මගේ ජීවිතයට අවශ්‍ය සහකරුවා මම තවම හොයනවා
‘ඕනෙ නම් මං ඕක මේ කවුළුවෙන් එපිටහට වීසි කරන්නං’ මේ විදියට කියන මේ කෙල්ල අපට හමුවන්නෙ KSK යන කෙටි නමින් හඳුන්වන සරසවි සිනෙරු ෆිල්ම්ස් වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු සහ චාන්දි හපුතන්ත්‍රී නිෂ්පාදනය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘ක්ෂිර සාගරය කැළඹිණ’ චිත්‍රපටයේ චරිතයක් ලෙසය. කවුද මේ කෙල්ල? කැළඹුණු ක්ෂිර සාගරයට තමාගේ රංගනයෙන් ජීවයක් කවන ඒ ශිල්පිනිය හරිනි කාව්‍යාංජනී පෙරේරාය.
‘හරිනි? කාව්‍යාංජනී? වඩා ආස මොන නමකින් අමතනවටද?
‘හරිනි’ කියලා තමයි හැමෝම වගේ දන්නෙ?
හරිනිගෙ ආගිය තොරතුරු ටිකක් කියමු?
කොළඹ තමයි උපන්නෙ කෝට්ටෙ. පවුලේ මමයි, අම්මයි, තාත්තයි මල්ලියි. අම්මා කලාවෙන් එන පවුලකට අයත්. තාත්තා ව්‍යාපාර කරන්නෙ. අම්මගෙ පරපුරේ හැමෝම වගේ ඉස්සර ඉඳලම ගායනයට රංගනයට සම්බන්ධ වෙලා හිටපු අය. ආච්චි රුක්මණි දේවිය එක්ක සිංදු කිව්වා රඟපෑ කෙනෙක්. අම්මා ගුවන් විදුලි සේවයේ ගායිකාවක්. ඒ ආභාෂය එන්න ඇති මටත්.
රඟපෑම තෝරා ගත්තෙ ඒ නිසාද?
එහෙම අදහසක් තිබුණෙ නැහැ. බැංකු නිලධාරිනියක වීමට ගුරුවරියක වීමට ආසා කළා. පසු කලෙක ගුවන් සේවිකාවක වෙන්න හිතුවා. පස්සෙ දවසක මිස් ශ්‍රී ලංකා තරගයට එන්න හිතුවා. ඊට පස්සෙ නිරූපණ අංශයට ඒමත් එක්ක රඟපෑම ගැන හිතන්න පටන් ගත්තා. උසස් පෙළට කළේ කොමර්ස්.
ගුවන් සේවිකා අරමුණ?
ඉන්ටර්වීව් ආවා. ඒත් ගෙදරින් කැමති වුණේ නැහැ. තාත්තාගෙ පැත්තෙන් ටිකක් විරුද්ධ වුණා. ඊට පස්සෙ ඒ අදහස නැතුව ගියා. හැබැයි අදටත් ඒ රැකියාවට ආසයි. විශේෂයෙන්ම ගුවන් සේවිකා නිල ඇඳුමට ආසයි. ඒ වගේම එක තැනක ඉන්නවට වඩා සංචාරයට ආසයි. ගුවන් සේවයට වැඩියෙන්ම කැමති වුණේ ඒ නිසයි.
මිස් ශ්‍රී ලංකා දින්නද?
ඔව්! මිස් ශ්‍රී ලංකා වුණේ 2015 දීය. ඊට අමතරව සුපර් මොඩල් බෙස්ට් මොඩල් අංශ වලිනුත් දිනුවා. ලංකාවේ හොඳ වෙළඳනාම (Brand) කීපයක සන්නාම තානාපතිනිය ලෙසත් කටයුතු කරන්න ලැබුණා. ඒ එක්කම ඉන්දියා ගියා. මලයාසියාවට ගියා. ස්ථාවර වුණේ මොඩ්ල් ක්ෂේත්රයේ. ලංකාවේ තියෙන ලොකුම ෆැෂන් ෂෝ එක වන කළම්ඹු ෆැෂන් වීක් එකේ අවුරුදු පහක් එක දිගට මොඩල් කළා. තවමත් නිරූපණය සහ වෙළඳනාමවලට දායක වෙනවා. පිටරට අයගෙ මියුසික් වීඩියෝවලටත් දායක වෙනවා. ඒවා තමයි ඉතින්. පිටරට ෆැෂන් බ්‍රෑන්ඩ්වලට වගේම ජුවලරි බ්රෑන්ඩ්වලටත් දායක වෙනවා. උමාරියාගේ මම මලක් නොවේ මියුසික් වීඩියෝ එක වඩා ජනප්‍රිය වූ එකක්. ඇමරිකන් අයිඩල්වල ටොප් ෆයිව් වෙච්ච ශිල්පිණියකගෙ මියුසික් වීඩියෝ එකට තෝරා ගෙන තිබුණා. ඇය තුර්කි ගායිකාවක්.
ක්ෂීර සාගරයට පෙර රඟපෑවේ?
සුගත් සමරකෝන්ගේ යක්ෂා දේශය ෆිල්ම් එකේ. තවම ඒකෙ වැඩ ඉවර නැහැ. ඒක කරලා අවුරුදු අටක් විතර වෙනවා.
අවුරුදු අටක් යනකල්ම සිනමාවට ආරාධනා ලැබුණෙ නැද්ද?
නැහැ. සුනිල් සර්ගෙ කදිර දිව්‍යරාජ එන්න තියෙනවා. ඊට පෙර මේ ක්ෂිර සාගරය.
ක්ෂිර සාගරයේ ප්‍රධාන චරිතයක්ද?
ඒක ලොකු සතුටක්. සතුටු වෙන්න හේතු කාරනා බොහෝමයි. මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ ෆිල්ම් එකක රඟපානවා කියන්නෙම උපාධියක් ගත්තා හා සමාන අවස්ථාවක්. මෙම ෆිල්ම් එකේ චරිතයට නමක් නැහැ. දැරිය කියලා හඳුන්වන්න පුළුවන්.
එකපාරටම සිනමාවේ ලොකු චරිතයක්? අසීරු වුණේ නැද්ද?
සුනිල් සර් සහ ජැක්සන් සර් කළ වැඩමුළුවලට එහෙම සහභාගි වුණා. ඒ වගේම චරිතයේ ස්වභාවය සෙසු චරිත ගැන එමෙත් කියලා දුන්නා. ඒ චරිතයට හරියටම සාධාරණයක් කළාද කියලා මම දන්නෙ නැහැ. ඒ අවස්ථාවේ ලැබූ ගුරුහරුකම් මැද උපරිම උත්සාහ ගත්තා. සුනිල් සර් සහ ජැක්සන් සර් මම සළකන්නේ මගේරංගනයේ ගුරු පියවරුන් ලෙස. ජැක්සන් සර් සමග එකට රඟපාන්න ලැබීමම ලොකු වාසනාවක්.
ක්ෂ්ර සාගරයෙ රඟපාද්දී දැනුණ හැඟුණු දේ?
මේ වගේ චරිතයක් රඟපාන්න තියෙන්නෙ කියලා දවසක් රාත්‍රියේ කෝල් කරලා සුනිල් සර් මට කිව්වාම මාව ගැහෙන්න ගත්තා. සර්වාංගයම වේවලන තරමට හැඟීමක් ඇතිවුණේ. මට දහදිය දැම්මා. එච්චරට දැනුණ අවස්ථාවක්. ජැක්සන් සර් එක්ක රඟපාන්න කවුද අකමැති. මහ දැනුම් සම්භාරයක් තියෙන විශ්ව කෝෂයක් වගේ චරිතයක්. අපේ රටට සම්පතක්. ඒ වගේ ලංකාවටම ඉන්නෙ එක චරිතයයි. ඒ ඔහු විතරමයි. ආයෙ ඒ වගේ චරිතයක් ගැන හිතන්නවත් නැහැ. එතුමා එක්ක රඟපාද්දි මට දැනුණෙ මම හීනෙක ඉන්නවා වගේ හැඟීමක්. ඒත් පළමු දවසෙ ඉඳලම ජැක්සන් සර් මට සැලකුවේ ආධුනිකයකු විදියට නොවෙයි. මේක ඔයාට ලැබුණු ලොකු අවස්ථාවක්. උපරිම ප්‍රයෝජන ගන්න කියලා සර් කිව්වෙ. රඟපාද්දි ප්‍රශ්නයක් ආවොත් කියන්න කිව්වා. අපි දෙන්නට තමයි වැඩිපුර මුසු වෙන්න තියෙන්නෙ ඉතින් ඩයලොග්වලට වඩා හැඟීම් ඉරියව් වලින් ඔයාට කරන්න තියෙන දේ බොහෝමයි කිව්වා. දවස් හතළිස් පහක ෂූටිං කළ කාලයේදී රංගනය ගැන මට යමක් ඉගෙන ගන්න පුළුවන් වුණේ සුනිල් සර්ගෙ චිත්‍රපටය සහ ජැක්සන් සර්ගේ ගුරු උපදෙස් නිසයි. ඒ අත්දැකීම ජීවිත කාලයටම මට වටිනවා. සුනිල් සර් චරිතය ගැන කියාදෙන විදිය හරිම වෙනස්.
මේ විදියට රඟපෑ මේ චරිතය කරද්දී සිදුවූ රස මතක එහෙමත් ඇති?
සිදුවීම් කීපයක් තියෙනවා. හිතන්න බැරි ප්‍රයෝග දාලා කළ දර්ශන තිබුණා. චන්න දේශප්‍රිය සර් කැමරා අධ්‍යක්ෂණයෙන් කළ හරඹය සහ මම එයාගෙනුත් ඉගෙන ගත්ත දේ බොහෝමයි. එක් අවස්ථාවක ගහක් උඩ පැලැක දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒ දර්ශනයට හිටියෙ ජැක්සන් සර් සහ මම. ගහ උඩ සිටියදී පල්ලෙහාට අලි ආවා. අලි කරදර අපට වුණේ. ඒ වගේම පැල්කොටේ සිටියදී එක් පැත්තක පන්දමක් වැටිලා ඒක ගිණි ගන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ උඩ හිටියෙ මම, ජැක්සන් සර් සහ හේමාල් අයියා, කලා අධ්යක්ෂත් හිටියා. ගිණි ගනිද්දී මට එක පාරට කෑ ගැසුණා. ඒ වෙලාවෙ ජැක්සන් සර්, හේමාල් අයියා, සුනිල් සර්, චන්න දේශප්‍රිය සර් එහෙම කෑ ගහලා කිව්වෙ ඉස්සෙල්ලාම හරිනිව බස්සන්න. හරිනිව බස්සවන්න කියලයි. මාව පල්ලෙහාට බස්සවලා කිසිම කලබලයක් නොවී ජැක්සන් සර්, හේමාල් අයියලා එහෙම බැස්සේ පස්සෙ. නවකයකු ලෙස එයාලා මට සළකපු විදිය හරිම විශිෂ්ටයි. මගේ ජීවිතේ කිසිදාක ඒ පිළිගැනීම අමතක කරන්නෙ නැහැ. එයාලා ඔක්කොම ගැන ලොකු ගරුත්වයක් මට තියෙන්නෙ.
හරිනි රඟපෑම හැර තව වෙන මොනවද කරන්නෙ?
මගේ වෙළඳ නාමයක් යටතේ විලාසිතා නිෂ්පාදනයක් පටන් ගෙන තියෙන්නෙ. ඒ ෆැෂන් ව්‍යාපාරයේ මූලික අදියරේ වැඩ මේ දිනවල කෙරෙන්නේ. එය වැඩි දියුණු කර ගැනීම තමයි අරමුණ. ව්‍යාපාර ක්ෂේත්රය ගැන ඉගෙන ගත්ත නිසා මගේම ව්‍යාපාරයක් කරන අතරේ රඟපෑම ආසාවෙන් කරගෙන යන්න ආසයි. විවේකය ලෝකෙ වටේ සංචාරය කරමින් ගෙවන්නත් ආසයි. එක තැනකට හිර වෙලා ජීවිතය ගෙවන්න ආසා නැහැ.
හරිනි හරිම ආදරණීය චරිතයක් වගේ?
මගේ හඬ ඇසෙද්දි නම් මම ටිකක් සැර කෙනෙක් කියලා හිතන්න පුළුවන්. මම සංවේදී ආදරණීය මිත්‍රශීලී චරිතයක්. අනෙක් අයට ඒක මොන විදියට දැනෙනවද දන්නෙ නැහැ.
හරිනිගෙ ආදරේ?
මගේ ජීවිතයට අවශ්‍ය සහකරුවා මම තවම හොයනවා. හැබැයි මගේ පවුලෙන් නැදෑයින්ගෙන් ආදරේ විවිධාකාරව ලැබෙනවා.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ