මගේ තාත්තා බෞද්ධ තේමා ගායනයට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බුද්ධං සරණං ගච්ඡා මී
ධම්මං සරණං ගච්ඡා මී
සංඝං සරණං ගච්ඡා මී

ඔබෙ රාගි මන කැළඹේ දෝ.....
ක්ලේසයේ ඕගයේ නෑවේ දෝ.....//
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡා මී..//

මෛත්‍රී කරුණා දූසිත වී
ක්‍රෝධයේ ඊර්ෂ්‍ය පෝසිත වී
හිංසා පීඩා දේවි දෝ.......
මිනිසා තිරිසන් වේවි දෝ......

ඝෝර විසැති නයි පොළඟුන් වන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්.....
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණනං ගච්ඡා මී...//

වෙසක් සඳ නැග එද්දීම දසත රැව් පිළිරැව් දෙන්නේ මේ බොදු බැති ගීතයයි. මෙය ඇසූ සැණින් අපගේ මතකයට නැගෙන ඒ නාමය අල්හාජ් මොහිදින් බෙග්ය.

බෞද්ධ කටයුත්තක් කොතැන සිදුවේ ද එතැන ඔහුගේ කටහඬ ඇසෙන්නේය. ඒ කටහඬ නොඇසෙන බොදු කටයුත්තද කිසියම් අඩුවකි. මේ චරිතය නොමැතිවූවා නම් ඔහු ගැයූ ගී පෙළ නොති බුණා නම් බොදු ගීය මෙතරම් විචිත්‍රවන්නට ද නොතිබිණි.
උපතින් ලාංකිකයකු නොවූ ඉන්දියානු ජාතිකයෙකු ලෙස උපත ලැබූ ඉස්ලාම් භක්තිකයෙක් වූ බෙග් මාස්ටර් තරම් බොදු ගී ගායනා කළ ගායකයෙකු තවමත් බිහිව නැත.

ඔහු මෙරටට පැමිණීමට පෙර සහ පසුද මිය ගිය පසු ද තවත් ගායකයන් බිහි වුවත් ඒ චරිතයට සම කරන්නට කිසිවෙකුට නොහැකි විය.
බෞද්ධ සමාජය තුළ බෙග් මාස්ටර් පිළිබඳ මතකය සහ ගෞරවය පෙළගැසී ඇත්තේද නොමැකෙන සටහනක් ලෙසිනි.
මේ අද්විතීය චරිතය මියගොස් මේ වන විට වසර 32කට ආසන්නය. එහෙත් අදටත් වෙසක් සඳ යට බබළන්නේ ඒ ගීත රාවයයි.
ඔහු අපේ ගී ලොව කිසිදා අමතක නොවන චරිතයක් සහ හඬක් බව සැබෑවකි. නමුදු එතුමාගේ හඬ දායාද වූ ඔහුගේම පුත්‍ර රත්නය ඉෂාක් බෙග් මේ වන විට එම ගීත ඉදිරියට ගෙන යමින් සිටී. ඒ නිසාම මේ එළඹ ඇති වෙසක් සමයේ ඔහු හා කතා බහක් කරන්නට සඳැල්ලෙන් අපි ඉඩක් වෙන් කරන්නට තීරණය කළෙමු.

වෙසක් සමය එළඹීමත් එක්කම ඔබේ පියාගේ ගී හඬ දසත රැව් පිළිරැව් දෙනවා. ඒ ගීත ඇහෙද්දී මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මගේ තාත්තා බෞද්ධ තේමා ගායනයට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක්. උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වුණත් බෞද්ධ තේමා යටතේ වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කරපු ගායකයා වුණා. තාත්තා කලාවට සම්බන්ධ අය වගේම සාමාන්‍ය මිනිස්සු එක්කත් බොහොම සුහඳව ලෙංගතුව හිටපු කෙනෙක්. ඒ නිසා බොහෝ පිරිසක් ආදරය කළා. මුදල්වලට මුල් තැන දීලා කටයුතු කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ ජනතාව පිනවන්න. සමාජයට හොඳ දෙයක් දෙන්න. ඒ නිසාම පුළුවන් විදියට ගීතවලින් සමාජයට විශාල පණිවිඩයක් දුන්නා. ජාතීන් අතර එකමුතුකම, ආගම් අතර සමගිය නිතර අගය කළා. ඔහු ඉස්ලාම් භක්තිකයෙක් වුණත් බෞද්ධ දර්ශනයට පුදුම ගරුත්වයක් තිබුණේ. ඒ නිසාම වෙන්න ඇති ගීත රචකයොත් බෞද්ධ ගීතයක් රචනා වූ විගසම තාත්තා හොයාගෙන ඇවිල්ලා ඒක භාර දෙන්නෙ. ඒ ලැබෙන ගීත ඔහු ඉතාම ගෞරවයෙන් ගායනා කළේ. නිතරම කියන්නෙ බෞද්ධාගමට මගේ හඬින් සේවයක් වෙනව නම් ඔවුන් යහමගට යනව නම් මට ඒ ඇති කියලා. තාත්තා වටා බහුතරයක් හිටියෙ සිංහල බෞද්ධයන්. ඒ නිසාම තමයි අදටත් ඕනෑම බෞද්ධ වැඩකටයුත්තක තාත්තාගේ ගීත රැව්පිළිරැව් දෙන්නේ. ඇත්තටම තාත්තා වාසනාවන්තයි. මොකද සිංහල බෞද්ධ ජනතාව අතර ‘‘මොහිදින් බෙග්’’ නාමය මැකිලා යන්නෙ නැහැනෙ.

තාත්තා ගායනා කරපු ගීතවලින් වැඩිම සංඛ්‍යාවක් බොදු ගීත නේද?

තාත්තා ගීත 10,000 අධික සංඛ්‍යාවක් ගායනා කරලා ඇති. ඒ අතින් සිංහල චිත්‍රපට 400ක් වගේ ගායනා කරලා තියෙනවා. ඒ වගේම ජාතිකාභිමානී ගීත, ආදර ගී, විරහ ගී වෙනුවෙන් හඬ අවදි කරලා තියෙනවා. වැඩිපුරම ගායනා කළේ බොදු බැගි ගී. සංගීතයට වාර්ගික හෝ ආගමික බාධා කවදාවත් තිබුණෙ නැහැ. සංගීතය තුළින් ගොඩක් දේවල් තාත්තා කළා. ඇත්තටම වෙසක් කාලෙට මේ ගීතවල ජනප්‍රියතාව වැඩියි. ඉතින් මම හිතනවා ලංකාව පවතිනතුරු මේ ගීත ඇහෙයි. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. අද මේ ගීත ගායනය ගැන විතරයි කතාබහකට හෝ ලක්වෙන්නෙ. ඒ ගීත රචනා කරපු, සංගීත සපයපු ශිල්පීන් ගැන කතා බහ වෙන්නෙම නැහැ. ඔවුන්ව ගොඩක් දුරට අමතක වෙලා. ඒ ශිල්පීන් සියල්ල නිසා තමයි මෙවැනි සාර්ථක නිර්මාණ බිහිහුණේ කියන දේ සඳහන් කරන්න කැමතියි.

ඔබ සහ පියා බොදු ගීත ගායනය කිරීම සම්බන්ධයෙන් රසික පිරිසගෙ අදහස් කෙබඳුද?

පොදුවෙ බොහෝ දෙනෙක් කියන්නෙ මේ විදියට ගීත ගායනය ඔබලාට හැර වෙන කිසිවෙකුට බැහැ කියන දේ. වෙසක් කියන හැඟීම එන්නෙත් බෙග් මාස්ටර්ගෙ හඬින් කියන විට තමයි කියන්නෙ. කොවුලාට කළින් තාත්තා තමයි අවුරුදු ගැනත් මුලින්ම සඳහන් කරන්නේ. ‘‘ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’’ කියලා. ඒ ආරම්භයත් එක්ක බක් මාසෙ අවසන් වෙලා, වෙසක් ආරම්භය දක්වාම තාත්තගේ හඬ දසතම රැව් දෙනවා. ඒ කාලෙට ඉතින් හැම නිවසකම වගේ ඒ මිනිසුන්ගේ මුවින් පිටවෙන්නෙත් ‘‘බුද්ධං සරණං‘‘ බෞද්ධ ගීතය තමයි. ඒ සම්බන්ධව ගොඩක් දෙනෙක් කතා කරනවා. ඇත්තටම ඒ දේවල් ගැන මිනිස්සු කතා කරද්දි ප්‍රසංශා කරද්දි හරි සතුටුයි. තාත්තා සතුටු වුණේ ජීවත් වුණේ ඒ ප්‍රතිචාර මත තමයි.

වෙසක් උත්සවය සම්බන්ධව ඔබට මොකද්ද කියන්න තියෙන්නෙ?

වෙසක් කියන්නෙ කූඩු හදලා තොරන් බැඳලා සුදු ඇඳගෙන පන්සල් යන එකටවත්, දන්සල් පවත්වලා විනෝදවෙලා විහිළු තහළු කරගෙන කකා බිබී හිනාවෙලා ඉන්න එකටවත් නෙවෙයි. අද බොහෝ දෙනෙක් වෙසක් උත්සවය සැණකෙළියක් කරගෙන ඉන්නෙ. නමුත් මම දකින විදියට ඒ තුළ දර්ශනයක් තියෙන්නෙ. ඒ දර්ශනය මට නම් ගොඩක් දැනෙනවා. බුදුහාමුදුරුවො ගෙනාපු දර්ශනය ගොඩක් දැනෙන දෙයක්. ඒ දේත් එක්ක අපි ජීවත් වෙන්න ඕනෑ. ඉතින් මම කියන්නෙ මේ උතුම් දවස සාමකාමීව සමරමු. මොකද්ද මෙහි තියෙන මහිමය කියලා හිතමු. මේ දේ මෙතරම් කලක් පවත්වාගෙන යන්නෙ ඇයි කියලා හිතමු. මේ සියලුම දේවල් තමයි ලොකුම ආශිර්වාදයක් වෙන්නෙ.

මෙවර කොයිවිදියටද වෙසක් වැඩසටහන්වලට දායකත්වය සපයන්නෙ.

ගුවන්විදුලි, රූපවාහිනී වැඩසටහන්වලට තමයි ගොඩක් සම්බන්ධ වෙන්නෙ. එහිදී බෙග් මාස්ටර්ගෙ ගීත ගායනා කරනවා. ඒ වගේම වෙසක් උත්සව සංගීතය පැත්තෙන් අලංකාර කරනවා. ඒ දේවල් තමයි සිද්ධවෙන්නෙ. ඉතින් වසර කිහිපයක් රටේ තිබුණු තත්ත්වයත් එක්ක මේ උත්සවය පවත්වන්නට නොහැකි වුණා. නමුත් අපිට උරුම වුණු මේ උත්සවය මෙවර සමරන්නට හැකිවෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. ඉතින් ලබන අවුරුද්ද වෙද්දි අපි ජීවත් වෙලා ඉඳීද කියලා දන්නෙත් නැහැනෙ. ඒ නිසා මෙවර වෙසක් උත්සවය භක්තියෙන් සතුටින් සමරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.

ධනු විජේරත්න