරේරාගේ සිනමා දිවියෙහි තීරණාත්මක හැරවුම් ලක්ෂයක් විය. සෙනෙහෙවන්තයෝ ටෙලිනාට්‍ය නළුවෙක් ලෙස චන්න පෙරේරාට පුංචි තිරය ඔස්සේ ලබා දුන් විචිත්‍රවත් අභිෂේකය වඩාත් විචිත්‍රවත් වූයේ නාලන් මෙන්දිස් විසින් අධ්‍යක්ෂණය කළ සත්පුරවැසියෝ ටෙලිනාට්‍යයේ පැතුම් ඔස්සේය.

ආදරයට මනුෂ්‍යත්වය සම්මිශ්‍රණය වූ කල්හි ආදරය යනු ආත්මයම නිවාලන සැනසිල්ලකි. සත්පුරවැසියෝහි පැතුම් එවන් ආදරයක් ගැන කියා දුන් චරිතයකි.

මගේ අම්මා තාත්තා විතරක් නෙවෙයි, නෑදෑයන් යාළුවන් ඔක්කොමලා මම රංගනයට යොමුවෙනවට විරුද්ධ වුණා. මට වරදියි, මම අනාථ වෙයි, මට අනාගතයක් නැතිවෙයි, කන්න බොන්න නැතුව හිඟා කයි කියලා ඔක්කොමලා හිතුවේ. ඇත්තටම හැම දෙනෙක්ම වගේ මට සමච්චලයෙන් හිනා වෙද්දි මට මා ගැන තිබූ විශ්වාසය, මට මා ගැන තිබූ ආදරය, ජීවිතය ගැන මට තිබුණු වෙනස්ම දැක්ම සහ දරා ගැනීම තමයි අද මම යම් තැනක ඉන්නවනම් ඒ තාක් දුර මාව රුගෙන ආවේ.

දුරාතීතය වදන් අහුරකට කැටි කොට මා අබිමුව ඔහු තැබුවේ එලෙසිනි.

අවුරුදු දෙකේ තුනේ වයසෙදි අම්මලා මාව කොහේ හරි එක්ක යනවා කීවාම මම අඬ අඬා කියනවා මාව චිත්‍රපටයක් බලන්න එක්ක යන්න කියලා. සිනමාව කියන්නේ හරි අපූරු චමත්කාර විචිත්‍රවත් දෙයක් විදිහට මම හැමදාම දැක්කෙ. රඟපාන්න ගියාම කාලයක් තිස්සේ මම කළේ ඉඩක් ලැබෙන හැම මොහොතකම අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කරන විදිහ බලාගෙන ප්‍රායෝගිකව අධ්‍යක්ෂණය කියන්නෙ මොකක්ද කියලා ස්වයං හැදෑරීමක් කරපු එක. නළුවෙක් වෙලා ඉද්දි අධ්‍යක්ෂණය ගැන ඒ තරම් කැමැත්තක් තිබුණා. 

ඒ කැමැත්ත, ඒ ආසාව සහ කැපවීම තුළින් චන්න අධ්‍යක්ෂණයට පිවිසියේ පුංචි වීරයෝ ළමා නාට්‍ය ඔස්සේය. 

සල්ලි තිබුණෙත් නෑ. ඒ දවස්වල යාළුවන්ගෙන් සල්ලි ඉල්ලගෙන ඒ නාට්‍ය කළේ. අනුග්‍රාහකයෙක් හොයාගන්න ඊට පසු අවුරුදු තුනක් විතර බලාගෙන හිටියා.

පැමිණි මඟ එතරම්ම සොඳුරු නොවෙතත් ඒ මඟ දෑල සුපිපි බොහෝ මල් සුන්දර සේම සුවඳවත් වගට චන්නගේ වත්මන සාක්ෂියකි.

2006 දි අංජලිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පැමිණි චන්න සිහින අනන්තේ දක්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නාමාවලියේ පස්වැනි අංකය සිහින අනන්තේය.

ඔබේ සිනමා පටයන්හි මා දකින විශේෂත්වය තමයි සිනමාරූපී විචිත්‍රවත්වය. මම විශ්වාස කරනවා චන්න ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ගැඹුරු ආලයක්, බැඳීමක් නැති සිනමාවේදියකුට තමන් නිමවන සිනමා නිමැවුම විචිත්‍රවත් සිනමා අත්දැකීමක් බවට පරිවර්තනය කරන්න බැහැ කියලා... සිනමාකරුවෙක් සහ සිනමාවේදියෙක් කියන්නේ දෙන්නෙක්. සියල්ල තුළ මා ඔබ දකින්නේ විචිත්‍රවත් සිනමාවේදියෙක් ලෙසයි.

ඇත්තටම සිනමාව කියන්නේ කවියක්. අපි මෙහෙම හිතමු. මේ ජීවිතයම හීනයක්. සොබාදහමේ රිද්මයක් අනුව සියල්ල තීරණය වෙන්නේ. ඇත්තටම සංගීතය මම දකින්නේ කලාවේ උච්චතම ඵලය ලෙසයි. පුංචි කාලේ ඉඳන්ම සින්දු කියන්න විතරක් නෙවෙයි, සංගීතයටත් මම හරිම ආසයි. පුදුම ළැදියාවක්, ඇල්මක් තිබුණේ සංගීතයට. සංගීතය, ගීතය මම අතිශයින්ම රසවිඳින කෙනෙක්. චිත්‍රපටයක් නිර්මාණය කරද්දිත් පසුබිම් සංගීතය ගැන මම හරිම සැලකිලිමත්. ඇත්තටම අධ්‍යක්ෂණය කියන්නේ අමාරු දෙයක්. ඒත් හරිම රහ දෙයක්. මම චිත්‍රපටයක් කරද්දි ඉන්නේ ඒ ලෝකයේ. චිත්‍රපටයක් නිර්මාණය කරන්න පෙර සමස්ත චිත්‍රපටයම සංකල්පමය වශයෙන් අපි මනසින් දැකිය යුතුයි. 

මනසෙහි ඇඳුණු ඒ විචිත්‍රවත් චිත්‍රය සිද්ධියෙන් සිද්ධියට නොබිඳෙනා සෞන්දර්යාත්මක රිද්මයකින් එලාගැනීම අධ්‍යක්ෂවරයෙකු ඉතා ඉවසිලිවන්තව සහ සීරුවෙන් කළ යුතු ක්‍රියාදාමයකි. අංජලිකා සිට යුගාත්‍රා දක්වාම චන්නගේ ඒ සිනමාමය එලාගැනීම විශිෂ්ටය. විවිධ භාෂාවලින් විවිධ සිනමා සංස්කෘතින් තුළින් දායාද කෙරෙන සිනමා පට නරඹමින් සත්‍යජිත් රායි, අකිර කුරසාවා වැනි සිනමාවේදීන්ගේ සිට නූතන විශ්වීය සිනමාවේ සිනමාවේදීන්ගේ නිර්මාණ දක්වා සිනමාමය හැදෑරීමක් චන්න සතුය. ඒ ඒ අධ්‍යක්ෂවරුන්ගේ රිද්මය, ආත්මීය අනන්‍යතාව, සිනමාමය ආත්මගත වීම ඉසියුම් ලෙස දැන හඳුනාගත් සිනමාමය පරිචයද චන්න පෙරේරා ශ්‍රී ලාංකික සිනමාවේ අනන්‍ය සලකුණක් ලෙස සම්භාවනාවට පාත්‍ර වීම විෂයෙහි සහේතුක වන්නට ඇත.

චන්න... ජීවිතයේ මෙතෙක් ආ මඟ සිහිපත් කරද්දී මෙතෙක් ජීවිතයේ ආ දුර පසුතැවීමක් දනවන එකම එක සංසිද්ධියක් හෝ තිබෙනවාද...?

විශ්වීය රිද්මයට අවසඟව යා හැකි සහ නොහැකි තැන් ජීවිතයේ හමුවිය හැකියි. මා සෙවූ ජීවිතය ලද කෙනෙක් මම. එහෙත් දැනෙන නොදැනෙන එකම එක පසුතැවීමක් මගේ හිතේ තිබෙනවා. අංජලිකා චිත්‍රපටය 2007දී ඉන්දියාවේ ප්‍රදර්ශනය කරද්දී දකුණු ඉන්දීය සිනමාවට එකතු වෙන්න මට ඇරයුමක් ලැබුණා. මගේ දරුවන් සහ පෞද්ගලික ජීවිතය නිසා මම එය ප්‍රතික්ෂේප කළා. එවන් වටිනා අවස්ථාවක් මඟහැර ගත් එක ගැන අද යම් පසුතැවීමක් තිබෙනවා.

ලෝකය අතැඹුලක් සේ දකින්නට හැකි වග වදාළේ බුදුන් වහන්සේය. සැබැවින්ම ලෝකය යනු අප දෑස් අබිමුව අප දකින, කියවන, විඳින, අසිරිමත්, විචිත්‍රවත් හෝ වේදනා සහගත කිසිවක් නොව මනසින් අප දකින සියල්ලයි. සමස්තයයි. ඒ සියල්ල විනිවිද අප හඳුනා ගන්නා ප්‍රකෘතියේ න්‍යෂ්ටියයි. ඕනෑම භෞතිකයක හෝ සංකල්පයක සමාරම්භක මූලයයි. බෞද්ධ දර්ශනය, හින්දු දහම, ඉස්ලාම් ධර්මය, ලාඕවාදය, යුදෙව් ආගම්, කිතුනු දහම, මේ ආදී දර්ශන පිළිබඳ කියවමින්, හදාරමින් ලෝකය පිළිබඳව ගවේෂණාත්මක දෘෂ්ටියකින් බලන, විමසන චන්න භවයෙන් භවය අප සංසාරයේ ගැටගසන ආදරය, ප්‍රේමය සහ ඒ තුළින් උපදින මනෝභාවයන් කොන්දේසි විරහිත චින්තනයක් තුළ විනිවිද දකිමින්, මනසින් සියල්ල අත්හැරීම ඔස්සේ විඳින උපරිම ජීවන වින්දනය සහ ජීවන තෘප්තිය සොයා යා යුතු මඟ දකින දාර්ශනිකත්වයක් ඔස්සේ ජීවිතයත් ලෝකයත් විවරණය කර ගන්නා ආකාරය සැබැවින්ම අපූරුය. 

එවන් දැක්මක් විචක්ෂණශීලී චින්තනයක් සහ ශික්ෂණයක් මනස තුළ දැල්වූ කල්හි ඇතිවන ආත්ම තෘප්තිය සහ මානසික නිදහස, ජීවිතය සුන්දර ලෙස නිර්වචනය කරගත හැකි සදාකාලික තාරුණ්‍යයක රහස බව මම විශ්වාස කරමි. චන්න පෙරේරා යනු ඒ සියල්ල විෂයෙහි මෙතෙක් මට හමුවූ අපූරුම සංනිදර්ශනයයි. ඔබේ මතකයන් අප සොඳුරු නිමේෂයකට කැඳවයි. එවිට මිහිරි නොවෙද හදවත කාගේ!

සංජීවිකා / සේයාරූ I සුමුදු හේවාපතිරණ