මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙන්නේ ’මෝසම් සුළං’ ගීතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති නවක ළමා නිළියක් වූ ගීත්මි මයුරංගිය. තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටින ගිත්මි දැනට රන්සිළු ආයතනය සමග නව ගී නිර්මාණ කිහිපයක්ම නුදුරේ එළිදැක්වීමට සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපට පැවසු දේ.

ගිත්මි කියන්නේ දැන් කවුරුත් දන්න ළමා ගායිකාවක්?

ක්ෂේත්‍රයට නම් මම ආවේ අහම්බෙන්. ඒක හරි ලස්සන සිදුවිමක්. මම නිකම් කියපු ගිතයක් මගේ හිතවත් නැන්දා කෙනෙක් එයාගේ ටික්ටොක් එකට දාලා තිබුණා. ඒක ගොඩක් අය බලලා හිතාගන්න බැරි ප්‍රතිචාර ආවා. ලංකාවේ විතරක් නෙවෙයි විදෙස් රටවල පවා ඒ ටික්ටොක් විඩියෝ ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ විවිධ රූපවාහිනි වැඩසටහන්වලට පවා මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඔය විදිහට තමා මගේ ගමන ආරම්භ වුණේ.

මුලින්ම ඔබේම කියලා ගීතයක් එතකොට නිකුත් කළේ?

මාව අඳුනගත්තට පස්සේ ගොඩක් අය මට කතා කළා නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා. ඒ ලැබුණ ආරාධනාවකින් තමයි "මෝසම් සුළං" ගීතය නිර්මාණය වුණේ. ගීතය ලිව්වේ ශෙහාන් ගලහිටියාව මාමා. සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ මාමා.  මේ ගීතයට ලස්සන ගීත රූප රචනාවක් හදලා දුන්නේ දිල්ශාන් හා, මිලාන් මාමලා ඇතුළු කණ්ඩායම. රූප රචනාවේ පෙනී හිටියේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක් වන කස්තුරි විජේවර්ධන අක්කා හා දේශිත අයියා. මම හිතන්නේ මගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂය වුණේ මේ ගීතය. එක දවසකින් මගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වුණා.

මේ දිනවල නව නිර්මාණත් එක්ක ඔබ තරමක් කාර්යබහුලයි නේද?

දැනට මම රන්සිළු ආයතනය සමග ගීත කිහිපයක් කරමින් ඉන්නවා. ඉන් ගීත බොහෝමයක වැඩ අවසන් වෙලා තියෙනවා. ඒ ගීත අතරින්  "තල් අරනේ", "මගේ සිහිනයේ", "රෝස හදවත", "කොහේ හෝ"  කියන ගීතවල වැඩ අවසන්. නමුත්, රූප රචනා තවමත් ඉවර කරලා නැහැ. මේ ඔක්කොම ප්‍රියන්ත මාමාගේ ලස්සන නිර්මාණ. මේ ගීත බොහෝමයකම තනු නිර්මාණය වුණේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතින් වීම විශේෂත්වයක්.

ගීත්මි දැන් ප්‍රසංගවලට එහෙම සහභාගි වෙනවද?

මගේ පළමුවන ප්‍රසංගය තිබුනේ ඩුබායි අල්නසාර්වල.  ඒක හරිම ලස්සන අත්දැකීමක්.  ඒකෙදී ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මා නිසාම ඒ ප්‍රසංගය බලන්න ඇවිල්ලා හිටියා. ඊට අමතරව දැන් ලංකාවේ ප්‍රසංග සඳහාත් මට ආරාධනා ලැබෙමින් තියෙනවා. ඉදිරියේදී මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට භාරගෙන කටයුතු කරනවා.

ඔබ තවමත් පාසල් අධ්‍යාපනය ලබන කෙනෙක්?

ඔව්. මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම ගියේ මාතර පඹුරණ ශාරිපුත්‍ර ජාතික පාසලට. මේ වනවිට අධ්‍යාපනය ලබන්නේ බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයේ. මම දැන් 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මේ මාසේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි ඉන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මම පාසලේ සංගීතය විශයක් විදියට හදාරනවා. මගේ ලොකුම ඉලක්කය සංගීත විශාරදවරියක් වෙන්න. ඉදිරියේදි ඒ පැත්තටත් යොමු වෙන්න අදහස් කරමින් ඉන්නවා.

වර්තමානයේ සිටින ගායිකාවන් අතරින් ඔබ වඩාත් කැමති?

මම ශෂිකා නිසංසලා නැන්දාගේ ගීත වලට ගොඩක් කැමති කෙනෙක්. ඇයගේ කවුරුන්ද කවුළුව වැහුවේ.. ගීතයට ගොඩක් ආසයි. නිතරම වගේ මම ගායනා කරන ගිත අතරින් එකක් ඒක. ඒ වගේම තවත් ක්ෂේත්‍රයේ ගායිකාවන් කිහිප දෙනෙකුට ආසයි. මම ශෂිකා නිසංසලා නැන්දට කැමති වෙන්න හේතුව තමයි ඇයගේ කටහඬ වගේම ඇය තෝරාගෙන ගායනා කරපු ගීතවලට. ඒ වගේම නැන්දගේ ලස්සනට වගේම එයා අඳින පළඳින විදිහ හා චාම් බවටත් මම කැමතියි.

ක්ෂේත්‍රයට ඇවිල්ලා ඔබ තවමත් පොඩි කාලයයි නේද?

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මම තවම පොඩි කාලයයි. හැබැයි ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා මේ පොඩි කාලය තුළ. කවදාහරි මම ශෂිකා නිසංසලා නැන්දා වගේ ලංකාවේම ආදරය දිනාගත්තු ගායිකාවක් වෙනවා. ඒ වගේම ගොඩක් අය මගේ අලුත් ගීත බලාපොරොත්තුවෙන් ඉන්නවා. නිතරම වගේ මගෙන් ඒ ගැන අහනවා. ඉතින් නුදුරේම අලුත් ගීත කිහිපයක් මම නිකුත් කරන්න ඉන්නවා කියලා කියන්න කැමතියි. ඉතින් මේ ගමන එන්න අතදුන් හැම දෙනාටම බොහෝම ස්තුතියි. ඒ වගේම ඉදිරි කාලයේදිත් මාත් සමග එකතු වෙලා ඉන්න කියලා මේ හැමෝටම ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර